ප්‍රමිතියෙන් තොර ආලේපන නොවැම්බර් සිට තහනම්

 ඡායාරූපය:

ප්‍රමිතියෙන් තොර ආලේපන නොවැම්බර් සිට තහනම්

නියමිත ප්‍රමිතියට අනුකූල නොවන සම සුදු පැහැගන්වන ආලේප හෙවත් 'වයිට්නින් ක්‍රීම්' ඇතුළු සමෙහි ආලේප කරන සියලු ක්‍රීම් සහ ලෝෂන් වර්ග ලබන නොවැම්බර් 1 වැනිදා සිට දැනුම් දීමකින් තොරව වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (තරඟකාරීත්ව ප්‍රවර්ධන) සමන්තා කරුණාරත්න මහත්මිය කියයි.

ප්‍රමිතියෙන් තොර ආලේපන සම්බන්ධයෙන් මෙතෙක් පවතින නඩු පැවරීමේ ක්‍රමවේදයෙන් ඔබ්බට ගොස් ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගත හැකි 2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පනත නොවැම්බර් 1 වැනිදා සිට බලාත්මක වීම හේතුවෙන් මින් ඉදිරියට මෙවැනි අහිතකර ආලේප විකිණීමේ පාලනයක් සිදුවෙතැයි විශ්වාස කරන බවද ඒ මහත්මිය පැවසුවාය.

ඒ අනුව ප්‍රමිතියට අනුකූලව තිබිය යුතු කිලෝ ග්‍රෑම් 1කට රසදිය මිලිග්‍රෑම් 1.0 වෙනුවට කිලෝ ග්‍රෑම් 1කට රසදිය මිලිග්‍රෑම් 51,752, 20,292 සහ 20,466 ප්‍රමාණවලින් යුතු ආනයනික සම සුදු පැහැගන්වන ක්‍රීම් වර්ග අලෙවි කළ ව්‍යාපාරිකයකුට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඔහු වෙත එක් ආලේපනයකට රුපියල් 25,000 බැගින් රුපියල් 75,000ක දඩ මුදලක් නියම කළ බවද සමන්තා කරුණාරත්න මහත්මිය සඳහන් කළාය.

ප්‍රමිතියෙන් තොර එවැනි ආලේපනවලින් පාරිභෝගිකයා ආරක්ෂා කරගැනීමේ අරමුණින් අඛණ්ඩව වැටලීම් සිදුකරන බවත් සමන්තා කරුණාරත්න මහත්මිය අවධාරණය කළාය.

පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් කරන ලද වැටලීම් සහ ඒ ආශ්‍රිත පරීක්ෂණ වාර්තාවලින් සෞඛ්‍යයට අහිතකර ඉතා ඉහළ රසදිය ප්‍රමාණයකින් යුතු, ප්‍රමිති ආයතනයේ සහතිකය පවා ලබා නොගත් සම සුදු පැහැගන්වන ආලේපන පිළිබඳ පසුගිය ජුනි 27 'රැස' ප්‍රධාන පුවතින් අනාවරණය කෙරිණි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා