‘කැරකෙන රෝදේ පුංචි කරත්තයට’ පණ දුන් නිහඬ කලාකරුවා

 ඡායාරූපය:

 ‘කැරකෙන රෝදේ පුංචි කරත්තයට’ පණ දුන් නිහඬ කලාකරුවා

 “කෝ දැන් ඒ කාලෙන් පස්සේ කිසි ආරංචියක් නෑනේ. කොහෙද දැන් ඉන්නේ?”

“කැකිරාවේ... එහෙනේ අපේ ගම් පළාත්.”

“අයියෝ, එහේ ඉඳලා හරියනවද ඔයා ඉන්න ඕන මෙහේ අපිත් එක්කනේ. එතකොටනේ අපිත් එක්ක එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙන්නේ.”

ගායනවේදී එඩ්වඩ් ජයකොඩි කලාකරුවාගේ ‘මාරම්බරී’ ගී ප්‍රසංගයේ සියවැනි දැක්මට පැමිණි මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් එසේ ඇසුයේ ජීවිතයේ සැඳෑ සමයට පිවිසි ප්‍රත්‍යන්ත ගම්මැද්දකට වී නිහඬ දිවියක් ගෙවන අහිංසක කලාකරුවකුගෙනි. ඔහු ගේය පද රචක ‘සිරිල් සමරකෝන්’ය. සිරිල් සමරකෝන් යනු කවරෙක්දැයි අද සමහරකු නොදතත් ඔහු අතින් ලියැවුණු විශිෂ්ට ගීයක මතකය නම් බොහෝදෙනකුගේ හදවත්හි ඇතුවාට සැක නැත.

“කැරකෙන රෝදේ පුංචි කරත්තේ

ඉඳගෙන මම ඉන්නේ

පදික වේදිකා පසුකර යන්නට

තල්ලු කරන් පුතුනේ”

ගායනවේදී එඩ්වඩ් ජයකොඩි ගයන මේ හද තත් විනිවිදින, අර්ථපූර්ණ පදවැල සිරිල් සමරකෝන් කලාකරුවා අතින් ලියැවී ඇත්තේ මීට දශක හතරකටත් එපිටින්ය. ඉනික්බිතිව ඔහු කළ ගී සහ සාහිත්‍ය නිර්මාණ බොහෝ වෙතත් ‘කැරකෙන රෝදේ’ තරම් ජනයා අතරට නොයෑම අවාසනාවකි. මහාචාර්ය කාලෝ ෆොන්සේකාට පමණක් නොව, කලා ලෝකයේ බොහෝ දෙනකුට අද ඔහු සිටින ඉසව්වක් ගැන හෝ ගනිච්චියක් නැත්තේ එහෙයිනි. එහෙත් කැකිරාව, අලගොල්ලෑව ගම්මැද්දට වී ඔහු අද ගෙවන දිවිය තෘප්තිමත් එකකි. නේක දොම්නසින් පිරුණද ඒ බිම ඔහුට රජ දහනකි.

වැව් අමුණු, වෙල් දෙණි, කඳු මුදුන්, ගුරු පාරවල් අතර ගෙවී යන ඔහුගේ අද දවස සැනසිලිදායක එකකි. රිටිගල කඳු සිරස දෙසින් හිරු මෝදු වී හෝරා දෙක තුනක් ගත වූ තැන්හි මේ අතීත රස මතක විමසනු සඳහා අපි අලගොල්ලෑව ගම්මැද්දට ඔහු සොයා ගියෙමු.

