ගෝඨාභය වැරදිකරු! එෆ්සීඅයිඩිය අධිකරණයට දැනුම් දෙයි

 ඡායාරූපය:

ගෝඨාභය වැරදිකරු! එෆ්සීඅයිඩිය අධිකරණයට දැනුම් දෙයි

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත්දෙනෙකු දණ්ඩ නීති සංග්‍රහයේ හා පොදු දේපොළ පනත යටත‍ට ගැනෙන වැරදි සිදු කර ඇතැයි නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබා දුන්නේ යැයි මූල්‍ය අපරාධ කොට්ඨාශය ඊයේ (25) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රි රාගල මහතා වෙත දැනුම් දුන්නේය.

තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා දැනටමත් සැකකරුවන් විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇති ‍බව දන්වා සිටි මූල්‍ය අපරාධ කොට්ඨාශය, එම පෙත්සමේ නියෝගයෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළව ගෝඨාභය රාජපක්ෂ මහතාට හා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ  වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් අධිකරණය හමුවේ පවසා සිටියේය.

මේ අනුව මෙම සැකකරුවන් විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති හා 1982 අංක 12 දරණ පොදු දේපොළ පනත යටතට ගැනෙන වැරදි සිදු කර ඇතැයි නීතිපතිවරයා විසින් තමන් වෙත දැනුම් දී ඇති බවද  එම කොට්ඨාශය අධිකරණය වෙත දැන්වීය.

වීරකැටිය, මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සදහා කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති අතර, වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් ද අවසර ලබාගෙන නොමැති බවට මූල්‍ය අපරාධ කොට්ඨාශය වැඩිදුර වාර්තාවක් මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත දැනුම් දී තිබිණි.

[සිරන්ජනී කුමාරි]