කඩිනමින් දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරනවා | ඇස පාදන රැස


කඩිනමින් දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරනවා

 ඡායාරූපය:

කඩිනමින් දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් කරනවා

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ

දුම්රිය මගී ජනතාව අපහසුතාවට පත් කරමින් දුම්රිය සේවකයන් විසින් පෙර දැනුම්දීමකින් තොරව ආරම්භ කරන ලද වැඩවර්ජනයට විසදුමක් ලෙස දුම්රිය සේවාව හැකි ඉක්මනින් අනිවාර්ය සේවාවක් බවට පත් කරන බව සිවිල් ගුවන් හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඊයේ (09) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

“සාමාන්‍යයෙන් සංස්කෘතියක් ලෙස යම්කිසි වෘත්තීය සමිතියක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වනවානම් ඒ පිළිබඳව පූර්ව දැනුම්දීමක් කළ යුතුයි. නමුත් කිසිදු දැනුම්දීමකින් තොරව දුම්රිය සේවකයන් වැඩවර්ජනයේ යෙදුණේ. රටේ දාහතර ලක්ෂයක් රාජ්‍ය සේවකයින් ඉන්නවා. එයින් පන්ලක්ෂයකට ආසන්න මගින් ප්‍රමාණයක් දුම්රියෙන් ගමන් කරනවා. දිනකට ගමන්වාර 375ක් පමණ ක්‍රියාත්මක කරනවා. පෙරේදා උදෑසන දුම්රියෙන් ගමන් ගන්නා ජනතාවට හවසට නිවෙස් බලා යෑමට නොහැකි වුණා, මේ දුම්රිය වැඩවර්ජනය නිසා. වසර 154ක් වන දුම්රියේ සේවාවේ තමයි වැඩිම වෘත්තීය සමිති ප්‍රමාණයක් තිබෙන්නේ, ඒ සංඛ්‍යාව 125කට අධිකයි. සේවකයන් 18,000ක් පමණ සිටිනවා.

මේ දුම්රිය වෘත්තීය සමිතිවලට තිබෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි දුම්රිය සේවකයන්ගේ වැටුප් විෂමතාවක් තිබීම. මෙම විෂමතාවට විසඳුමක් ලෙස මීට මාස කීපයකට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණා. ඒ වගේම මෙම ගැටලුව විසඳීම සඳහා සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අනුකමිටුවක් සකස් කළා. ඒ අනුකමිටුවේ තීන්දුව අනුව කැබිනට් අනුකමිටුවේ තීරණය වුණේ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩ කළහොත් ඊට සමාන්තරව අනෙකුත් රාජ්‍ය සේවයේ සිටින සේවකයන්ට වැටුප් විෂමතාවක් ඇතිවන බව. ඒ අනුව තීරණය කළා දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට. සංවෘත්ත සේවාවක් කළහොත් දුම්රිය සේවකයන්ගේ පඩිවලට අමතරව අනෙකුත් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි වැඩි වෙන්නෑ. දුම්රිය සේවය සංවෘත සේවයක් කළ පසු වැටුප් වැඩි කිරීම් ලබාදීම සඳහා තීරණය කර තිබියදී මාස කිහිපයක් තුළ අනෙකුත් රාජ්‍ය ආයතනවල සේවක සංගම් රජයට පවසා තිබුණා. දුම්රිය සේවකයන්ට කෙසේ හෝ පඩි වැඩි කළහොත් ඔවුන්ගේ පඩියද වැඩි කළ යුතු බවයි.

මෙම තත්ත්වය නිසා මුදල් අමාත්‍යවරයා පසුගියදා (07) කැබිනට් තීන්දු පත්‍රිකාවක් ඉදිරිපත් කළා, රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකිරීම හා සංශෝධනය කළ යුතුයි කියා. ඒ නිසා දුම්රිය සේවකයන්ගේ පඩි වැඩි කිරීම සඳහා පසුගිය ජූනි මාසයේ සම්මත වූ කැබිනට් පත්‍රිකාව තාවකාලිකව නතර කළා. මේ නිසා තමයි මෙම දුම්රිය සේවකයන් කිසිදු පෙර දැනුම්දීමකින් තොරව වැඩවර්ජනයක් ආරම්භ කළේ.

