අන්තර්ජාලයේ තිබෙන ප්‍රවෘත්තිවලින් සියයට 75ක් අසත්‍යයි - ජනපති ලන්ඩනයේදී කියයි | ඇස පාදන රැස


අන්තර්ජාලයේ තිබෙන ප්‍රවෘත්තිවලින් සියයට 75ක් අසත්‍යයි - ජනපති ලන්ඩනයේදී කියයි

 ඡායාරූපය:

අන්තර්ජාලයේ තිබෙන ප්‍රවෘත්තිවලින් සියයට 75ක් අසත්‍යයි - ජනපති ලන්ඩනයේදී කියයි

අන්තර්ජාලයේ තිබෙන ප්‍රකාශන සහ ප්‍රවෘත්තිවල පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ අසත්‍ය තොරතුරු බවත්, පසුගියදා මහනුවර ප්‍රදේශයේ ඇති වූ ජාතිවාදී ගැටුම්වලදී සත්‍ය තොරතුරුවලට වඩා අසත්‍ය තොරතුරු පැතිරුණු බවත්, නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහා ඒවා නිර්මාණය කළත් මේ වන විට තාක්ෂණය භාවිතය ඛේදවාචකයක් බවට පත් වී ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතා පසුගිය 17 වැනිදා ප්‍රකාශ කළේය. 
 එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. 
 ‘පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමට පැමිණි අවස්ථාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයන් වන ඔබව හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. වැඩබලන මහ කොමසාරිස්තුමා සඳහන් කළ ආකාරයට මෙහි සිටින ලක්ෂ හතරකට ආසන්න වූ ශ්‍රී ලාංකිකයන්ගේ නියෝජිත පිරිසක් වශයෙන් මම මේ සන්ධ්‍යාවේ ඔබව දකින්නේ. සියලුදෙනාටම එකම ස්ථානයක කතා කිරීමට, සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොලැබුණත් ඒ සියලු දෙනා නියෝජනය කරන ඔබ වෙනුවෙන් මේ අවස්ථාවේ මේ හමුවීම මා ඉතාමත් වැදගත් කොට සලකනවා. 
 ඔබ මෙහි ජීවත් වූවත් අපගේ මාතෘභූමිය පිළිබඳ තොරතුරු ඔබ දන්නවා. නමුත් කොතෙක් දුරට නිවැරදි තොරතුරු ඔබ වෙත ගලා එනවාද යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබෙන බව මම දකිනවා. අදත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මා හමුවීමට පැමිණ සිටියා. බොහෝ වේලාවට පෞද්ගලික සහ සංවිධාන වශයෙන් හමුවී කතා කරනවා. එම සාකච්ඡා  මගින් මා අවබෝධ කරගත් කරුණක් වන්නේ, මොනතරම් වැරදි තොරතුරු ඔබ අහනවාද දකිනවාද කියන කාරණාව. අන්තර්ජාලයෙහි තිබෙන ප්‍රකාශන, ප්‍රවෘත්ති තුළ පැහැදිලි ලෙසම සියයට 75කට වඩා තිබෙන්නේ සත්‍යයෙන් තොරවූ දේවල්. නිමල් සිරිපාල ඇමතිතුමාත් මමත් අද සාකච්ඡා කිහිපයකම එකට වාඩි වුණා. ඇමතිතුමාත් ළඟ සිටි නිසා සමහර දේවල්වලට මට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකියාව ලැබුණා. 
