සෙනෙහස අහිමි කළ දරුවන්ට පියෙකු වූ ඇටඹගස්කඩ හාමුදුරුවෝ | ඇස පාදන රැස


සෙනෙහස අහිමි කළ දරුවන්ට පියෙකු වූ ඇටඹගස්කඩ හාමුදුරුවෝ

 ඡායාරූපය:

සෙනෙහස අහිමි කළ දරුවන්ට පියෙකු වූ ඇටඹගස්කඩ හාමුදුරුවෝ

මම අනුන්ගේ සිත් රිදෙන වචන නොකියමි. හොඳ වචන පමණක් කතාකරමි...” යනුවෙන් සාමණේර නමක් සල් ගසක් යට සිට දහම් පොතක් කියවයි. සෙසු සාමණේර හිමිවරු බෝ මළුව අමදිති. පසෙකින් වෙල්යාය මැදින් හිරු නැගගෙන එයි. අනෙක් පස සැදැහැවත්තු විහාරය වන්දනාවට එති.   
ඒ ඇටඹගස්කඩ ශ්‍රී සුධර්මාරාමයේ එක් උදෑසනකි.   
සිංහල හා පාලි ශබ්ද නගා කියවන සාමණේර හිමියන් තළෙලුය. උන්වහන්සේගේ උච්චාරණයද මඳක් අමුතුය. ජාතිය ඇතුළු සියලු අනන්‍යතා අභිභවන ‘බුද්ධ පුත්‍රයකු බවට’ පත්ව සිටින මේ හිමි නම, ඊට පෙර දමිළ මව්පිය දෙපළකගේ දරුවෙකි. මාස කිහිපයකට පෙර රුවන්වැලි සෑ මළුවේදී මුලන්කාවිල් භද්දිය නමින් සසුන්ගත වූ ඒ හිමියන්ගේ ගිහි නම චන්ද්‍රන් නිරෝජන්ය. මුලංකාවිල් පදිංචි සින්නතම්බි චන්ද්‍රන් හා චන්ද්‍ර රේවතී ඔහුගේ මව් පියන්ය.   
යුධ සමයේ දස් ගණන් දෙමාපියන් අහිමි ළදරුවන්ට රැකවරණය සෙවණ හා පියකුගේ ආදරය දුන් ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියන් මෙම විහාරස්ථානයේ විහාරාධිපති ය.   
ආගමික සහජීවනය බොහෝ විට ජාති, කුල, භාෂා සියලු බැමි කඩා බිඳ දමයි. එමෙන්ම භාෂාව පිළිබඳ අවබෝදය වෙන් වූ ආගම් ජාති හා කුලමල ද එක් කරන්නට හේතු වේ. ආගමික ඇදහීම්, චාරිත්‍ර වාරිත්‍ර පිළිපැදීම් ආදියෙන් ළංවීමටත් වඩා, ‘පැවිදි බව’ යනු සමාජ බැඳීම් තහවුරු කරන මහා විපර්යාසයකි.   
ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස නාහිමියන්ගේ ජීවිත කතාව පුරා ඇත්තේ එක් ජාතියකට පමණක් උරුම යැයි මේ රටේ ඇතැමුන් සිතා සිටින ‘බුදු දහමේ ආශිවාර්දය’ ජාතීන් අතර බෙදාගැනීමය.   
යුද්ධයේදී දෙමාපියන් අහිමි වූ මෙන්ම අවතැන් වූ පවුල්වල දරුවෝ වව්නියාව ඇටඹගස්කඩ ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පිළිසරණ ලැබූහ. විහාරාධිපති ඇටඹගස්කඩ කල්‍යාණතිස්ස හිමියෝ මේ දරුවන්ට පංසලේ නවාතැන් දුන්නා පමණක් නොව ආහාරපාන, අධ්‍යාපනය, ආරක්ෂාව, සනීපාරක්ෂාව හා සියලු පහසුකම්ද ලබා දී ගුණදහමින්ද පෝෂණය කළහ. ඇතැම් දරුවන් තනියෙන් ඇඳුම සෝදාගන්නට, දියනාගන්නට හෝ ආහාරගන්නට පවා හුරු වී නොසිටිය ළාබාලයෝ වූහ. කළ්‍යාණතිස්ස හිමියෝ සිය ඉගැන්වීමේ කටයුතු කටයුතු, ආගමික කටයුතු වලට අමතරව දරුවන්ට කැවීම පෙවීම, ඇඳුම් සෝදාදීම, ආදී වතාවත්ද කළේ එය තමා කළ යුතු සමාජ වගකීමක් ලෙස සිතාගෙනය. දරුවන්ගේ කැත කුණු අතගෑම පවා අමිහිරි දෙයක් ලෙස හිමියෝ නොසිතූහ.   
‘‘මට මේ දරුවන් ගැන දැඩි වේදනාවක් ඇති වුණා. මට ලැබිච්චි සිවුපසය පවා මේ අය වෙනුවෙන් කැප කළා. ඒ ජීවිත බෙරාගත්තා. නොමගයන්න තිබූ ඉඩකඩ ඇහිරුවා. හොඳ ගුණ ධර්ම පුරුදු කළා. ඒ නිසා මේ අය අදත් මට හරියට ගරු කරනවා.ඒ අය කොවිල් යනවා. ඒයාලගේ හින්දු ආගම අදහනවා. ඒ මොනවා කළත් පංසල ගැන අප්‍රමාණ භක්තියක් තිබෙන්නේ. විශේෂ දවස්වල පංසලට එනවා. වෙසක් පොසොන් විතරක් නෙවේ. දීපවාලි, තෛපොංගල් ආදී උත්සව වලදී පංසලට එන්නත් මේ අය අමතක කරන්නේ නෑ.” නාහිමියෝ කීහ.   

යුද සමයේ පන්සලේ රැකවරණය ලැබූ දරුවෝ, පසු කලෙක යුද්ධය නිමා වූ පසු රැකියාවන්ට, සිය ගම්බිම්වලට මෙන්ම අධ්‍යාපන ආයතන කරා ද නික්මුණහ. ඒත් ඔවුහු කිසිදා පංසල අමතක නොකළහ.   
මුලතිව්, මන්නාරම, මඩු ආදී නොයෙක් ප්‍රදේශවල සිටින මේ අය පංසලට එනවා මෙන්ම කළ්‍යාණතිස්ස හිමියෝද බෝගස්වැව, නාමල්වැව, සැළලිහිණිගම, නන්දිමිත්‍රගම ආදී සිංහල ගම්මාන මෙන්ම දමිළ ගම්මාන වෙතද ගොස් සමාජ සේවා කටයුතුවල නිරත වෙති.   
නිරෝජන් පැවිදි දිවියට ඇතුළත් වීමට පසුබිම සැකසුවේ ඒ සම්බන්ධයයි. පංසල ඇසුරේ සිටින නිරෝජන්ගේ ලොකුතාත්තා සුරේශ් කුමාර් චන්ද්‍රන්, පවුලේ පිරිසට ගෙනා යේජනාවක් පරිදි නිරෝජන සාමණේර හිමිනමක වීමට සතුට පළකළේය.   
පසුගිය ජාතික වෙසක් උළෙල වෙනුවෙන් කුලකුමරුවන් දහසක් පැවැදි කරවීමේ බුද්ධශාසන අමාත්‍යංශ වැඩ පිළිවෙළ යටතේ රුවන් වැලි සෑයේ දී දෙවන අදියර ක්‍රියාත්මක විය. ඒ වෙනුවෙන් කුලකුමරුවන් දෙසීයක් දෙනා විහිරාධිපති හිමිවරුන් සමග මළුවට පැමිණ සිටියහ. එය රාජ්‍ය උත්සවයකි.   
199ක් සිංහල දරුවන් අතර දමිළ පවුලකින් ආ නිරෝජන්ද විය. ඔහුගේ උපාධ්‍යායන් වහන්සේ ලෙස උතුරු නැගෙනහිර පළාතේ උපප්‍රධාන සංඝනායක ඇටඹගස්කඩ කළ්‍යාණතිස්ස නාහිමියෝ වැඩ සිටියහ.   
එදා සෑ මළුවේ පෙළට සැදුණු භික්ෂූන්, දෙමාපියන්, සැදැහැවතුන් මහානාහිමිවරුන්ගේ අනුශාසනා මත පැවිදිකර්ම සිදු කරද්දී එක අයිනක දමිළ බසින් ඇතැම් දේ වටහා දෙන හඬක් ඇසිණි. ඒ භද්දිය හිමියන්ට ප්‍රථම පිරිකර පූජාව සිදු කරන මොහොතේය. බොහෝ මාපියන් කඳුළු සලමින් සිවුරු දරාගත් තම