සමරකෝන් කලාකරුවාගේ කලා ගුරු ගෙදර වී ඇති අනුරාධපුරයේ රජරට සේවයට අදත් ඉඳහිට යන එන ඔහු තවමත් ලිවීමෙන් ඈත් නොවූවකි. කවියක්, කෙටි කතාවක් ලියන්නට තරම් තවමත් ඔහුගේ හිත පොහොසත්ය. සාහිත, කලා වැඩමුළු, ප්‍රසංග ආදිය සඳහාද නිතැතින් සිරිල් ඇදී යන්නේ හොඳ තරුණ අවධියේ තිබූ උද්යෝගයෙන්මය. රජරට සේවය හා තිබූ බැඳීම හේතුවෙන්ම පසුකාලීනව ඔහු විසින්ම ලියන ලද ගී කිහිපයකට සිය හඬ මාධූර්යය එකතු කිරීමට සිරිල් සමරකෝන් කලාකරුවාට වාසනාව පෑදී ඇත. බස් කොන්දොස්තරවරයකු ලෙස ගෙවූ සිය වෘත්තීය ජීවිතයෙන්ද විශ්‍රාම ලබා මේ ඉර හඳ යට සියල්ලක් දෙස උපේක්ෂා සහගතව බලමින් ඔහු අද දවස ගත කරයි. හේනෙහි, කුඹුරෙහි පැලකට වී ගොවිතැන් බත් රකිමින් රැය පහන් කිරීම ඔහුගේ විශ්‍රාමික දිවියට සැනසීමකි.

“1970 අවුරුද්දේ තමයි මං ලංගම රස්සාවට ගියේ. මට මතකයි 1972 අවුරුද්දේ තමයි කැරකෙන රෝදේ ගීතය ලියවුණේ. බස් කොන්දොස්තර රස්සාවට මගේ හිතේ කැමැත්තක් තිබුණෙ නෑ. මට ඕනකම තිබ්බේ ශිෂ්‍ය ගුරු පත්වීමක් අරගෙන කොහේ හරි දුෂ්කර ගම්මැද්දක දරුවන්ට උගන්නන්න යන්න. ඒත් දෛවය ලියැවිලා තිබුණේ වෙන විදිහකට. ඒ කාලේ ශිෂ්‍ය ගුරු පත්වීමකට මාසික පඩිය හැටියට ගෙව්වේ රුපියල් සීයයි. ලංගම බස් කොන්දොස්තර කෙනකුට මාසෙට රුපියල් 220ක් ගෙව්වා. ඉතිං තිබ්බ දුෂ්කරතාත් එක්ක කොහොම හරි මං අකමැත්තෙන් වුණත් අවසානේ කොන්දොස්තර රස්සාවට ආවා. එතකොට මට අවුරුදු විසි තුනයි. රස්සාවට එන්න කලින් ගඩොල් කැපුවා, ලී ඉරුවා, ගල් කැඩුවා. ඔය වගේ දුෂ්කර ජීවිතයක් ගත කෙරුවේ. ඒ කාලේ ඉඳන්ම නිකං ඉන්න හිතක් තිබුණේ නෑ මට.”

යළි නොඑන අතීතය සමරකෝන් කලාකරුවා එක පෙළට සිහි කරන්නට විය. ඔහුගේ දෙනෙතෙහි කවර හෝ පසුතැවීමක් මට නොපෙනේ. උපේක්ෂා සහගත බවෙහි හඬ මාධූර්යය මා සිත් ගනියි.

සිරිල්ගේ නිවසට එපිටින් ඇති ගුරු පාර දෙසින් දූවිලි ඇවිළෙන තරමට හිරු පතිතව ඇත. එහෙත් සුදු හුනු පිරියම් කළ, උළු හෙවිළූ ගෙපල තුළ ඇත්තේ සැබෑම සිසිලසකි. මිනිස්කමේ නොතිත් සුවඳක් මා හද විනිවිද යයි. 2015 වර්ෂයේදී කලාභුෂණ සම්මානය සහ 2016 වර්ෂයේදී කලා කීර්තිධර සම්මානය ඇතුළුව තවත් සාහිත කලා උපහාර සම්මාන රැසකින් පිදුම් ලබා ඇති සිරිල් සමරකෝන් කලාකරුවාට අද ඒ සියල්ලක් හුදු සොඳුරු මතක මාත්‍රයන් පමණකි. එහෙත් ඒ අතීත මතකයන් බොහොමයක් ඔහුට තවමත් අද ඊයේ මෙනි.