 පසුගිය දිනවල අපේ රටේ මහනුවර ප‍්‍රදේශයේ ඇතිවූ සිංහල - මුස්ලිම් ගැටුම්වලදී සිදුවූ සිද්ධීන් සහ එම පසුබිම් පිළිබඳව සත්‍යයට වඩා කොතරම් අසත්‍ය දේ පැතිර ගොස් තිබෙනවාද. එමෙන්ම රජය කළ කාර්යයන් පිළිබඳව නිවැරදි තොරතුරු මොනතරම් අඩුවෙන් වාර්තාවී තිබෙනවාද. වැරදි තොරතුරු මොනතරම් වේගයෙන් විදේශයන්හි සිටින ශ‍්‍රී ලාංකිකයන්ට ලැබී තිබෙනවාද කියන කාරණාව බරපතළ කාරණයක්. ඔබ සමහර විට ඔබේ දෙමව්පියන්ට, ඥාතීන්ට, මිත‍්‍රයින්ට දිනපතා දුරකතනයෙන් කතා කරනවා ඇති. අන්තර්ජාලය හරහා කතා කරනවා ඇති. නමුත් සත්‍ය යටපත්වී අසත්‍යය ඉස්මතුවී අසත්‍ය වේගයෙන් සමාජය තුළ ගලායෑමයි මම දකින්නේ. රටේ සිදුවන දේ පිළිබඳ නිවැරදි තොරතුරු නොලැබීම සහ නොදැකීම ඒ මගින් සිදුවෙනවා. රජය සිදුකරන කටයුතු සම්බන්ධයෙන් හරිහැටි අවබෝධයක් නොතිබීම වැනි කරුණු ගණනාවක් මම දකිනවා. නව තාක්ෂණික මෙවලම් නිර්මාණය කළ සැබෑ මානවවාදී විශිෂ්ටයන් සහ විද්‍යාඥයන් යහපත් සමාජයක පැවැත්ම, ස්ථාවරත්වය සහ අනාගතය සඳහායි එම මෙවලම් නිර්මාණය කර තිබෙන්නේ. එහෙත් ඒවා මොනතරම් දුරට අයහපත් ලෙස භාවිතා වනවාද කියන කාරණය අද අපේ රටට පමණක් නොවේ මුළු ලෝකයම දකින දෙයක්. ඇමෙරිකා එක්සත් ජනපදයට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා සමාජ වෙබ් අඩවි. ලෝකයේ රටවල් ගණනාවකට එම තත්ත්වය ඇති වී තිබෙනවා. මහනුවර ඇතිවූ සිදුවීමේදී පැය කිහිපයක් තුළ අපි රජය විදියට ඇඳිරි නීතිය දැම්මා. හදිසි නීතිය දැම්මා. ත්‍රිවිධ හමුදාව යෙදෙව්වා. සමාජ වෙබ් අඩවි සම්පූර්ණයෙන්ම වසා දැම්මා. දැඩි විරෝධතා මැද තානාපතිවරුන්ට අපේ රටේ සිටින සමහර අයට ලොකු අමාරුවක් හැදුණා මේවා අපි කරන කොට. සමහර අය චෝදනා ස්වරූපයෙන් කතාකරන්න ගත්තා. විදේශීය තානාපතිවරු සීමාවෙන් එහා කතා කරන්න ගත්තා. ඒ කිසිම දෙයකට අපි සැළුණේ නැහැ. බය වුණේ නැහැ. ගන්න තිබුණු තීන්දු තීරණ අපි නිසියාකාරව ගත්තා. රටක් විදියට සිදුවීමට ගිය විශාල විනාශයක් අපිට වළක්වාගන්න පුළුවන්කම ලැබුණා. 
 එක්සත් ජාතීන්ගේ අනු සංවිධානයක් ඒ දිනවල වාර්තා කළා ඇමෙරිකාවටත් බැරි වූ දේ ශ්‍රී ලංකා රජය සමාජ වෙබ් අඩවි වසා දැමීම ඉතා විශිෂ්ට විදිහට සිදු කළා කියලා. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් තවත් අනු සංවිධානයක් කියා සිටියා, මහනුවර සිදුවීමේදී ශ්‍රී ලංකා රජය කළ දේ මියන්මාරයේ පළවැනි සිදුවීම ඇතිවූ අවස්ථාවේදී මියන්මාරය කළා නම්, මියන්මාරයේ අද සිදුවන මහා ඛේදවාචකය ඒ රටේ අද සිදුවෙන්නේ නැහැ කියලා. ජාත්‍යන්තර සංවිධාන සියල්ලම අපි කළ දේ නිවැරදියි කිව්වා. අපේ රටේ දෙමව්පියන්, ඒ වැඩේ ඉතාමත් හොඳයි කියා කිව්වා. මගෙන් ඉල්ලා සිටියා පුළුවන් නම් හැමදාටම