හදිසි දුම්රිය වැඩවර්ජනයට රජයේ අප්‍රසාදය | ඇස පාදන රැස


හදිසි දුම්රිය වැඩවර්ජනයට රජයේ අප්‍රසාදය

 ඡායාරූපය:

හදිසි දුම්රිය වැඩවර්ජනයට රජයේ අප්‍රසාදය

පිළිගත් සම්ප්‍රදායන් නොතකා හැර, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව අද (08) සවස හදිසියේම දුම්රිය වැඩවර්ජනයක් දියත් කිරීම නිසා දැඩි අපහසුතාවකට පත්ව ඇති දුම්රිය මගීන් සියලු දෙනාටම රජය වෙනුවෙන් බලවත් කනගාටුව ප්‍රකාශ කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

ඊයේ (අගෝස්තු 07) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දුම්රිය සේවකයන් ඇතුළු සමස්ත රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය කිරීම සඳහා වැටුප් පිළිබඳ විශේෂ කොමිසමක් පත්කිරීමට තීරණය කරන ලදි. එම තීරණය අනුව මුදල් අමාත්‍යාංශය විසින් ලබන සතියේ එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට තීරණය කර සිටි අවස්ථාවක දුම්රිය මගීන් අපහසුතාවට පත් කොට එයින් රජය අප්‍රසාදයට ලක් කිරීම සඳහා දුම්රිය සේවකයන් ගත් ක්‍රියාමාර්ගය රජය දැඩි සේ හෙළා දකී.

මෙම හදිසි වැඩවර්ජනයෙන් අපහසුතාවට පත්වූ, තම නිවෙස් බලා ගමන් කිරීමට දුම්රිය ස්ථාන වෙත පැමිණි රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් ඇතුළු දුම්රිය මගීන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක කර ඇත. දුම්රිය මගීන්ට තම ප්‍රවේශපත්‍ර හෝ වාර ප්‍රවේශපත්‍ර භාවිත කර ශ්‍රී ලංගම බස් රථවල නොමිලේ ගමන් කිරීමට රජය අවසර ලබා දී ඇත.

මාර්ග අවසරපත් (Route Permit) නොතකා ඕනෑම මාර්ගයක බස් රථ ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලටද අවසර දී ඇත. තවද විශේෂ බස් රථ සේවා වෙනුවෙන් දැරීමට සිදු වන වියදම් රජය මගින් ලංගම බස් රථ වෙත ලබාදීමටද කටයුතු කරනු ලැබේ. වැඩවර්ජනය අවසන් කොට, මෙම තත්ත්වයට විසඳුම් ලබාගැනීම පිණිස ඉක්මනින් සාකච්ඡා සඳහා පැමිණෙන ලෙස වැඩවර්ජනයේ යෙදී සිටින සියලු වෘත්තීය සමිති වෙතින් රජය ඉල්ලා සිටී.

[දර්ශන හපුකොටුව]

මාතෘකා