පුතණු පොඩි හාමුදුරුවරන්ගේ දෙපා නමදිද්දී සින්නතම්බි හා රේවතී යුවළ සිනාසරින් යුතුව අටපිරිකර පුදා භද්දිය හිමි නමැදියෝය. කළ්‍යාණ තිස්ස නාහිමියෝ දෙමළෙන් මේ යුවළටත් අලුත් පොඩි හාමුදුරුවන්ටත් අවවාද අනුශාසනා කළහ. භද්දිය හිමියයෝ සිංහල දෙමළ දෙබසින්ම සිය ගුරුදේව හිමියෝ ඇමතූහ. සිංහල පොත පත මෙන්ම පිරිවෙණේ පාලි, සංස්කෘත පොත් සිංහල අකුරෙන් කියවා පාඩම් කරන්නට භද්දිය හිමියෝ යුහුසුලු වෙති. දැන් උන් වහන්සේ ඉගෙනුම ලබන්න එප්පාවල ශ්‍රී ආනන්දෝදය මහ පිරිවෙණේය. එතැන ජාති ආගම් භාෂා භේද නැත. සසුනට එක්වන හැමෝම බුද්ධපුත්‍රයින්ය. යමුණා, ගංගා, අචිරවතී, සරබු, මහී ආදී කොයි ගංගාවෙන් මූදට එක් වුණත් මූදට එක් වූ වතුර  මූදු වතුර මිස අසවල් ගඟෙන් එක්වූවා කියා වෙන් කර පෙන්විය හැක්කක් නොමැති සේ බුදු සසුනට එක් වූ අයට පෙර කුල ගොත් අදාළ නැති බව බුදුන් වහන්නේ වදාළ නියතයකි.   
‘පොඩි හාමුදුරුවනේ එහෙ පිරි‍වෙණ හොඳද?’ කියා අප ඇසුවේ කුබුගොල්ලෑවේ සුමන සාමණේර හිමියන්ගෙනි.   
‘‘පිරිවෙණ හරි හොඳයි. භද්දිය හාමුදුරුවොත් අපි එක්ක සතුටින් ඉන්නවා. සමහර විට සතියේ දවස් හතටම දාන මාන පිංකම්වලට පිටට යන්න වෙනවා. භද්දිය හාමුදුරුවොත් අපි එක්ක වඩිනවා. එයා දැන් හොඳට සිංහල කතා කරනවා'” යි සුමන පොඩි හාමුදුරුවෝ පැවසූහ. ඒ අතර තුර භද්දිය හිමි උන්වහන්සේ ගේ පිරිවෙණේ ප්‍රගති වාර්තා පොත රැගෙන ආහ.   
එහි සිංහල විෂයට ලකුණු 58කි. ‘‘ මං හරි ආසාවෙන් එහෙ ඉන්නේ. හැමෝම හොඳයි. පංතියේ යාළුවෝත් මට උදව් කරනවා” යි ඒ හිමියෝ කීහ.

 

මාතෘකා