“බස් කොන්දොස්තර පත්වීම අරගෙන මං මුලින්ම වැඩ කෙරුවේ 134 පාරේ ගල්කිස්ස - අංගොඩ බස් එකේ. දවසක් හවස පහට විතර පිටකොටුව කාර්මික විද්‍යාලය හරියෙන් බස් එක විනාඩියකට නැවැත්තුවා. ඉස්සර කොළඹ වැඩි හරියක් දිව්වේ ඩබල් ඩෙකර් බස්. මං වැඩ කෙරුවේ බස් එකේ උඩ කෑල්ලේ. පහළ වෙන කොන්දොස්තර කෙනෙක් ඉන්නවා. ඉතිං අර බස් එක නවත්තපු වෙලාවේ මං ජනේලෙකින් දැක්කා රෝද හයි කරපු ලෑලි තට්ටුවක් උඩ මනුස්සයෙක් වාඩිවෙලා ඉන්නවා. මං හිතන්නේ ඇවිදින්න බැරි ආබාධයක් තිබුණු මනුස්සයෙක්. ඔය පරණ කුඩයක් දෙකක්, තව පොඩි පොඩි ආම්පන්න ටිකක් මේ මනුස්සයා ළඟ තිබුණා. එතැන සංවේදීම දර්ශනේ තමයි අර ලෑලි තට්ටුව තල්ලු කෙරුවේ අවුරුදු දොළහක් විතර වෙච්ච පුංචි දරුවෙක්. තාත්තයි පුතයි වෙන්න ඇති. ඒ දෙන්නත් පොඩ්ඩක් නැවතිලා හිටියේ. එකපාරටම අර වැඩිහිටි මනුස්සයා ළමයා දිහාට හැරිලා ඔළුව වනලා කිව්වා යන් කියලා. ළමයා ආයේ තල්ලු කරන්න ගත්තා.”

ඔහු මඳක් නිහඬ විය. කලාකරුවාගේ මතක මංපෙත මත ඇවිද යෑමේ නොතිත් ආසාවෙන්, නොඉවසින්ලෙන් මා හද කිති කැවෙයි.

“ඉතිං ඊට පස්සේ මොකද වුණේ?” මා පමාවකින් තොරව යළි ඔහු අතීතයට කැඳවමි.

“මේ සිද්ධිය දැක්කහම එකපාරටම වගේ මගේ පපුව පිච්චිලා යනවා වගේ දැනුණා. අම්මා, අප්පච්චි, ගෙදර මතක් වුණා. ඊට පස්සේ නිකන්ම වගේ තමයි අතේ තිබ්බ බස් ටිකට් අමුණලා තිබුණ කාඩ්බෝඩ් කෑල්ලේ ‘කැරකෙන රෝදේ පුංචි කරත්තේ ඉඳගෙන මං ඉන්නේ - පදික වේදිකා පසු කර යන්නට තල්ලු කරන් පුතුනේ’ කියලා ලිව්වේ. නිකංම ලියවුණේ. එච්චරමයි එදා ලිව්වේ. පස්සේ තමයි ඉතුරු වචන ටික ලිව්වේ.”

“බොන්න තැඹිලි වතුර ටිකක්.”

ඔහු මොහොතක් නැවතී ආගන්තුක සත්කාරයෙන් මා සිත පහදයි.

“මේ රස්නෙත් එක්ක තේ බොන්ඩ බෑනේ. ඒකයි.” ඔහුගේ ප්‍රිය බිරිඳ “චන්ද්‍රලතා කුමාරිහාමි” මුළුතැන්ගෙයි සිටම ළෙන්ගතු බව පෙන්වයි. මේ ජීවන ගමනේ ඔහුගේ සෙවණැල්ල ඇයය. එතෙක් මෙතෙක් සිදු වූ වෙනස්වීම් හමුවේ දුකත් සතුටත් එක සිතින් ගෙන වෙනස් නොවුණු එකම සම්පතද ඇයමය.

“අනේ බොහොම ස්තුතියි.” මම ඔවුනට සමාචාර දැක්වීමි.

