දුම්රිය මගීහු වර්ජකයන් වටලති | ඇස පාදන රැස


දුම්රිය මගීහු වර්ජකයන් වටලති

 ඡායාරූපය:

දුම්රිය මගීහු වර්ජකයන් වටලති

සේවක වැටුප් විෂමතා මුල් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපති, රියදුරු, පාලක යන අංශවල සේවකයන් විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට නිවෙස් බලා යෑමට පැමිණි සියලුම දුම්රිය මගීහු ඊයේ (8) දැවැන්ත උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹුණහ.

රැකියා කටයුතු අවසන් වී නිවෙස් බලා යෑමට කොටුව දුම්රිය ස්ථානයට පැමිණි දුම්රිය මගීන්ගෙන් එහිදී දුම්රිය නිලධාරීන්ට හා සමස්ත දුම්රිය දෙපාර්තුමේන්තුවටම දැඩි විරෝධයක් එල්ල කෙරිණි. සිය දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර පෙන්වමින් තමන් ඒවාට කළ ගෙවීම් කෙරෙහි දුම්රිය වැඩවර්ජකයින් දැඩි ආසාධාරණයක් කර ඇති බවට දුම්රිය මගීහු චෝදනා කළහ.

දුම්රිය මගීන්ගේ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි ඕල්කට් මාවතේ මං තීරු දෙකම අවහිර වු අතර ඇතැම්හු දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කළ යුතු බවද පැවසූහ. මගීන්ගේ ආවේගකාරී හැසීරීම් හේතුවෙන් කොටුව දුම්රිය පොළේ ඇතැම් පොදු දේපළවලට පවා හානි සිදුව තිබූ අතර මරදාන දුම්රිය ස්ථානයේද මෙම තත්ත්වයම පැවැති බව දක්නට ලැබිණි.

දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය වෙනස් වීම හේතුවෙන් ඊයේ පස්වරු 3.00 සිට දුම්රිය සේවකයින් විසින් මෙම වැඩවර්ජනය ආරම්භ කරන ලදි.

[අසේල ලියනගේ] ඡායා[රුක්මල් ගමගේ]

මාතෘකා