බන්ධනාගාර නිලධාරීන්ගෙන් සියයට 33ක් මානසික විඩාවෙන්

 ඡායාරූපය:

බන්ධනාගාර නිලධාරීන්ගෙන් සියයට 33ක් මානසික විඩාවෙන්

බන්ධනාගාර නිලධාරීන්ගෙන් තුනෙන් එකක් මානසික විඩාවෙන් පෙළෙන බව “බන්ධනාගාර නිලධාරීන්ගේ මානසික දාහය” පිළිබඳව වෛද්‍ය නිමාලි විජේවර්ධන මහත්මිය සිදුකළ විද්‍යාත්මක සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

එම සමීක්ෂණයට අනුව බන්ධනාගාර නිලධාරීන්ගෙන් සියයට 38.8ක් පෞද්ගලික නිපුණතාවය අඩුවීම පිළිබඳ හැඟීමකින් පෙළෙන බව අනාවරණය වී ඇති අතර මානසික වෙහෙස ගතිය පෙන්නුම් කළ ප්‍රතිශතය සියයට 98.6කි.

එමෙන්ම සිය සේවාලාභීන් පිළිබඳ සෘණාත්මක හැඟීම් ඇති වීම සහ ඔවුන්ගෙන් ඈත්වීම අත්දුටු ප්‍රතිශතය සියයට 26.9ක් බවද මෙම සමීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

වැලිකඩ, මහර, දුම්බර, ගාල්ල, බූස්ස, පෙළොන්නරුව, බදුල්ල, වාරියපොළ, කුරුවිට, කළුතර , මීගමුව, කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාර, කන්දේවත්ත, වීරවිල, වටරැක, කුරුවිට හා වාරියපොළ යන වැඩ කඳවුරු මෙන්ම පල්ලේකැලේ එළිමහන් සිර කඳවුර, අඹේපුස්ස, හබෝද නෙත් සෙවන, වටරැක තරුණ වරදකරුවන් සඳහා වූ පුහුණු මධ්‍යස්ථානවල සේවය කරන බන්ධනාගාර නිළධාරීන් සහ පුනරුත්තාපන නිලධාරීන් 1,803ක් ඇසුරු කොට මෙම සමීක්ෂණය සිදු කර ඇත. එහි අන්තර්ගතය පිළිබඳ බන්ධනාගාර නිලධාරීන් දැනුම්වත් කිරීමේ උත්සවයේදී මේ බව අනාවරණ වී තිබේ.

මෙම සමීක්ෂණ වාර්තාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතාට පිළිගැන්විණ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා