ඥානසාර හිමි 19 වසරක් සිරගෙට

 ඡායාරූපය:

ඥානසාර හිමි 19 වසරක් සිරගෙට

අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරකට වරදකරු වූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට වසර 6කින් ගෙවී යන පරිදි වසර 19ක සිරදඩුවමක් ඊයේ (8) අභියාචනාධිකරණය විසින් නියම කරන ලදි.

හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කළ පැමිණිල්ලකට අදාළව නීතිපතිවරයා විසින් ගොනු කරන ලද චෝදනා පත්‍ර අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව ඊට අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මෙම දඬුවම් නියම කෙරිණි.

අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

තීන්දුව ප්‍රකාශයට පත්කළ අභියාචනාධිකරණයේ සභාපතිවරයා කියා සිටියේ, නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති චෝදනා හතරකට එම හිමිනම වරදකරු වන බවයි. රෝගී තත්ත්වයේ පසුවන සිය සේවාදායකයා ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් අධිකරණය වෙත පැමිණීමට නොහැකි වී ඇති බව ඥානසාර හිමි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඊයේ අභියාචනාධිකරණය වෙත දැනුම් දුන්හ.

තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ ඥානසාර හිමිනම අධිකරණයේ පෙනී නොසිටි බැවින් අදාළ තීන්දුව වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත දැනුම් දෙන ලෙස එහිදී අභියාචනාධිකරණයේ සභාපතිවරයා නියෝග කළේය.

2016 වසරේ ජනවාරි මාසයේ එක්තරා දිනයක මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් කිරීමට අදාළ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ අධිකරණ භූමිය තුළ කළහකාරී ලෙස හැසිරීම තුළින් අධිකරණයට අපහාස කිරීම, රජයේ නීතිඥවරුන්ට අපහාස කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ නීතිපතිවරයා විසින් ඥානසාර හිමිට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබ තිබුණි.

[දසුන් රාජපක්ෂ]

මාතෘකා