ඇමති ෆවුසිගේ මිනිබිරියට අධිකරණයේදී පහරදීමක්

 ඡායාරූපය:

ඇමති ෆවුසිගේ මිනිබිරියට අධිකරණයේදී පහරදීමක්

හිටපු ජ්‍යෙෂ්ඨ ඇමති ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ මිනිබිරියක සහ බිලියනපති ව්‍යාපාරික සකී අලීෆ්ගේ දියණිය වන නීතිඥ හෆ්සා අලීට පසුගිය සිකුරාදා (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේදී පහරදීමක් සිදුව ඇති නමුත්, මේ දක්වා ඊට අදාළ පොලිස් පරීක්ෂණ කිසිවක් සිදු වී නොමැති බව අනාවරණය වේ.

පසුගිය සිකුරාදා (09) ශස්ලි මවුජූත් නම් ඇගේ හිටපු සැමියා විසින් මෙම පහරදීම සිදු කරනු ලැබ ඇති අතර, හිටපු සැමියාට එරෙහිව ගොනු කරන ලද 80740/2017 අංක දරන නඩුවේ සාක්ෂි දීමට යෑමේදී මෙම පහරදීම සිදු කර ඇත.

හෆ්සා අලීගේ නිවසට මීට පෙර ඇතුළු වී කළ පහරදීමක් හා නිවසේ දේපොළවලට අලාභහානි කිරීම සම්බන්ධයෙන් අදාළ නඩුව ගොනු කරනු ලැබ තිබිණි.

පහරදීම වූ දිනයේදී සාක්ෂි දීම සඳහා හෆ්සා අලී අධිකරණ සංකීර්ණයට ඇතුළු වී සිටි අවස්ථාවේදී තමන්ට එරෙහිව සාක්ෂි නොදෙන ලෙස හෆ්සා අලීට මරණ තර්ජනය කරමින් මෙම පහරදීම සිදු කර ඇත. පහරදීමෙන් අනතුරුව ශස්ලි මවුජූත් උසාවි භූමියෙන් නික්ම ගොස් ඇති අතර, පහරකෑමට ලක්වීම හේතුවෙන් ඇය තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන්නීය.

2015 අංක 04 දරන වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යහපාලන රජය පැමිණි පසුව අලුතින් ගෙන ආවද, අධිකරණ සංකීර්ණයකදී නීතිඥවරියකට පහරදීම පිළිබඳව මෙතෙක් ක්‍රියා මාර්ග ගැනීමට පොලිසිය අසමත් වීම ගැටලුු සහගත බව නීතිවේදීහු පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පැවසුවේ එවැනි සිදුවීමක් පිළිබඳ තමන්ට වාර්තා වූ බවයි. දෙපාර්ශ්වය කැඳවා මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ තීන්දුවක් ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. මේ සිද්ධිය පෞද්ගලික කරුණක් වන බැවින් හදිසි අත්අඩංගුවට ගැනීමකට නොගිය බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

[ශිවන්ති ප්‍රනාන්දු] [නිර්මාණී බණ්ඩාරනායක]