ජනපති මාසයක් ඉල්ලයි

 ඡායාරූපය:

ජනපති මාසයක් ඉල්ලයි

ආණ්ඩුවේ ඉදිරි කටයුතු විධිමත් කරගැනීමට තමන්ට මාසයක් කල් දෙන්නැයි ජනාධිපතිවරයා ශ්‍රීලනිප මැති-ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපතිවරයා සහ ශ්‍රීලනිප මැති-ඇමැතිවරුන් අතර ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මේ ඉල්ලීම කර ඇති අතර, ඉන් පසු අවශ්‍ය ඕනෑම අයකුට තමන්ට අවශ්‍ය තීරණය ගත හැකි බවද දැනුම් දී ඇත. අතපසුවීම් සහ අඩුපාඩු රැසක් තිබූ බවත්, ඒවා පිළිගෙන අදාළ අඩුපාඩු මගහරවා ගැනීමට ඉදිරි මාස දෙක-තුනක කාලය තුළ තමන් උපරිමයෙන් මැදිහත් වන බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

මේ අතර රටේ හා ජාතියේ ස්ථාවරත්වය සහ උන්නතිය උදෙසා ජාතික රජය තවදුරටත් පවත්වාගෙන යාමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් ඒකමතිකව ජනාධිපතිවරයා ඉදිරියේ එකඟ වූ බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) ප්‍රකාශ කළේය. පවතින දේශපාලන හා සමාජ වාතාවරණය හමුවේ ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම රටටත් ජනතාවටත් බලපෑමක් එල්ල කළ හැකි බැවින් රටේ ස්ථාවරත්වයට සිදු වන බලපෑම සලකා ජාතික රජයට සහාය පළ කිරීමට තිරණය කළ බවත් නියෝජ්‍ය කතානායකවරයා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජයෙන් ඉවත් වීමට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් අවසර ඉල්ලා සිටි බවත්, ඊයේ (19) දහවල් වන තෙක් ජාතික රජයෙන් ඉවත් වීමට ගෙන තිබූ තීරණය හා එලෙස ඉවත් වන බවට තමන් නමින් නිකුත් කළ නිවේදනය සත්‍ය බවත් නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.

එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා, ජාතික රජයෙන් ඉවත් වන බවට දන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යොමු කළේ යැයි පුවත්පත්වල පළ වූ පුවත් හා එස්එම්එස් පණිවුඩය සත්‍යයක් බවට තමන් පිළිගන්නා බවත් නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේය. ජාතික ආණ්ඩුව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා විමසා තීන්දුවක් ලබාදෙන තෙක් ඉදිරි මාස කිහිපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික රජය යටතේ එක්ව කටයුතු කරන බවත් සඳහන් කළේය.

[කාශ්‍යප දිසානායක]