ගම සවිබල ගන්වන මෙහෙයුම

 ඡායාරූපය:

ගම සවිබල ගන්වන මෙහෙයුම

 

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබාගන්නා විට රටක් වශයෙන් අප මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූයේ ජාතිය ගොඩනැඟීමේ ඉලක්කයයි. එකී ඉලක්කය සපුරා ගැනීම සඳහා යටත්විජිතකරණයට ලක්වූ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවටද සිදුවූ ප්‍රධානම අභියෝගය වූයේ ප්‍රාග්ධනය හිඟවීම, දුගීබව හා තාක්ෂණයෙන් ඉදිරියට යෑමට තිබූ නොහැකියාවයි. ආර්ථික සංවර්ධන ඉලක්කයන් කරා ගමන්කිරීමේදී ශ්‍රී ලංකාව මෙන්ම යටත්විජිතකරණයට ලක්වූ ආසියාව, අප්‍රිකාව හා ලතින් ඇමෙරිකානු රටවල් සියල්ලම මෙම අභියෝගය ජයගැනීම සඳහා තම තමන්ට නිශ්චිත වූ ආර්ථික උපායමාර්ගයන් ඔස්සේ ගමන් කළ නමුත් ඒ රටවල් බොහොමයකට තවමත් සිය සංවර්ධන අභිප්‍රායන් ඉටුකර ගැනීමට නොහැකි වී ඇත.

1948 වර්ෂයේ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යය කිරීටයෙන් නිදහස ලබාගන්නා විට අප රටේ ආර්ථික සංවර්ධන වේගය සිංගප්පූරුව, මලයාසියාව, දකුණු කොරියාව, තායිලන්තය වැනි අග්නිදිග ආසියාතික රටවල්වලට වඩා ඉදිරියෙන් තිබූ බව අප කාටත් රහසක් නොවේ. එම කාලපරිච්ඡේදයේදී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම දෙවැනි වූයේ ජපානයට පමණකි. එහෙත් පසුකාලීනව ශීඝ්‍රයෙන් මෙම රටවල් ආර්ථික සංවර්ධනයක් කරා ළඟාවූ නමුත් වසර 70කට අධික කාලයක් තුළදී අප රටේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3,200ක සීමාවක නතර වන විට සිංගප්පූරුව දකුණු කොරියාව වැනි රටවල් සිය වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 40,000ක සීමාව අභිබවා සංවර්ධනයේ ඉහළ ස්ථානයකට ගමන්කර තිබේ.

ගෝලීය ප්‍රවණතාවන් තුළ ආර්ථික විද්‍යාඥයන්ගේ මෙන්ම ඇතැම් විද්‍යාඥයන් පෙන්වාදෙන ආකාරයට ජීව තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, තොරතුරු තාක්ෂණය හා නැනෝ තාක්ෂණය වැනි ඉහළ තාක්ෂණික පර්යේෂණ මඟින් කළ නව සොයාගැනීම් තුළින් සිය නිෂ්පාදන ආර්ථිකයන් හසුරුවාලන බවයි. එහි ප්‍රතිඵල මත ගෝලීය ආර්ථික ප්‍රවණතා තුළින් ආර්ථික ඉලක්ක ජයගෙන තිබෙන බව ඔවුන් පෙන්වා දෙයි.

