විශ්වාසභංගය පරාදයි

 ඡායාරූපය:

විශ්වාසභංගය පරාදයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46කින් ජයග්‍රහණය කිරීමට අගමැතිවරයා ඊයේ (04) සමත් විය.

මේ යෝජනාවට පක්ෂව ඡන්ද 76ක් ලැබී තිබූ අතර, විපක්ෂව ඡන්ද 122ක් ලැබී තිබිණි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26ක් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැඳී සිටියේ නැත. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරුන් වන මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන ඇමැතිවරුන් ඡන්ද විමසීම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැඳී නොසිටීම කැපී පෙනෙන සිද්ධියක් විය.

විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදෙන බව පැවසූ එජාප ඇමැතිවරුන් වන පාලිත රංගෙ බණ්ඩාර, වසන්ත සේනානායක ඇතුළු පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ ඊට විරුද්ධව ඡන්දය ලබාදීම සහ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදෙන බව පැවසූ අතුරලියේ රතන හිමියන් ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැඳී නොසිටීමද විශේෂ සිදුවීම් විය. නිමල් සිරිපාල ද සිල්වා, ෆයිසර් මුස්තාපා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, සරත් අමුණුගම, විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි, ඉන්දික බණ්ඩාරනායක ඇතුළු ඇමැතිවරු රැසක් ඡන්දය දීමට නොපැමිණියහ. ඡන්දය විමසීම රාත්‍රී 10ට පමණ අවසන් වූ අතර, ඉන්පසු අගමැතිවරයා විසින් මාධ්‍ය අමතමින් මීට සහය දැක්වීම පිළිබඳ විශේෂ ස්තූතියක් පළකිරීමත් එජාපයේ පූර්ණ ප්‍රතිසංවිධානයත් කරන බව පැවසීමත් කැපී පෙනෙන සිදුවීමක් විය.

[ශිවන්ති ප්‍රනාන්දු]