මුදල් අමාත්‍යංශය කිව්වේ පඩි වැඩිකිරීම සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා නැවත සමාලෝචනයක් කිරීමට මාස දෙකක කාලයක් දෙන්න කියලා, නමුත් එම තීරණයට දුම්රිය සේවකයන් අකමැති වුණා. අපි කනගාටුව ප්‍රකාශ කරනවා රටේ ජනතාවට පෙරේදා සිදුවීම පිළිබඳව. විභාගයක් පැවැත්වීමට නියමිත මොහොතක මෙවැනි වැඩවර්ජනයකට යොමු වීම ඉතාමත් අසාධාරණයි. රජයක් හැටියට අපි බොහෝ කලක සිට මෙම ප්‍රශ්නය විසඳීමට කටයුතු කළා. නමුත් ඉක්මනින්ම මෙම ප්‍රශ්නය විසඳීම සඳහා කටයුතු කරනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම බස්රථ යොදවා තිබෙනවා. එහි සියලුම සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. පුද්ගලික බස්රථ 21,000ම නිවාඩු ගන්නේ නැතුව, බලපත්‍රයක් නොමැතිව ඕනෑම මාර්ගයක මේ සතිය තුළ පමණක් මගීන් රැගෙන යාමට අපි තීරණය කර තිබෙනවා. ඒ වගේම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්වල දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ඇති අයට නොමිලේ ගමන්කිරීමට අවස්ථාව උදා කර තියෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ උසස්පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සිසුන්ගේ සහ පොදු ප්‍රවාහන සේවය භාවිත කරන ජනතාවගේ ප්‍රවාහන පහසුව ඇති කිරීමටයි. මෙවැනි අසාධාරණ වැඩවර්ජන නැවැත්වීමට අපි පියවරක් ගන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මගී ජනතාව ප්‍රවාහනයට අමතරව ගුවන්තොටුපළවල් වෙත ඉන්ධන රැගෙන යෑම කළ යුතුයි. ඒ නිසා මෙය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරනවා. අද අමාත්‍යාංශ ලේකම් වෙත එම ලිපිය යොමු කළා. ජනාධිපතිවරයා අත්සන් කළ පසු මෙය අත්‍යවශ්‍ය සේවාවක් කරනවා.

දැනට දුම්රිය සේවකයෙකුගේ මූලික වැටුප 44,600ක්. මූලික වැටුපට අමතරව අතිකාල දීමනා ඇතුළු රුපියල් ලක්ෂ 2ක් පමණ මසකට උපයනවා. ජනතාව අපෙන් අහනවා මෙච්චර වැටුප් තිබියදී වැටුප් වැඩකිරීම සාධාරණද කියා. නීතිය අතින් වැටුප් වැඩි කිරීම සාධාරණ වුවත් මෙවැනි පූර්ව දැනුම්දීමකින් තොරව වැඩවර්ජන සංවිධානය කිරීම අසාධාරණයි.

අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙම තත්ත්වය තුළ පමණක් බස් රථ භාවිත කරන්න කියා. අපි දුම්රිය සේවකයන්ට නියෝගයක් දුන්නා වැඩ ආරම්භ කරන්න අපි සාකචඡා කරමු කියා. අපි ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරනවා. අපි තීරණයකට එළඹිලා තියෙනවා. දිගින් දිගටම මෙලෙස වැඩවර්ජනවලට යොමු වුණොත් අලුතින් දුම්රිය රියදුරන් පුහුණු කිරීමට.”

[අසේල ලියනගේ] ඡායා [තුසිත සිංහකුට්ටිආරච්චි]

මාතෘකා