“ඒ කාලේ ගුවන් විදුලියේ ගීත බැංකුවට අලුත් පදමාලා එවන්ඩ කියලා ඉල්ලනවා. දවසක් මට මේක රත්මලානේ ඩිපෝ එකේ ඉන්නකොට ඇහුණා. ඒ කාලේ නිතරම වගේ ඩිපෝ එකේ රේඩියෝ එක දාලා තියෙන්නේ. ඉතිං මං ලොකු අදහසක් නැතිව මේ ගීතය ගුවන් විදුලියට තැපැල් කරලා යැව්වා. ඊට අවුරුද්දකට විතර පස්සේ මට දන්නලා එවලා තිබුණා ඔබේ ගීතය තෝරා ගත්තා. අහවල් දවසේ පටිගත කරනවා ඇවිත් සහභාගී වෙන්න කියලා. මට මතක හැටියට ඒ 1973 අවුරුද්දේ. ගීතය සංගීතවත් කළේ කලනි පෙරේරා. ගායනා කළේ අද අපි කවුරුත් දන්න ඒ කාලේ නැඟී එන ගායකයකු වුණු එඩ්වඩ් ජයකොඩි. සරල ගී වැඩසටහනකට තමයි ගීතය ගායනා කළේ. මට ගුවන් විදුලියෙන් රුපියල් තිහක් දුන්නා.” නොනිමි අතීතය ඔහු යළි සිහිපත් කළේය.

නුවර ගෙදර ජොසපිනාහාමි මෑණියන්ටත් ටිකිරි බණ්ඩා සමරකෝන් පියාණන්ටත් දාව වර්ෂ 1947ක්වූ පෙබරවාරි මස 14 වැනිදාවක කැකිරාව, අලගොල්ලෑවේදී ජන්ම දායාදය ලැබු සිරිල් සමරකෝන් දැන් හැත්තෑ දෙහැවිරිදිය. පාරම්පරික නැටුම් ශිල්පියකු මෙන්ම විශිෂ්ට ගණයේ උඩැක්කි වාද්‍ය ශිල්පියකු ලෙස නම් තැබූ පියාණන්ගේ උරුම හරුමකම දෝතින් ගෙන පවුල නමින් සරස්වතියට පෙම් බැඳ ඇත්තේ සිරිල් පමණක්මය. සිය ලෙයින් උපන් දරුවන් පස් දෙනකුගේ සෙනෙහසේ සෙවණ ලබන්නට තරම් ඔහු අද වාසනාවන්තයෙකි. දියණියන් තිදෙනකුත් පුතුන් දෙදෙනකුත් සිරිල් - චන්ද්‍රලතා සෙනෙහේ කැදැල්ලේ ඵල සම්පත වී තිබේ.

“මං 1976 අවුරුද්දේ කොළඹින් අනුරාධපුරේට මාරුවක් අරගෙන ආවා. ගුවන් තොටුපොළ - අනුරාධපුර බස් එකේ තමයි වැඩ කෙරුවේ. බස් එකේ ඩ්‍රයිවර් විදිහට වැඩ කළේ පොඩිරත්න අගමලේ. ඔහුත් අද ගොඩක් දෙනෙක් දන්න දක්ෂ කලාකාරයෙක්. ඔහොම ඉන්නකොට තමයි 1979 අවුරුද්දේ ගුවන් විදුලියේ රජරට සේවය පටන් ගත්තේ. එතැන ඒ කාලේ අපි වගේ ආධුනික කලාකරුවන්ට ලොකු හෙවණක් වුණා. විශේෂයෙන් ස්වර්ණ ශ්‍රී බණ්ඩාර මහත්තයා දක්ෂයන්ව හොය හොයා උදවු කරපු විශිෂ්ට මනුස්සයෙක්. අපි වගේ අලුත් අයට උදවු කරපු තවත් පුදුම මනුස්සකම් තිබ්බ කෙනෙක් තමයි ධර්මසිරි ගමගේ මහත්තයා. ලේක්හවුස් එකේ යොවුන් ජනතා පත්තරෙන් ලොකු ඉඩක් අලුත් අයට වෙන් කළා එතුමා. ‘පහන් වැට’ නමින් එතුමා පටන් ගත්ත වැඩමුළුවලින් අලුත් කලාකාරයො විශාල ගාණක් බිහි වුණා. එතුමා කරුණා ගුණයේ ප්‍රතිමූර්තියක් වගේ. එහෙම අය අද නැති එක ජාතියේම අවාසනාවක්.”

