විජයකලා ධුරය අත්හරී

 ඡායාරූපය:

විජයකලා ධුරය අත්හරී

යාපනය ප්‍රදේශයේ පැවති රාජ්‍ය උත්සවයකදී කළ ප්‍රකාශයක් හේතුවෙන් රට තුළ කතාබහට ලක් වූ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය ඊයේ (5) සිය ධුරයෙන් ඉල්ලා අස් වූවාය.

අගමැතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇමතිවරිය මෙම තීරණය ගෙන තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බවය. තමන් රාජ්‍ය ඇමති ධුරයක සිටියදී ව්‍යවස්ථවට පටහැනි ප්‍රකාශයක් කළ බවත් ඒ හේතුවෙන් ඉදිරියේ පැවැත්වෙන පරීක්ෂණවලට ඉඩ දෙමින් සිය ධුරයෙන් ඉවත් වන බවත් ඇය ප්‍රකාශ කර තිබිණි.

එල්ටීටීඊ සංවිධානය රටේ නැවත ස්තාපිත විය යුතු බවත් එම සංවිධානය තිබූ අවදියේ මිනීමැරුම්, කාන්තා දූෂණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල නොතිබූ බවට අමාත්‍යවරිය කළ ප්‍රකාශයක් දේශපාලඥයන් ඇතුළු විවිධ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්වීමත් සමඟ ඒ පිළිබඳ තීරණයක් ගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කර තිබිණි.

ඇමතිවරිය ඉල්ලා අස් වීම ප්‍රකාශයට පත් කිරීමට පෙර ඇගේ ප්‍රකාශය පිළිබඳ විවිධ පාර්ශ්ව දක්වන අදහස් 'රැස' 4 පිටුවේ පළ කෙරේ.

[අසේල ලියනගේ]

මාතෘකා