හොරු කවුද කියලා ජනතාව දන්නවා | ඇස පාදන රැස


හොරු කවුද කියලා ජනතාව දන්නවා

 ඡායාරූපය:

හොරු කවුද කියලා ජනතාව දන්නවා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වංචාවෙන්, දූෂණයෙන්, හොරකමෙන් තොර ජනතාව වෙනුවෙන් කැපවුණු, ජනතාව වෙනුවෙන් සේවය කරන්න පුළුවන් අපේක්ෂකයින් විතරයි පත් කරන්නේ. මොකද ජනතාවගේ දේවල් කියන්නේ සාංගික දේවල් වගේ. ඒවා අයිති ජනතාවට විතරයි. ඒ නිසා පළාත් පාලන අපේක්ෂකයින්ට ඒවා අනිසි අයුරින් භාවිත කරන්න දෙන්න බැහැ.


ඊයේ (10) අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක රැස්වීම් අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.  


වසර දහස් ගණනක ඉතිහාසයක් පවතින අනුරාධපුර නගරයේ ශ්‍රේෂ්ඨත්වය නැවතත් අැති කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු රැස්වීම මෙහි පැවැත්වීමට හැකිවීමද ජයග්‍රහණයක්.  

 

මේ රට හදන්න සියලු කටයුතු සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුතුව 1951 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෙටි කලක් තුළ මෙරට දේශපාලන බලය ලබාගන්න පුළුවන් ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයක් වුණා. එවැනි ඉතිහාසයක් සහිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ වන විට වසර 65ක් පමණ සම්පූර්ණ වෙනවා. පක්ෂයේ නායක එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා ප්‍රගතිශීලී දේශයක්, අධිරාජ්‍යවිරෝධී මතවාදයක් මෙරට තුළ ගොඩනැගුවත් පක්ෂයේම සැඟවී සිටි අධිරාජ්‍ය හිතකාමී පිරිස් එතුමා මරාගත්තා.  

1956 දී මැතිවරණය සිදු කිරීම සඳහා කොළඹ 07 රොස්මීඩ් පෙදෙසේ පිහිටි බණ්ඩාරනායක මහතාගේ නිවස උකස් තිබ්බා. එතුමාගේ මරණයත් සමඟ ඒක සින්න වුණා. එතුමාගේ මරණයෙන් පසු එම නිවස උගස් ලබාගත් පුද්ගලයා සිරිමාවෝ මැතිනියට එම නිවසින් ඉවත් වෙන්න කිව්වා. ඒත් බණ්ඩාරනායක මහතාට හිතවත් එතුමාගේ දේශපාලන ගමන් මඟ පසුපස ගිය ප්‍රගතිශීලී දේශපාලනයේ නිරත වූ පිරිස ඇවිත් එම ව්‍යාපාරිකයාට බණ්ඩාරනායක මහතාගේ වැදගත්කම පැහැදිලි කර දීමත් සමඟ එම නිවස නැවතත් බණ්ඩාරනායක මැතිනියට ලැබුණා. ඒ තරම් මේ රටේ මිනිස්සු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට, බණ්ඩාරනායක මහතාට ආදරය කළා.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණ සටන් ඉතිහාසය තුළ ජයගත්ත අවස්ථා මෙන්ම පරාජයට පත් වූ අවස්ථාද පැවතුණා. නමුත් සෑම මොහොතකම මාතෘභූමිය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය යුතුකම ඉටුකරන්න අමතක කළේ නැහැ.  1970 වසරේදී සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කළාම සෑම දෙනාම හිතුවේ ඇය දේශපාලනයෙන් සමුගනී කියලා. නමුත් ඇය ඒ හැම දෙයින්ම නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දුන්නා. සෑම මොහොතකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දී මෙරටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළා. ඒ වගේම තමන්ගේ සැමියාගේ දේශපාලන ව්‍යාපාරය පසුපස යමින් ජනතාව සතුවිය යුතු පෞද්ගලික අංශය සතු රාජ්‍ය දේපල සියල්ලක්ම ජනසතු කළා.  


කාලයක් තිස්සේ අනුරාධපුර, පොළොන්නරු පළාතේ ගොවි ජනතාව පීඩාවට පත් කළ දෙයක් ලෙස නිසි කලට වර්ෂාව නොමැතිවීම දැක්විය හැකියි. කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගත කරන මේ ප්‍රදේශයේ ජනතාව වසර 65ක් 70ක කාලයක පටන් ජල හිඟයකින් පෙළුණා කිව්වොත් නිවැරදියි. ඒකට විසඳුමක් දෙන්න පුළුවන් වුණෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විතරයි. ඒ මොරගහකන්ද ජල ව්‍යාපෘතිය හරහා.  


