ඇහුණෙ නැද්ද අගමැතිතුමා පොලිසිය ගැන කළ අගය කිරීම : පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

 ඡායාරූපය:

ඇහුණෙ නැද්ද අගමැතිතුමා පොලිසිය ගැන කළ අගය කිරීම : පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර

මාධ්‍ය ප්‍රකාශකතුමා මේ දවස්වල හරි සතුටෙන් වගෙයි?

ඔබතුමාලා මේ දවස්වල ටී.වී. එහෙම බලන්නැද්ද? ඇහුන් නැද්ද අගමැතිතුමා පොලීසියට කළ අගය කිරීම්. ඒකයි.  

ඒක හරි. ඒත්, සමහර දේශපාලනඥයින්, හමුදා ප්‍රධානීන් පවා පොලීසියට දෙහි කපනවා?

ඕනම කෙනකුට තවත් කෙනකුව විවේචනය කරන්න අයිතිය තියෙනවානේ. ඒක කාටත් තියෙනවා. අනෙක රටේ එක් වගකිව යුතු ආරක්ෂක අංශයක් සමඟ මතභේද ඇති වන ප්‍රකාශයක් මම නම් කවමදාකවත් කරන්නේ නැහැ.  

ඒත් සමහරු කියන්නේ කෙහෙළිය ඇමැතිතුමාගේ පුතාගේ සිද්ධිය දේශපාලනීකරණය වුණා කියලයි?

එහෙම කියනවා නම් ඒ කතාව පදනම් විරහිතයි. මං දන්න තරමින් ඔහුට මාර්තු 12වෙනි දින ඇප ලැබුණා. නමුත්, එම සැකකරු බීමතින් රිය පැදවීමේ වරදට අලුත්කඩේ රථ වාහන උසාවියේ පෙනී සිටීමට නියමිතයි.

රමිත් රඹුක්වැල්ල ගිනි අවියකින් සරසවි සිසුවකුට පහරදීම අතෑරලා බීමත්කමට විතරක් නඩු දැම්මේ ඇයි?

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබිලා ගිනි අවි හමුවෙලා නැහැ.   

පහර කෑ බව කියන සිසුවාගේ පාර්ශ්වය පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන තියෙනවා. අවි අත්අඩංගුවට ගන්නා තෙක් ගිනි අවි ආඥා පනත අනුව නඩු දාන්නත් බැහැනේ.  

ඔබතුමා මාධ්‍ය ප්‍රකාශක පමණක් නෙවෙයි, විනය භාරව සිටින පොලිස් ප්‍රධානියෙක්?

ඔව් එහෙම තමයි, බලන්නකෝ මගේ මේ කුඩා නිල කාමරය පුරාම ගොඩ ගැහිලා තියෙන ෆයිල් කන්දරාව. ඒ අතරතුර මම මාධ්‍ය අංශයේ වගකීමත් අකුරට ඉටු කරනවා.  

ඒත්, අල්ලස් කොමිසමෙන් මාසයක් තුළ අත්අඩංගුවට ගත් හතරෙන් තුනක්ම පොලීසියේ තරු පටි නිලධාරීන්?

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අල්ලස් කොමිසම. නඩු පැවරීම් කරන්නේත් අල්ලස කොමිසමෙන්. පොලිසිය අල්ලස් චෝදනා එල්ල වන නිලධාරින් සම්බන්ධයෙන් තදින් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන්නේ පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශන අංශයයි. එතැනදීයි මූලික පරික්ෂණ කෙරෙන්නේ. ඉන් වරදක් කළ බව තහවරු වුවහොත් අදාළ නඩුවෙන් වරදකරු වුණත් නැතත් එම තැනැත්තා සේවයෙන් පහ කෙරෙනවා.  

හරි, අපි අපි මහනුවරට හැරෙමු. අමිත් වීරසිංහගේ බිරිය කියනවා ඔහු නුවර භාර පොලිස් ප්‍රධානියෙක් එන්න කියලා අල්ලා ගත්තා කියලා. ඇය මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කර තිබුණා?

මං කලින් කීවා වගේ මානව හිමිකම් කොමිසමටත් ඕනෑම පුරවැසියකුට පැමිණිලි කළ හැකියි. ඒත් ඔය කාරණේ ඇත්ත මම කියන්නම්. ඔහුව ත්‍රස්ත විමර්ශන දිසාවේ නිලධාරින් අත්අඩංගුවට ගත්තේ ඔහුගේ නිවෙසේදීමයි.  ඒ වෙද්දීත් සැකකරු විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් සත් දෙනකුත් නිවෙසට ගෙන්වාගෙන ඉදිරියේදීත් ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවීමට සාකච්ඡා කරමින් සිටියා.

දිගනදි පොලීසිය දෙකට බෙදුණා කියලාත් සමහරු කිව්වා?

එහෙම බෙදීමක් නැහැ. පොලිස් නිලධාරීන් එකාවන්ව රාජකාරි කරනවා. යම් යම් සිද්ධිවලදී පොලිසියේ අඩුපාඩු වෙලා තිබුණොත් ඒවාට ඉදිරියේදී අවශ්‍ය කරන පියවර ගනීවි.  

හදිසි නීතිය දීර්ඝ වේවිද?

දීර්ඝ කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ ජනාධිපතිතුමා.  

පොලීසියේ බලධාරින් උඩින්ද වැඩට එන්නේ?

ඒ කිව්වේ?  

ඒ කිව්වේ මේ දිනවල එක දිගට මහ පාරවල්වල අපරාධ කල්ලි මරා ගන්නවා. මේවා පොලිසිය දකින්නෙ නැද්ද?

ඔබලා දුටුවාද වත්තල සිද්ධිය? පාතාල කල්ලි අපරාධකාරයෙක් එස්ටීඑෆ් එකටත් වෙඩි තිබ්බා. පොලීසියටත් ආරක්ෂාව තකා වෙඩි තියන්න සිදු වුණා. ඒ වගේ අවදානම් මැද පොලීසිය පසුබැස ගිහින් නැහැ. පසුගිය දිනවල නමගිය අපරාධකරුවන්ගේ ආධාරකරුවන් ගණනාවක්ම හෙරොයින් සමඟ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනැණා. පොලීසිය ඒ අපරාධ කල්ලි මර්දනයට දිවා රෑ නොතකා මෙහෙයුම් දියත් කරමින් සිටිනවා.