දැන උගත් පිරිසක් රටේ තීන්දු තීරණ ගැනීම  රටටත් ජනතාවටත් අනාගතයේදී හොඳයි

 ඡායාරූපය:

දැන උගත් පිරිසක් රටේ තීන්දු තීරණ ගැනීම  රටටත් ජනතාවටත් අනාගතයේදී හොඳයි

අමාත්‍ය පාඨලී චම්පික රණවක

එක් පවුලක් විසින් උදේ තේ පැන් සංග‍්‍රහයේදී එක් වී රටේ ඉරණම තීරණය කරනවාට වඩා දැන උගත් බහුතර පිරිසක් රටේ තීන්දු තීරණ ගැනීම රටටත් රටේ ජනතාවටත් අනාගතයේදී යහපත් වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (01) කොළඹ නගරයේ බේරේ වැව ආශ‍්‍රිත සංවර්ධන කටයුතු නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"සංචාරක කර්මාන්තයත් දැන් හොඳින් දියුණු වෙමින් පවතිනවා. දැන් බේරේ වැවේ ධීවර කර්මාන්තය පටන්ගෙන තිබෙනවා. ඒ කියන්නෙ බේරේ වැවේ නැවත ඔක්සිජන් තිබෙනවා කියන එකයි. අපේ පිරිසුදු කිරීමේ කටයුතු සියයට 50ක් අවසන් වන විටම හොඳ තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපි ලේක්හවුස් එක යටින් යන පෙත්මඟක් නිර්මාණය කර තිබෙනවා දුම්රිය ස්ථානයට මෙන්ම කාර්යාල සඳහා යෑමට. අපගේ දෙවැනි පියවර ලෙස මෙවැනි බෝට්ටු සේවයක් පාර්ලිමේන්තුව අසල සිට වැල්ලවත්ත දෙසට සහ මේ දෙසට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. අපට තිබෙන එකම බාධාව පාලම් කිහිපයක් තිබීම. ඒ නිසා මුල් වටයේදී අපට සිදුවන්නේ තරමක පහත් බෝට්ටු කිහිපයක් යෙදවීමට පමණයි. පාලම් සකස් කළාට පසුව හොඳ ජලමාර්ග ප‍්‍රවාහන පද්ධතියක් ඇතිවෙයි. ඒ වගේම අපි නාගලන්වීදිය සිට තිබෙන ශාන්ත සෙබස්තියන් ඇළ පොම්පාගාරයක් සාදා තිබෙනවා. එම පොම්පාගාරය මඟින් ගංවතුර තත්ත්වයක් ආවොත් මුහුදට යවන්නත් වියළි කාලගුණයකදී කැළණි ගඟේ වතුර ගෙනැවිත් මෙම ඇළ මාර්ගය පුරවන්නත් පුළුවන්. මේ සියල්ල අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා.

"මීට ප‍්‍රථම 1988දී එක්සත් ජාතික පක්ෂයේ අර්බුදයක් තිබුණා ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේදී. නමුත් පේ‍්‍රමදාස මහතා අවසානයේදී ඇවිත් ජයග‍්‍රහණය කළා. ඊළඟට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදයක් තිබුණා චන්ද්‍රිකාද අනුරද සිරිමාද කියලා. කට්ටියක් එළියට ගියා. හැබැයි චන්ද්‍රිකා මැතිනිය ජයග‍්‍රහණය කළා. ඒ වගේම 2005දී මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේක්‍ෂකත්වය දෙයිද නැද්ද දුන්නත් කකුලෙන් අදියිද ඇතුළේ ගැටුමක් තිබුණා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයවැඩ කළේ නැහැ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවා. ඒ වගේ අභ්‍යන්තර ගැටුම් ජයග‍්‍රාහී පැත්තට කි‍්‍රයාත්මක වෙනවා. මොනවා උනත් පවුලක් විසින් උදේ තේ පැන් සංග‍්‍රහයේදී එකතු වෙලා රටේ ඉරණම තීරණය කරනු ලබනවාට වඩා දැන උගත් බහුතර පිරිසක් රටේ තීන්දු තීරණ ගැනීම රටටත් රටේ ජනතාවටත් අනාගතයේදී හොඳ වෙයි."

මාතෘකා

ජනප්‍රිය ලිපි