2020 පරිසර සැලසුම ජනපති රෝමයේදී හෙළිකරයි | ඇස පාදන රැස


2020 පරිසර සැලසුම ජනපති රෝමයේදී හෙළිකරයි

 ඡායාරූපය:

2020 පරිසර සැලසුම ජනපති රෝමයේදී හෙළිකරයි

වසර 2020 වන විට පැළ මිලියන 5ක් වගා කිරීම, පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000කට ඉහළින් පිහිටා ඇති ගස් කැපීම තහනම් කිරීම, සෑම පාසල් දරුවෙකුම එක් පැළයක් රෝපණය කිරීමට දිරිමත් කිරීම ආදී වැඩසටහන් රැසක් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මූලස්ථානයේ පැවති සමුළුව අමතමින් අවධාරණය කළේය.

සියයට පනහක්ව පැවති ශ්‍රී ලංකාවේ වන ආවරණය වර්තමානයේ ජනාවාස ඉදිකිරීම් හා කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් සියයට 29 දක්වා අඩු වී ඇති බවත් විශාල වශයෙන් සිදු වන කෘෂිකාර්මික කටයුතු සහ ජනාවාස ඉදිකිරීම් ආදිය සඳහා ඉඩම් භාවිතය මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් ඒ අනුව දැඩි පාරිසරික උවදුරුවලට මුහුණ දීමට සිදුව තිඛෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.


ලෝකයේ හෙට දවස වෙනුවෙන් වනාන්තර රැකිය යුතුමයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසියේදී කියයි

වනාන්තර විසින් විශාල සමාජ, ආර්ථික ප්‍රයෝජන රැසක්, එනම් ආහාර, බලශක්ති, වාසස්ථාන ඇතුළු මූලික මානුෂීය අවශ්‍යතාවන් සපුරාදෙන බවත් මෙම අවශ්‍යතා සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලන වනාන්තර තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත් බවත් 2020 වසර වන විට පැළ මිලියන 5ක් වගා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුව හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය අමතමින් ඊයේ (16) රෝමයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරයේ ආරම්භක සැසිය ආමන්ත්‍රණය කිරීමට මට ආරාධනා කිරීම පිළිබඳව ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) අධ්‍යක්ෂ ජනරාල්වරයාට මගේ ස්තූතිය පිරිනමමි. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට මෙන්ම පුද්ගලිකව මා හටද ඉතාමත් ගෞරවයකි. කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස හා පසුව පරිසර අමාත්‍යවරයා ලෙසද මම ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමග ඉතා සමීප සබඳතාවක් පවත්වන්නෙමි. මෙවර රාජ්‍ය නායකයා ලෙස මෙම ගාම්භීර සම්මේලනය ආමන්ත්‍රණය කිරීමට මට අවස්ථාවක් ලැබී ඇත.

“මාගේ රටට හා එහි වැසියන්ට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලබාදුන් සහයෝගය පිළිබඳව කෘතඥ වන අතරම, විශේෂයෙන් ගංවතුර, නියඟ සහ දරිද්‍රතාවයෙන් පෙළෙන ගොවි ජනතාවට විවිධ පාරිසරික බලපෑම් එල්ල වූ අවස්ථාවන්හි ඉතා කඩිනමින් සහන සැලසීමට ඉදිරිපත්වීම පිළිබඳව මාගේ ස්තූතියි පිරිනමමි.

“මෙම සැසිවාරයේ මාතෘකාව පිළිබඳ නැවත අවධානය යොමු කරන්නේ නම් මගේ රටේ බහුතරයක් ජනතාවගේ ජීවනෝපාය වන්නේ කෘෂිකර්මාන්තයයි. ශතවර්ෂ කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 50‍% වැඩි ප්‍රමාණයක් වනාන්තරවලින් ආවරණය වී තිබුණි. වර්තමානයේ දිවයිනේ සම්පූර්ණ වන ආවරණය වන්නේ අනෙක් ආකාරයේ වෘක්ෂලතාදිය හැර 29.7‍%‍ක් පමණි. තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා වූ ප්‍රමුඛ පියවරක් වශයෙන්, දැනට පවත්නා වන ආවරණය ආරක්ෂා කර ගැනීම සඳහාත්, එය 32‍%‍ දක්වා වර්ධනය කර ගැනීම සඳහාත් වඩා සුදුසු පියවරක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව කැපවී සිටී.