මොරගහකන්ද ජලාශය ගැන මෛත්‍රීපාල සේනානායක මහතා කාලයක් තිස්සේ කතාකළා. මීට දවස් දෙකකට පෙර මොරගහකන්ද ජලාශයේ මංගල දියවර නිකුත් කරලා ඒ හීනය සපල කරලා දුන්නා. ඒකට මුල්ගත තිබ්බේ 2007 ජනවාරි 25 වුණත් ඒ ගැන මම වාරිමාර්ග නියෝජ්‍ය ඇමති ලෙස මුල්වරට කතාකළේ 1994 වසරේදී. ඒ ආචාර්ය කුලසිංහ සමඟ වරක් කැලෑ මැද්දෙන් ගොස් මේ ජලාශය නිර්මාණය කිරීමට අවශ්‍ය ස්ථානය දැකීමත් සමඟ. ඒ ස්ථානය සහ සොරොව්ව නිර්මාණය කළ යුතු ස්ථානය තීරණය කළේ ආචාර්ය කුලසිංහයන්. ඒ නිසයි මේ ජලාශය ආචාර්ය කුලසිංහ ජලාශය ලෙස නම් කරන්න තීරණය කළේ.


දැන් රජරටට කලට වේලාවට වතුර ලැබෙනවා. ඒ නිසා මේ ප්‍රදේශය ඉක්මනින් දියුණු කරන්න පුළුවන්. ඒකට පළාත් පාලන මැතිවරණයේත් ජය අවශ්‍ය වෙනවා. අපිට ඕන මේ ප්‍රදේශයට වැඩක් කරන්න පුළුවන් නිවැරදි නායකත්වයක්. ඒක දුමින්ද දිසානායක මහ ලේකම්තුමා නිවැරදිව ලබා දෙනවා. එතුමාට සහයෝගය දෙන එක මේ ප්‍රදේශයේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ වගකීම.   පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන්නේ අවංක, රටට - ගමට ආදරය කරන, ජනතාව වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නායකයන්. අවංකවම තමන්ට ලැබෙන මුදල් ජනතාව වෙනුවෙන් නිවැරදිව වියදම් කරන්න පුළුවන් කෙනෙක්. 


2015 පෙර පැවති රජය පරාජය වීමට මූලික හේතුව වුණේ පළාත් පාලන අපේක්ෂකයින්ගේ වංචාවන්, දූෂණ පිළිබඳ නිසි සැළකිල්ලක් දැක්වුයේ නැති එක. පසුගිය රජය සමයේ ප්‍රාදේශීය සභා හතක අපේක්ෂකයින් කිහිප දෙනෙකුම වංචා, දූෂණ සිදුවීම් සම්බන්ධවෙන් චෝදනා ලබපු නිසා මගේ මැදිහත් වීමෙන් අරලිය ගහ මන්දිරයට ගෙනවිත් ඒ ගැන හිටපු ජනාධිපතිවරයාට දැන්නුවා. නමුත් හිටපු ජනාධිපතිවරයා කිව්වේ කරන දෙයක් හෙමීට කාටවත් නොදැනෙන්න කරන්න කියලා. එකෙන් වුණේ ඔවුන්ට අනුබලයක් ලැබුණ එක විතරයි.  


නමුත් මෙවර එවැනි සෙල්ලම් කරන්න දෙන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වංචාවෙන්, දූෂණයෙන්, හොරකමෙන් තොර ජනතාව වෙනුවෙන් කැපවුණු, ජනතාව වෙනුවෙන් සේවය කරන්න පුළුවන් අපේක්ෂකයින් විතරයි පත් කරන්නේ. මොකද ජනතාවගේ දේවල් කියන්නේ සාංගික දේවල් වගේ. ඒවා අයිති ජනතාවට විතරයි. ඒ නිසා පළාත් පාලන අපේක්ෂකයිට ඒවා අනිසි අයුරින් භාවිත කරන්න දෙන්න බැහැ.  


අද උදේ පාර්ලිමේන්තුවේදී පක්ෂ දෙක ගහගත්තා කියලා ආරංචි වුණා. බැඳුම්කර විවාදය එක්ක පක්ෂ දෙකම එකිනෙකාට හොරු කිය කිය චෝදනා කරන්න පටන් අරගෙන. නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි සෑම දෙනාම අනුරාධපුරේ ආව නිසා ජනතාව දන්නවා අපේ පක්ෂයේ හොරු නෑ කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන කිය කණ්ඩායම අද ජනතාව ඉදිරියේ පෙනී ඉන්නවා. එදා බණ්ඩාරනායක මහතාට වෙඩි තියලා ප්‍රගතිශීලි දේශපාලන ව්‍යාපාරයට විශාල හානියක් සිදුකළ වගේ තමයි මේ අය බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය කඩාගෙන ගිය එක. ඒ නිසා මෙවර පළාත් පාලන ඡන්දයෙන් ජනතාව තීරණය කළ යුතුයි කාටද ඡන්දය දෙන්නේ කියලා.  


මේ ජනතාව දෙස බලන විට මට එක දෙයක් පේනවා. මේ අනෙක් පක්ෂ වගේ බස්වලින් ඇදපු සෙනග නෙමෙයි. අරක්කු වීදුරුවට, බත්පැකට් එකට ආව මිනිස්සු නෙමෙයි. මේ මිනිස්සු අවංකවම ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් කැපවුණු මිනිස්සු. ඒ නිසා මේ මිනිස්සු වෙනුවෙන් අවංකවම වැඩ කරන එක අපේ යුතුකමක්.


අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක ඇතුළු කථික ෙයා් රැසක් මෙහිදී ජනතාව ඇමතූහ.