අයාලේ යැවූ සැප වාහන ගැන පරීක්ෂණ ඇරඹේ

 ඡායාරූපය:

අයාලේ යැවූ සැප වාහන ගැන පරීක්ෂණ ඇරඹේ

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් අධිසුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු රථවාහන 500කට ආසන්න සංඛ්‍යාවක් හිටපු ජනාධිපතිවරයාට හිතවත් විවිධ ප්‍රභූවරුන් සහ ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් අවභාවිත කරන ලද බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ඉහළ නිලධාරියෙක් 'රැස'ට පැවසීය.

එම රථවාහන අවභාවිත සිද්ධීන්ට අදාළව නීති කෘත්‍යයන් තුනක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් විශේෂ විමර්ශනයක් ඇරඹීම සඳහා ජනාධිපති කාර්යාලයෙන් අවශ්‍ය සාක්ෂිද සටහන් කරගෙන තිබේ.

අවභාවිත කොට ඇති රථවාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ, ජීප් රථ, ඩිෆෙන්ඩර් රථ ආදිය ඇති අතර ඒ අතුරින් බහුතරයක් විශේෂ ව්‍යාපෘති සඳහා අවශ්‍ය යැයි සඳහන් කොට මෙරටට ගෙන්වා අදාළ ප්‍රභූවරුන් හා ඉහළ රාජ්‍ය නිලධාරීන් අතරේ කිසිදු නෛතික පදනමකින් තොරව බෙදා දී තිබේ. පොලිස් විශේෂ විමර්ශන ඒකකය අනාවරණය කරගත් තොරතුරු අනුව අවභාවිත කර ඇති ඇතැම් වාහන වෙනත් අමාත්‍යාංශවලින් සහ ආරක්ෂක අංශවලින්ද ලබාගෙන තිබේ.

මෙසේ රජයට අයත් වාහන අවභාවිතය නිසා සිදුව ඇති පාඩුව මෙතෙක් තක්සේරු කර නොමැති අතර අවම වශයෙන් එය රුපියල් බිලියන ගණනක් වනු ඇති බවත්, ඉදිරියේදී ඇරඹීමට නියමිත නෛතික ක්‍රියාවලියට බාධා විය හැකි බැවින් ඇතැම් තොරතුරු සහ පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධ කළ නොහැකි බවත් 'රැස' කළ විමසීමකදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අධිකරණ කටයුතු භාර නිලධාරියෙක් වැඩිදුරටත් පැවසීය.

[දසුන් රාජපක්ෂ]

මාතෘකා