රබර් කම්හලේ මරුවළට 5 දෙනෙක් බිලි වෙති : 34ක් රෝහලේ

 ඡායාරූපය:

රබර් කම්හලේ මරුවළට 5 දෙනෙක් බිලි වෙති : 34ක් රෝහලේ

හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන පෞද්ගලික කර්මාන්ත ශාලාවක ඊයේ (19) සවස 1ට පමණ සිදු වූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනකු මියගොස් තිබේ. එසේම විෂ වායු ආඝ්‍රාණය වීමෙන් රෝගාතුර වූ පුද්ගලයින් 34 දෙනෙකු හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ හෙයින් ඔහුව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ බව හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය.

හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අපජලය එක්වන ටැංකියක් පිරිසුදු කිරීම සඳහා එහි වැස්ම ඉවත් කිරීමට උත්සාහ කළ සේවකයෙකු ඉන් පිටවූ අහිතකර වායුවක් ආඝ්‍රාණය වීම නිසා එම වළට ඇද වැටී ඇත. පසුව එම සිද්ධිය පිළිබද සොයා බැලූ මුලින් එම වළට ඇද වැටුණු තැනැත්තාගේ බිරිඳද ශ්වසන අපහසුතාවක් ඇතිවී එම වළටම ඇද වැටී තිබේ. මෙම සිද්ධියත් සමඟ එහි සේවය කළ වෙනත් සේවකයන් එම කර්මාන්තශාලාව අවට සිටින අසල්වාසීන් සමඟ එම විෂ රසායනික අඩංගු ස්ථානයට පැමිණි වෙලාවේ එම පිරිසෙන් වැඩි දෙනකුද මෙම වළ තුළට ඇද වැටුණු බව සිද්ධිය දුටු පිරිස පවසති. පානදුර කොට්ඨාසයේ පොලිස් ස්ථාන ගණනාවක නිලධාරීන් මෙම අනතුරින් පසු කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සැපයීමට යොදවා ඇති අතර, ඊයේ (19) සවස හොරණ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා පැමිණ මෙම ස්ථානය නිරීක්ෂණයට ලක් කළේය.මේ අතර අදාළ කර්මාන්ත ශාලාවේ කළමනාකාරවරයා ඊයේ පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

[නන්දසේන උඩුගම][ජී.ඩී.එම්. මානෙල්]

මාතෘකා