නූතන ගෝලීය ප්‍රවණතා එසේ වුවද ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන ආර්ථික ක්‍රියාවලිය තවමත් හසුරුවන්නේ කෘෂිකාර්මික ආර්ථික ක්‍රියාවලියක් මතයි. එනම් කෘෂිකාර්මික ආනයන අපනයන ක්‍රියාවලියකට දායක වූ රටක් වශයෙන් අප රටේ ආර්ථිකය සාම්ප්‍රදායික කෘෂිකාර්මික අපනයනයන් මත තවමත් රඳාපවතියි. එබැවින් එය අපනයන විවිධාංගීකරණය මෙන්ම ආනයන ආදේශන කර්මාන්ත මත උපායමාර්ගික වශයෙන් මෙම ආර්ථික ක්‍රියවලිය හැසිරිවිය යුතුය යන්න ආර්ථික විද්‍යාඥයන්ගේ අදහසයි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයනයන් මෙන්ම කාර්මික නිෂ්පාදන ක්‍ෂේත්‍රයේදී යම් ප්‍රගතියක් ලබා තිබෙන නමුත් ජාත්‍යන්තර වෙළෙඳාම තුළ ඉහළ තාක්ෂණයන් සමඟ තරග කිරීමට තරම් අපේ නිෂ්පාදන භාණ්ඩවල ගුණාත්මක තත්ත්වය එතරම් දියුණු මට්ටමක නොපවතින බව පිළිගත යුතුය. එසේ නම් මෙම අභියෝගය ජයගැනීම සඳහා අප කළ යුත්තේ කුමක්ද යන්න සිතා බැලීමේදී අප රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල නිෂ්පාදන හැකියාවන් නවීන තාක්ෂණය සමඟ මුසුකරමින් ග්‍රාමීය මටටමේ සිට කුඩා ව්‍යවසායකයන් හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දිරිමත් කරමින් කර්මාන්ත හා කාර්මික නිෂ්පාදන දිරිමත් කිරීමේ සැලසුම්ගත ආර්ථික වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුය. මෙකී ආර්ථික උපායමාර්ගයන් හැසිරීම සඳහා අප රටේ රාජ්‍ය අංශයේ දායකත්වය අමාත්‍යාංශ ගණනාවක් මඟින් හසුරුවනු ලැබයි. එහෙත් දිගුකාලීන සැලසුම්සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලපරිච්ඡේදයේ ගත් උත්සාහයන්ගෙන් එතරම් සාර්ථක ප්‍රතිඵල අත්නොවුණු බව පිළිගත යුතුය.

ගම සවිබල ගැන්වීමේ ජනාධිපති

ලේකම් කාර්යාලයේ උපායමාර්ග

1978 ව්‍යවස්ථා සංශෝධනය සමඟ විධායක ජනාධිපති ක්‍රමයක් රට තුළ ස්ථාපිතවිය. එයින් නිර්මාණය වූ විධායකය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම මෙහෙයවන ප්‍රධාන ග්‍රාමක බලවේගය බවට පත්විය. රට මෙහෙයවීමේ සමස්ත යාන්ත්‍රණය සවිබල ගැන්වීම තුළින් මෙරටේ 15,000ක් පමණ වන ග්‍රාමසේවා කොට්ඨාසවලට හෝ 332ක් පමණ වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නොවිසඳුණු මහජන ගැටලුවලට පිළිතුරු සෙවීමට තරම් කාලයක් හෝ වේලාවක් එදා ජනාධිපති ලේකම් කාර්යාලයට නොතිබුණි. ඒ වෙනුවට ඉහළ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, ජාත්‍යන්තර සබඳතා, ආර්ථික සබඳතා හා වෙනත් පරිපාලන කටයුතු මෙහෙයවීම ඊට බාරකොට තිබුණි. එම නිසාම ගම්බද ජීවත්වන අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන පොදු යාන්ත්‍රණයක මැදිහත්වීමක් සඳහා එදා ජනාධිපති ලේකම් කාර්යාලයට ඉඩකඩ නොතිබුණි.

පරිපාලන විප්ලවයකින් ජනපති

ලේකම් කාර්යාලය ගමට ගෙනයෑම

අතීතයේ ජනාධිපති ලේකම් කාර්යාලය ගම් මට්ටමින් මහජන ගැටලු විසඳීමට මැදිහත් වූයේ නම් එසේ වූයේ අමාත්‍යාංශ මට්ටමින්, දෙපාර්තමේන්තු මට්ටමින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමිනි. ඒ හරහා ගතයුතු ඉහළ ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීමට හා අසරණ රෝගීන් වෙනුවෙන් පිහිටුවා තිබූ ජනාධිපති අරමුදලේ කාර්යභාරයන්වලට පමණකි යන්න මහජනතාවගේ පිළිගැනීමය. සියලු සීමාවන් අභිබවා වර්තමාන ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යභාරය ග්‍රාමසේවා කොට්ඨාස මට්ටම දක්වා ව්‍යාප්ත වීමේ රාජ්‍ය පරිපාලනය වෙනස්වීම මත ඈත ගම්දනව්වල ජීවත්වන අහිංසක ජනතාවට මහත් අස්වැසිල්ලකි. එසේම එය රාජ්‍ය සුබසාධනවාදී පිළිවෙතකට පමණක් නොව ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහාද වැදගත් බව පෙන්වාදිය යුතුය.