“අපනයන කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම විශාල වශයෙන් සිදු වන කෘෂිකාර්මික කටයුතු හා ජනාවාස ඉදිකිරීම ආදී ක්‍රියාවන්ට ඉඩම් භාවිතය හේතුවෙන් මගේ රටේ වන ආවරණයෙන් 50‍%කට වැඩි ප්‍රමාණයක් අහිමි විය. වනාන්තර විනාශය දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැඩි පාරිසරික උවදුරු ඇතිවීමට හේතු වී තිබේ. එම විනාශයන් වර්ෂාපතන රටාව වෙනස් කිරීමට, පාංශූ ඛාදනයට සහ කෘෂිකාර්මික නිෂ්පාදන විනාශ කිරීමටද බලපා ඇත. වනාන්තර විසින් විශාල සමාජ, ආර්ථික ප්‍රයෝජන රැසක් එනම් ආහාර, බලශක්ති, වාසස්ථාන ඇතුළු මූලික මානුෂිය අවශ්‍යතාවන් සපුරා දෙයි. මෙම අවශ්‍යතාවන් සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලන වනාන්නර තිරසර ලෙස කළමනාකරණය කිරීම ඉතා වැදගත්ය.

“වනාන්නර ප්‍රතිරෝපණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමකි. අනෙකුත් සියලුම රාජ්‍ය අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන සහ සමූපකාර සංගම් ඒකාබද්ධව 2020 වන විට පැළ මිලියන 5ක් වගා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. දැනට ශ්‍රී ලංකාවේ පාසල් සිසුන් හතළිස් තුන් ලක්ෂයක් පමණ සිටින අතර, සෑම පාසල් සිසුවෙකු විසින්ම එක් පැළයක් බැගින් වගා කිරීම දිරිමත් කිරීමේ ව්‍යාපෘතියක් රජය විසින් හැකි සෑම ප්‍රදේශයකම දියත් කර තිබේ.

“පාසලේ, ගෙවත්තේ හෝ හැකි ඕනෑම ස්ථානයක එම වගා කළ හැකි අතර, ඒ වෙනුවෙන් රජය සිසුන්ට යම් මූල්‍ය ආධාරයක් ලබාදීමට අපේක්ෂිතය. සෑම සිසුවෙකුගේම නමින් එම මුදල බැර කරනු ලැබේ. මෙසේ සිසුන් වගාව සඳහා දිරිමත් කිරීම තුළින් ඔවුන්ගේ පවුලට අතිරේක ආදායමක් ලැබෙනවා සේම පරිසරය සුරැකීමේ වගකීම පිළිබඳවද ඔවුන්ට අවබෝධයක් ලැබෙනු ඇත.

“පරිසරය හා ජල පද්ධති ආරක්ෂා කිරීම සඳහා මුහුදු මට්ටමින් අඩි 5000කට ඉහළින් පිහිටා ඇති ගස් කපා පහළට හෙළීම රජය විසින් තහනම් කර ඇත. මහා පරිමාණ හා මධ්‍යම පරිමාණ ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට පෙර පාරිසරික බලපෑම් ඇගයුම් සිදු කිරීම අනිවාර්ය වේ.

“ගෝලීය වශයෙන් වැඩිදියුණු වන වනාන්තර ක්ෂේත්‍ර පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමට, සාකච්ඡා කිරීම සහ විවාද කිරීමට මෙන්ම තීරණ ගැනීම සඳහා වූ සුදුසුම ස්ථානය මා දන්නා පරිදි ලෝක වනාරක්ෂක කමිටුවයි. ඔබ ඉදිරියේ ඇති න්‍යාය පත්‍රය ඉතා සංකීර්ණ සේම අභියෝගාත්මක එකක් වනු නියතයි.

“මාගේ කතාව අවසන් කිරීමට ප්‍රථම මේ සම්බන්ධව සිදු කළ ආරාධනයටත්, දැක්වූ ඉහළ ආගන්තුක සත්කාර පිළිබඳවත් ලෝක අාහාර හා කෘෂිකර්ම සංවිධානයට නැවත වාරයක් මාගේ ස්තූතිය පිරිනමමි.”

මාතෘකා