වෙබ් අඩවි වසා දමන්න කියලා. ළමයි හදාගන්න බැහැ කියලා. අපොස සාමාන්‍ය පෙළ හා අස උසස් පෙළ ලියන ළමුන්ගේ දෙමව්පියන් මට කතා කළා, ටෙලිග්‍රෑම් එව්වා,  ලිපි එව්වා ඒ වැඩේ ඉතාමත් හොඳයි කියා. අපි යහපත් සමාජයක් ගොඩනගන්න ප්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් එහි තිබෙන අගයන් අපි සෑම කෙනෙක්ම දන්නවා. මේ සියලු දේවල්වලින් ලබා දෙන නිදහස යහපත් මිනිස්සු යහපත් ලෙස භුකිත් විඳිද්දී අයහපත් මිනිස්සු ඒවා අයහපත් ලෙස භාවිතා කරවාද යන ප්‍රශ්නය මුළු සමස්ත මානව සමාජයටම බරපතළ ප්‍රශ්නයක් වී තිබෙනවා. තාක්ෂණය සහ මිනිසාගේ නිදහස දියුණු සමාජයකට දීමේදී දියුණු මිනිසුන් යහපත් ලෙස සිය ඥානයෙන්, ප්‍රඥාවෙන් සහ නුවණින් ඒවා භුක්ති විඳිනවා වගේම අයහපත් ලෙස ඒවා භාවිතා කරන අය කෙතෙක්ද කියා අප දකින දෙයක්. මේ තත්ත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බවත් ඔබ දන්නවා. 
 බුදුන් වහන්ස් බුද්ධත්වය ලබන අවස්ථාවේ මහා භාරතයේ සමාජය තුළ තිබුණු සංකීර්ණ ස්වභාවය ඔබ හොඳින් කියවා ඇතැයි මා විශ්වාස කරනවා. එමෙන්ම මහම්මත්තුමා, ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේලා බිහිවූ සමාජ පසුබිම පිළිබඳ යම් අවබෝධයක් ඔබට තිබෙනවා. අනගාරික ධර්මපාලතුමා, හෙන්රි ස්ටීල්  ඕල්කට්තුමා බුදු දහම රැක ගැනීම වෙනුවෙන් අතිමහත් වූ මෙහෙවරක් ඉටු කළා. අවසානයේ රට තුළ ඇතිවුණු විවිධ අර්බුදකාරී තත්ත්වයන් නිසා හෙන්රි ස්ටීල්  ඕල්කට්තුමා ඇමරිකාවට ගියා. අනගාරික ධර්මපාලතුමත් රට දාලා ඉන්දියාවට ගිහිල්ලා ශ්‍රී ලාංකිකයෝ ඉන්න රටේ පැත්තටවත්  හිස හරවාගෙ නිදාගන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද එදා ඒ සමාජයේ තිබුණු පිරිහීම නිසා. අපේ රටේ ඇතැම් අය හිතනවා දේශපාලනය තිබෙන්නේ අපේ රටේ විතරයි කියලා. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යතුමිය තෙරේසා මේ මැතිනිය පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට ආපු රාජ්‍ය නායකයන් හමුවෙන්න නියමිතව තිබුණේ අද දහවල් 12.00 ට පමණ. නමුත් පාර්ලිමේන්තුවේ තිබුණු තත්ත්වයත් එක්ක හදිසියේම එම හමුව අවලංගු කළා. අපේ රටේ ඇතැම් මුද්‍රිත මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රට තුළ තිබෙන නිදහස, ප්‍රජාතන්ත‍්‍රවාදය කොතරම් වැරදි විදියට භාවිතා කරනවද කියන ප්‍රශ්නය අපි දකිනවා. සත්‍යයෙන් තොර දේවල්, ගැටුම් සහගත දේවල් නිතරම ඒවායේ ප්‍රචාරය වෙනවා. මාධ්‍යයේ තිබිය යුතු ගුණාත්මකභාවය කොතෙක් දුරට ඔවුන් රකිනවාද කියන ප්‍රශ්නය තිබෙනවා.’

මාතෘකා