හිටපු අගවිනිසුරුට අල්ලස් නඩු

 ඡායාරූපය:

හිටපු අගවිනිසුරුට අල්ලස් නඩු

හිටපු නීතිපතිවරයකු හා හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස්ට එරෙහිව අල්ලස් කොමිසම මගින් ඊයේ (18) නඩු පවරනු ලැබිණි.  

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ එසේ නඩු පවරනු ලැබුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ගනුදෙනුවලදී වරද සිදු කළ පාර්ශ්වයට වාසි වන පරිදි නීතිපති උපදෙස් ලබාදුන් බවට වන චෝදනාවටය. හිටපු නීතිපතිවරයාට අමතරව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩුට එරෙහිවද අල්ලස් කොමිසම මගින් මෙහිදී චෝදනා ගොනු කර තිබේ. විදුලිබල අමාත්‍යංශයේ සිදු වූ ගනුදෙනුවකට අදාළව නීතිපති උපදෙස් ලබාදීමේදී වරද සිදු කළ පුද්ගලයන්ට අයථා අන්දමින් වාසි සැලසෙන පරිදි කටයුතු කිරීම නිසා මේ නඩුව හිටපු නීතිපතිවරයාට එරෙහිව ගොනු කර ඇත.  

අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එම කොමිසමේ විමර්ශන අංශය මීට අදාළ තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බවත්, අදාළ නඩුව පැවරීමට පෙර මොහාන් පීරිස් ඇතුළු විත්තියේ තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් එම කොමිසමේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර මාධ්‍ය‍ෙව්දී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම වැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන්ද මොහාන් පිරීස් විසින් එකිනෙකට පරස්පර ප්‍රකාශ කර තිබිණි.