කීත් නොයාර් පැහැරගෙන යෑම: හිටපු හමුදා බුද්ධි ලොක්කාට රට යෑමට දුන් අවසරය අවලංගුයි

 ඡායාරූපය:

කීත් නොයාර් පැහැරගෙන යෑම: හිටපු හමුදා බුද්ධි ලොක්කාට රට යෑමට දුන් අවසරය අවලංගුයි

ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක සහ යුද හමුදාවේ හිටපු  බුද්ධි අධ්‍යෂකව සිටි මේජර් ජනරාල් අමල් කරුණාසේකරට ඉන්දියානු සංචාරයක් සඳහා අධිකරණයෙන් පසුගිය සතියේ ලබා දුන් අවසරය අහෝසි කිරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය ඊයේ (02)  නියෝග කළාය.
විදේශ ගමන් තහනම් කළ පුද්ගලයෙකු එවැනි සංචාරයකට නම් කර නැතැයි, සිය දෙපාර්තමේන්තුව කළ විමසීමකදී ආරක්ෂක ලේකම්වරයා පැවසූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
'ද නේෂන්' පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් වධ හිංසා කිරීමේ සිද්ධියට අදාළව මේජර් ජනරාල් අමල් කරුණාසේකර සැකකරුවකු ලෙස නම් කිරීමට ඉඩ ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයෙන් කර තිබූ ඉල්ලීමකට අනුව ඔහුගේ විදෙස් ගමන් තහනම් කර තිබූ අතර පසුගිය 29 වැනිදා ඔහු විසින් ඇපෑලක් ඉදිරිපත් කරමින් එම තහනම රජයේ විදේශ සංචාරයක් වෙනුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින ලදි.
විදේශ ගමන් තහනම් කර තිබියදී මේජර් ජනරාල්වරයා ජාතික ආරක්ෂක විද්‍යා පීඨයේ සේනා විධායක තනතුරට පත් කර ඉන්දියාවේ ආරක්ෂක විද්‍යා පීඨයකට අප්‍රේල් පළමු වැනිදා සිට හත් වැනිදා දක්වා සංචාරයක්ද ලබා දී තිබේ නම් එයින් අධිකරණය අපහසුතාවයට පත් වන බව එදින අවසරය ලබා දෙමින් මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

 

අදාළ සංචාරයට සහභාගී වීම සඳහා විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස මේජර් ජනරාල්වරයා පසුගිය 28 වැනිදා අධිකරණයෙන් ඉල්ලූ අතර එහිදී එම සංචාරයට අදාල ලිපි ලේඛන ලුතිනන් කමාන්ඩර් චමින්ද වලාකුළුගේ විසින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පොලිස් පරීක්ෂක බී. එස්. තිසේරා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ එම ලේඛන සත්‍ය ඒවාදැයි තමන් නොදන්නා බවයි. එහිදී එම නිලධාරියා පැවසුවේ තමන් ඉදිරිපත් කළ සියල්ල සත්‍ය ඒවා බවයි. ඒ අනුව අමල් කරුණාසේකරට විදේශගත වීමට පසුගිය 28වැනිදා අධිකරණයෙන් අවසර ලැබිණි.
පසුව පසුගිය ඉරිදා (01) මෝසමක් මගින් කීත් නොයාර් නඩුව කැඳවමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේජර් ජනරාල්වරයාගේ විදේශ ගමන් අවසරය අවලංගු කරන ලෙස ඉල්ලා සිටි අතර එහිදී අධිකරණයට දන්වා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව - ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කළ බවත් අමල් කරුණාසේකරට විදේශ ගමන් තහනමක් පනවා ඇතැයි තමන් නොදන්නා බව ලේකම්වරයා ප්‍රකාශ කළ බවත්ය. එම විදෙස් සංචාරයට ඔහු නම් කර ඇත්තේ තමා නොව යුද හමුදාවෙන් බවත් ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. ඒ අනුව ඊයේ (02) යළිත් නඩුව කැඳවූ අවස්ථාවේ යුද හමුදාව අධිකරණයට දැනුම් දුන්නේ මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතාට ලබා දී තිබූ විදෙස් සංචාරය අවලංගු කළ බවයි.

මාතෘකා