උඩවත්ත රක්ෂිතයේ හෝටලය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

 ඡායාරූපය:

උඩවත්ත රක්ෂිතයේ හෝටලය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

මහනුවර දළදා මාලිගාවට ඉහළින් පිහිටි උඩවත්ත ස්වභාවික රක්ෂිතයේ නීති විරෝධීව හෝටලයක් ඉදි කරන්නේද යන්න පිළිබඳව සොයා බලා ඒ පිළිබඳ විධිමත් වාර්තාවක් තමන් වෙත යොමු කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

පරිසර ඇමතිවරයා වශයෙන් ජනාධිපතිවරයා මෙම උපදෙස් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

අක්කර 257ක් වන උඩවත්ත රක්ෂිතයේ පර්චස් 90ක බිම් කොටසක නීතිවිරෝධී හෝටලයක් ඉදිකරන බව පවසමින් මේ වන විට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු අංක MC/81545/99 යටතේ මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරනු ලැබ ඇති අතර, මහනුවර අවට ආගමික නායකයන්, නීතිඥයන්, පරිසරවේදීන් හා වනසංරක්ෂණ නිලධාරීහු මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය පළ කර සිටිති.

ඒ අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව පරිසර අමාත්‍යංශ නිලධාරීන්ද උඩවත්ත රක්ෂිතයේ අදාළ ඉදිකිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත.

වන සංරක්ෂණ ආඥා පනතට අනුව උඩවත්ත රක්ෂිතය හෝ වෙනත් රක්ෂිත ප්‍රදේශයක කිසිදු හේතුවක් සඳහා ගස් කැපීම් සිදු කළ නොහැක. උඩවත්ත රක්ෂිතය යනු මහනුවර නගරයේ ජල පෝෂක කලාපය වේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර 'රැස' කළ විමසීමකදී වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසුවේ මේ වන විට අදාළ භූමිය පවරාගැනීමට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ අත්පත් ලේඛනද යවා ඇති බවය.

පසුගිය ආණ්ඩු සමයේදී අදාළ හෝටලයේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ අතර, මේ වන විට එම ඉදිකිරීම් අවසන් කර තිබේ. මේ පිළිබඳව 'රැස' පුවත්පත මගින්ද අනාවරණය කෙරිණි.

 


ජනප්‍රිය ලිපි