500කගේ මන්ත්‍රීධුර දිනුවත් අහෝසියි! | ඇස පාදන රැස


500කගේ මන්ත්‍රීධුර දිනුවත් අහෝසියි!

 ඡායාරූපය:

500කගේ මන්ත්‍රීධුර දිනුවත් අහෝසියි!

ලබන පෙබරවාරි 10 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් දූෂණ චෝදනාවලට වැරදිකරුවන් වූ පිරිස 500 කට ආසන්න යැයි දැනට අනුමාන කෙරෙන හෙයින් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමේ අනතුරක් ඇතැයි මැතිවරණ කෙමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසීය.   

මෙවර මැතිවරණයට චෝදනා ඇති අපේක්ෂකයන් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ‘රැස’ පුවත්පත ඊයේ (14දා) කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අදාළ මන්ත්‍රීවරුන්ට එරෙහිව අධිකරණයට යෑමේ හැකියාව ඡන්දදායකයන්ට ඇති බවත්, මැතිවරණ කොමිසමටද ඊට අදාළ නිසි බලතල ඇති බවත්ය. පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ක්‍රියාපටිපාටිය පිළිබඳ වාර්තාවක් සකස් කරන ලෙස මැතිවරණ කොමිසම සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට නියෝග කර ඇති අතර, ඔවුන් නීති විරෝධී ලෙස කටයුතු කළ පුද්ගලයන්ද, රාජ්‍ය සේවයෙන් නීතිප්‍රකාරව ඉවත් නොවී මැතිවරණයට තරග කරන්නන්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙසද දැනුම් දී ඇත.  

පළාත් පාලන පනතට අනුව සමෘද්ධි නිලධාරීන් හෝ එවැනි වෙනත් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන් අඩුම තරමින් අවුරුද්දක කාලයක්වත් තමන් තරග කරන කොට්ඨාසයේ සේවය නොකළ අය විය යුතු බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි. එසේම යම් රාජ්‍ය නිලධාරියකු මැතිවරණයට තරග කරන්නේ නම් හෙතෙම රැකියාවෙන් ඉවත්ව හෝ පඩි රහිත නිවාඩු ලබාගෙන මැතිවරණයට තරග කළ යුතු බවද කොමිසම පවසයි. එසේ නොවන අවස්ථාවලදී යම්කිසි අපේක්ෂකයකු ජයග්‍රහණය කළද ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන එම ජයග්‍රහණය අවලංගු කිරීමේ බලය කොමිසම සතු වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.  

පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් 57,252ක් ඉදිරිපත්ව සිටින අතර, එයින් 8,356ක් මන්ත්‍රීවරුන් ලෙස තෝරා ගැනීමට නියමිතය. 

[තිඹිරියාගම බණ්ඩාර] [නුවන් මහේෂ්]