අර්ජුන් ඇලෝසියස්ගේ ශ්‍රීලනිප හවුල්කරුවන් ගැන විමර්ශනයක්!

 ඡායාරූපය:

අර්ජුන් ඇලෝසියස්ගේ ශ්‍රීලනිප හවුල්කරුවන් ගැන විමර්ශනයක්!

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් මුදල් ගනුදෙනු සිදු කර තිබෙන බැව් අනාවරණය වන්නේ නම් එයට අදාළ විනයානුකූල පියවර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා වශයෙන් තමන් කටයුතු කරන බව කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක අවධාරණය කළේය.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා 'රැස' ට මේ බව පැවසීය.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් අර්ජුන් ඇලෝසියස් සමඟ මිත්‍ර සබඳතා පැවැත්වූවාට එහි ගැටලුවක් නොමැති නමුත්, එම සබඳතා වලින් ඔවුන් අයුතු ප්‍රයෝජන ගෙන ඇත්නම් පක්ෂ මහ ලේකම්වරයා වශයෙන් විමර්ශන පැවැත්වීමට තමන්ට සිදු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය. පසුගිය වකවානුවේදී ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු කිහිපදෙනකු අර්ජුන් ඇලෝසියස් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව මෑතකදී ග්‍රාමීය කටයුතු ඇමැති පී. හැරිසන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.  


කෙසේ වුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අර්ජුන් ඇලෝසියස් සමග මුදල් ගනුදෙනු පවත්වා ඇති බවට මෙතෙක් කරුණු අනාවරණය වී නොතිබීම හේතුවෙන් තමන්ට කිසිවකුගේ පෞද්ගලික සම්බන්ධතා විමර්ශනය කිරීමට අවශ්‍යතාවක් නොවන බවද ඇමැති දුමින්ද දිසානායක වැඩිදුරටත් පැවසීය.