සිරිල් සමරකෝන් ලියූ සිය ගණනක් වූ ගී පද රචනා මුද්‍රණ ද්වාරයෙන් කෘතියක් ලෙස පළවී ඇත්තේ “කැරකෙන රෝදේ” නමිනි. ඒ, 2014 වර්ෂයේදීය. ඔහු ලියා, ඔහුම ගී ගැයූ “මට මාගේ අම්මා වගේ” සංයුක්ත තැටියද ජීවිතයේ තවත් මිහිරි මතකයකි. “නිත්තෑවෝ” සහ “සඳ එළිය” නමින් කෙටි කතා සංග්‍රහ දෙකක් පාඨකයා අතට පත් කිරීමේ වෑයම තවමත් ඔහුගේ ඉටු නොවූ සිහිනයකි. අද අප කතා කරන නිත්තෑවන් පිළිබඳව සම්මානිත කෙටි කතාවක් සිරිල් ලියා ඇත්තේ 2000 වර්ෂයේ දීය. ඔහු ලියා ඔහුම ගැයූ “අඹර කුරක්කන් කළුවේ” ගීතය පසු කලෙක 11 වැනි වසරේ සිංහල භාෂාව හා සාහිත්‍ය පෙළ පොතට තෝරා ඵල කිරීමද සිරිල් වැනි අහිංසක කලාකරුවකුට දැක්වූ යම් පමණක උපහාරයකි.

“මං අනුරාධපුරේ වැඩ කරන කාලේ විජය කුමාරතුංග මහත්තයා එයාගේ දේශපාලන වැඩවලට එනවා. විජය අඳුරන විජයපුර පැත්තේ තේ කඩේක මුදලාලි කෙනෙක් එයාට කියලා තියෙනවා කැරකෙන රෝදේ පුංචි කරත්තේ සිංදුව ලියපු මනුස්සයා මෙහේ ඉන්නේ කියලා. දවසක් විජය මහත්තයා මාව හොයාගෙන අනුරාධපුර ඩිපෝවට ආවා. ඇවිත් මගෙන් ඇහැව්වා සිරිල් සිංදු දෙක තුනක් ලියාගන්න ඕන පුළුවන්ද කියලා. මං කිව්වා පුළුවන් කියලා. පස්සේ මං සින්දු තුනක් ලියලා දුන්නා. සරත් දසනායක මහත්තයා ලව්වා තනු දාලා ගීත පටිගත කරන බවත් මට කිව්වා. අනේ ගීත එළියට එන්ඩ කලින් විජය මහත්තයා මැරුණා.”

“සංගීතවේදී නිමල් ගුණසේකර මහත්තයා එක්ක එකතු වෙලා ‘තරු මල් පිපී’ නමින් ගී රසාස්වාදන වැඩමුළු මාලාවක් පවත්වන්න සැලසුම් කරගෙන යනවා මේ දවස්වල. මත්ද්‍රව්‍ය නිවාරණයට, පරිසර හිතකාමී බවට වගේම අනාගත දරු පරම්පරාව විවිධ නොපනත්කම්වලින් මුදා ගැනීමට සාහිත්‍යය, ගීතය යොදා ගන්නේ කොහොමද කියන එක පෙන්නලා දෙන එක තමයි අපේ අරමුණ. එහෙම යහපත් දේවල් කරනකොට මුදල් ප්‍රශ්න මතු වෙනවනේ. එතැන තමයි අපි හිරවෙලා ඉන්නේ. අනෙක් එක දැන් අවුරුදු ගාණක් ලියපු කෙටි කතා පොත් දෙකක් පළ කරගන්ඩ දඟලනවා තාමත් බැරි වුණා. මුදල් අමාරුකම් තිබුණත් කොහොම හරි ඒකත් කර ගන්ඩ ඕන. ඒ හැරුනහම ඉතිං හේන්, කුඹුරු කරගෙන, හවසට වැවෙන් වතුර ටිකක් නාලා සැනසීමෙන් ඉන්නවා.” ඔහු අවසන කීය.

තඹුත්තේගම විශේෂ [ඩබිලිවි. ප්‍රදීප්]

මාතෘකා