නීතිය ක්‍රියාත්මක කරද්දී අපිට කවුරුත් එකයි

 ඡායාරූපය:

නීතිය ක්‍රියාත්මක කරද්දී අපිට කවුරුත් එකයි

පහුගිය රජයේ දූෂණ වංචා පමණක් නොවේ, වර්තමානයේ එල්ලවන චෝදනා ගැනත් අප විමර්ශනය කරනවා, යනුවෙන් ඊයේ (18) ජාතිය අමතා කළ ප්‍රකාශයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් අගමැතිවරයා ප්‍රකාශ කළේ ‘අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට තනතුරු කුමක් වුවත් දූෂිතයන්ට දඩුවම් ලබා දෙන්නයි. බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුණා. අපි එය පාපිස්ස යටට දැම්මෙ නෑ

සති දෙකක් ඇතුළත විමර්ශන කමිටුවක් පත්කළා. විමර්ශන කාලය තුළ මහ බැංකු අධිපති රාජකාරි කටයුතුවලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස දැනුම් දුන්නා. විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.  

මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතිත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.  මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර් 31 වන දා නීතිපතිවරයාට යොමු කළා.  

මේ පිළිබඳ විශේෂයෙන්ම පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන වැඩිදුර පරික්ෂණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතුවලට අප සහය දුන්නා.   

චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නැහැ. තුන් වතාවක් අපි මේ ගැන පරීක්ෂණ කළා.  

පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදී මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක පරීක්ෂණ සිදු කළේ නෑ.  

අප පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යළිත් තහවුරු කිරීමටයි කෝප් කමිටුවට සහ පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ. පාර්ලිමේන්තුව සිය මූල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් ප්‍රදර්ශනය කිරීමක් බැඳුම්කර සිදුවීම හරහා අපි දැක්කා.  

එය ආණ්ඩුව විනිවිදභාවයෙන් ක්‍රියාකරන බවට හොඳම උදාහරණයක්.  

බැඳුම්කරය නිසා රජයට කිසිදු අලාභයක් වෙන්නේ නැහැ. ඒ සඳහා අපි කොමිසම නිර්දේශ කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ඒ මුළු මුදලම රජයට ලබාගන්න පුළුවන්.  

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා.  

මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නැහැ. අපේ ඇමතිවරු සම්ප්‍රදාය කඩ කිරීම පිළිබඳ ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනමාධ්‍ය බයක් නැතිව කටයුතු කළා.  

බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්ෂයේ සාමාජිකයින් ඉන්නවා නම් ඒ අය පිළිබඳව හොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. කමිටු නිර්දේශය මත අප ක්‍රියාකරනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායයි.  

අපේ රටට යහපත් අනාගතයක් උදාකර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එක්ව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු." යැයි එතුමා වැඩිදුරටත් පැවසුවේය. 

මාතෘකා