හිසතෙල් ගෑමේ ජාතික උත්සවය: ජනපති නොමග යවා මුදල් ගැරීමක්

File Photo ඡායාරූපය:
.File Photo

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය: ජනපති නොමග යවා මුදල් ගැරීමක්

හිසතෙල් ගෑමේ ජාතික උත්සවය වෙනුවෙන්, සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍යංශය වාර්ෂිකව නිකුත් කරන අත්පොත සඳහා ජනාධිපතිවරයා නොමග යවමින් අධික මුදල් නාස්තියක් සිදු කර ඇතැයි සමස්ත ලංකා රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරයි.  

එම සංගමයේ සභාපති වෛද්‍ය කේ.පී.ආර්.එස්. ගුණරත්න මහතා මේ බව 'රැස'ට අනාවරණ කළේය.  

හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය, දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් දස වසරක සිට වාර්ෂිකව පවත්වනු ලබන අතර එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සංගමයේ චෝදනාව එල්ල වී ඇත්තේ ඒ වෙනුවෙන් බෙදා දීම සඳහා මුද්‍රණය කරන අත්පොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙනි.  

"2015 වර්ෂයේ අත්පොත් 2,000ක් පමණ මුද්‍රණය කර තිබුණා. ඒ පොත් ප්‍රමාණය වැඩි බව අප පෙන්වා දුන් පසුව 2017 වර්ෂයේදී එම ප්‍රමාණය අඩු කරනු වෙනුවට දසදහසක් දක්වා වැඩි කළා. මේක මහජන මුදල් නාස්තියක්. මේ වෙද්දී ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් කිසිම පර්යේෂණ කෘතියක් ප්‍රකාශයට පත් කෙරෙන්නේ නැහැ. ආයුර්වේද සමීක්ෂා, චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව වැනි ආයුර්වේද ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය කෘති මුද්‍රණය නොකර ඒ මුදල් වැඩකට නැති දේට වෙන් කරනවා. ඒ වගේම අවුරුද්දට ලිත් පනස්දහසක් පමණ මුද්‍රණය කරනවා. ලංකාවේ දේශීය වෛද්‍යවරු ඉන්නෙත් දාහත්දාහක් වගේ ප්‍රමාණයක්. රෝහල් කාර්ය මණ්ඩලයෙත් ඉන්නේ පන්දහසක් වගේ ප්‍රමාණයක්. මේ ලිත් එක්ක නානු පැකට් එක ගානේ යවනවා. මේ නානු පැකට් හදන්නේ බොරැල්ල ආයුර්වේද රෝහලේ නිෂ්පාදනාගාරය ඇතුළේ. ආයුර්වේද නිෂ්පාදන කරන යන්ත්‍රමයි නානු පැකට් හදන්න යොදාගන්නේ. 2017 වර්ෂයේදී එහි විදුලි බිල සාමාන්‍ය බිලට වඩා ලක්ෂ දෙකකින් වැඩියි. ඒ වගේම මේ යන්ත්‍ර තුනම නානු පැකට් හදලා ඉවරවෙද්දි කැඩුණා. යන්ත්‍ර හදන්න මාස තුනක වගේ කාලයක් යනවා. ඒ කාලය තුළ ඹෟෂධ හිඟයක් පවා ඇති වුණා. මේ අවුරුද්දෙත් වෙන්නේ ඒ ටිකමයි. අපි මේ පිළිබඳව ජනාධිපතිතුමා, අගමැතිතුමා, අමාත්‍යතුමා, විගණකාධිපතිතුමා සහ රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපතිතුමාව දැනුවත් කරලා තියෙනවා " වෛද්‍ය ගුණරත්න මහතා පැවසීය.  

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම චෝදනාව සම්බන්ධයෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වැඩ බලන කොමසාරිස්වරිය පැවසුවේ හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවයට මුදල් වෙන් කරන්නේ මුදල් අමාත්‍යංශයෙන් වන බැවින් අමාත්‍යංශය වෙනස් වීමෙන් ඒ සඳහා වෙන් කරන ලද මුදල අදාළ අමාත්‍යංශයට බැර වෙන බවත් එම මුදල දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මුදල් නොවන බවත්ය.