ත්‍රෛනිකායික මහනාහිමිවරු පැවිදි වෙස් ගත් ශාසන විරෝධීන්ට එරෙහිව ජනපතිට ලියති

 ඡායාරූපය:

ත්‍රෛනිකායික මහනාහිමිවරු පැවිදි වෙස් ගත් ශාසන විරෝධීන්ට එරෙහිව ජනපතිට ලියති

 [අසේල කුරුළුවංශ]
ශාසන විරෝධී අයුරින් පැවිදි වෙස් ගත් වරෙන්තුකරුවන් ඇතුළු සියලු පාර්ශ්ව බුද්ධ ශාසනයට හා සංඝයා වහන්සේට අපහාස වන අයුරින් සිදු කරන ක්‍රියා නැවතීම පිණිස වහා පියවර ගන්නැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා සිටිති.   
පිරිසිදු ථේරවාදී සම්බුදු සසුන අදටත් සුරැකිව පවත්නා රටක් වශයෙන් ශ්‍රී ලංකාව දිනා ගත් කීර්ති නාමය ආරක්ෂා කර ගැනීම පිණිස සුදුසු ක්‍රියා මාර්ග ගැනීම රජය සහ සෙසු සියලු පාර්ශ්ව එක්ව සිදු කළ යුතුව තිබෙන බව අවධාරණය කරන මහ නා හිමිවරු ඒ සඳහා ගන්නා කඩිනම් පියවරක් වශයෙන් භික්ෂු හැඳුනුම්පත වඩාත් විධිමත් කර මහණ වෙස් ගත්තවුන් හඳුනාගෙන එවැන්නන් සසුනින් බැහැර කිරීමට කාලය එළඹ ඇති බව සිය ලිපියෙන් අවධාරණය කරති.  

භික්ෂු හැඳුනුම්පත සකස් කිරීමේදී සාමණේර භික්ෂූන් වහන්සේ උදෙසා නම, මහණකම ලත් පාර්ශ්ව මූලස්ථානය, ආචාර්යන් වහන්සේගේ නම හා ලිපිනය, ගිහි කල ජාතික හැඳුනුම්පත් ඇත්නම් එහි අංකය හා දිනය, මහණකමට ඇතුළත් වූ දිනය, ස්ථිර පදිංචි විහාරස්ථානයේ ලිපිනය වැනි කරුණු ඇතුළත් වීම වැදගත් බව උන්වහන්සේලා ලිපිය මගින් අවධාරණය කර තිබේ.   
සිල් මාතාවන් සඳහා හැඳුනුම්පත ලබා දීමේදී නම, සිල්මාතාවක් වූයේ කවර ආරමායකදීද, ආචාර්ය සිල්මාතාවගේ නම, ගිහි කළ ජාතික හැඳුනුම්පතක් ඇත්නම් එහි අංකය හා දිනය, උපන් දිනය, සිල්මාතාවක් බවට පත් වූ දිනය, ස්ථිර පදිංචි ආරාමයේ ලිපිනය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම යෝග්‍ය බවද ත්‍රෛනිකායික හිමිවරු සිය ලිපියෙන් ප්‍රකාශ කරති.   
සියම් මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස, ශ්‍රීලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ නායක අතිජූජ්‍ය නාපාන ශ්‍රී පේමසිරි යන ත්‍රෛනිකායික මහනායක ස්වාමින් වහන්සේලා විසින් මෙම ලිපියට අත්සන් තබනු ලැබ ඇත.   
නොයෙක් විෂමාචාර ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් ශාසන විරෝධී ලෙස මහණ වෙස් ගෙන සිදු කරන ක්‍රියා හේතුවෙන් බුද්ධ ශාසනයටත් සංඝයා වහන්සේටත් අපහාස සිදු වන බවත් මේ හේතුවෙන් බෞද්ධ හා අබෞද්ධ ජනතාවගේ පවා සිත් සසල වන බවත් ත්‍රෛනිකායික හිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වේ.   
ලිපියේ සඳහන් අභියෝගවලට තිරසාර පිළියම් යෙදීම මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාට පමණක් සිදු කළ නොහැකි බවත් මිහිදු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කර දෙවන පෑතිස් රජ දවස සිරිලක සම්බුදු සසුන පිහිටුවීමෙන් අනතුරුව ශාසනය නසනු පිණිස වරින් වර මහණ වෙස් ගත් අධර්මවාදීහූ එවකට බිහි වූ බවත් එම අවස්ථාවන්හිදී මහ පරාක්‍රමබාහු ආදී බොහෝ රජවරුන් සසුන නැසූ මහණ වෙස්ගත් දුශ්ශීලයන් සසුනින් බැහැර කරවා කතිකාවත් පනවා සසුන පිරිසිදු කර ශාසනාභිවෘද්ධිය ඇති කොට සම්බුදු සසුන බැබළවූ බවත් අදාළ ලිපියෙන් ත්‍රෛනිකායික හිමිවරු ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබේ.   
මහනුවර රාජධානී සමයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමිගේ මූලිකත්යෙන් උපසම්පදා ශීලය සියම් දේශයෙන් වඩමවා පිරිසිදු ථෙරීය භික්ෂු ශාසනය යළි ප්‍රතිෂ්ඨාපනය කළ බවත් එතැන් පටන්ද අවස්ථා කිහිපයකදී ශාසන විරෝධී ක්‍රියා ඉස්මතු වනු දුටු පාලකයින් ශාසනයේ චිර පැවැත්ම හා අභිවර්ධනය පිණිස ක්‍රියා කළ බවත් මහ නායක හිමිවරුන් වැඩිදුරටත් සිය ලිපියේ සඳහන් කර ඇත.  

මාතෘකා