ගම නඟාසිටුවීමේ නායකත්වයේ දැක්ම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 08 වැනි දින මෙරටේ ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන විට රජරට ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳිමින් සිටියහ. මෙරට වකුගඩු රෝගීන්ගේ මානුෂික පීඩාවට දිගුකාලීන විසඳුම් සොයමින් මෙම ගැටලුව වඩාත් සංවේදීව විසඳීම සඳහා අවංකම නායකත්වය ලබාදුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එතුමන් සිය ජනාධිපති ලේකම් කාර්යාලය ජාතික වැඩසටහනකට යටත් කරමින් වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවා මේ රටේ මන්දගාමීව තිබූ සෞඛ්‍යය අංශද නැඟිටුවමින් මේ වන විට ජනතාවට දැනෙන වැඩකොටසක් ඉටුකොට ඇත.

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන සවිබල ගැන්වීම

දිවයිනේ දිස්ත්‍රික්ක 5ක් ආවරණය කරමින් මිලියන 2කට ආසන්න ජනතාවකට ඍජු ප්‍රතිලාභ ඉටුකරදීමට සමත් වීම රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළම මෙහෙයුම් මධ්‍යස්ථානය වන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඉටුකළ ජනතා මෙහෙවර ඇගයීමට හොඳම නිදහසුනකි.

දිවයිනේ අතිදුෂ්කර දිස්ත්‍රික්ක තෝරාගෙන එතෙක් එම දිස්ත්‍රික්කවල ජීවත්වන ගම්බද අහිංසක ජනතාවට බලපා තිබූ මහජන ගැටලු විසඳා දීමේ යාන්ත්‍රණයක් ඇතිකරමින් ආරම්භ කළ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පසුගියදා පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ. එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ක් ආවරණය වන පරිදි පසුගිය මාර්තු මාසයේ 19 වැනි දින සිට 25 දක්වා සතියක් පුරා ක්‍රියාවට නංවමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද වකුගඩු නිවාරණ ජාතික වැඩසටහන ඇතුළු ජාතික සංවර්ධන වැඩසටහන් 10ක් හා ප්‍රාදේශීය වශයෙන් මහජනතාව මුහුණදෙන උප්පැන්න සහතික ලබාගැනීමේ සිට හැඳුනුම්පත්, ගමන් බලපත්‍ර, ඉඩම් හිමිකම්, ගොවිගැටලු, වන්දි මුදල්, විශ්‍රාම වැටුප් වැනි මහජන අවශ්‍යතා ඉටුකිරීමට ප්‍රමුඛත්වය ලබා දී තිබේ. ජනතාවට නොවිසඳුණු ගැටලු රාශියකට මෙම වැඩසටහන මඟින් විසඳුම් ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලය හා සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දායක කරගැනීමට සමත්වීම මෙම වැඩසටහනේ සාර්ථකත්වයයි.

පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන මඩකලපුව, අම්පාර, කිළිනොච්චිය, මොණරාගල යන දිස්ත්‍රික්කවල ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කර එහි 6 වැනි වැඩසටහන මේ මස 28 වැනි දින සිට අගෝස්තු 05 වැනි දින දක්වා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එහි 7 වැනි වැඩසටහන යාපන දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි අගෝස්තු 26 වැනි දින සිට 30 වැනි දින දක්වා පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පෙන්වාදෙන පරිදි මුල් සංවර්ධන දශකවලදී මූලික ඉලක්කය වූයේ ස්වභාවික සම්පත් ගවේෂණය උපයෝගී කරගැනීමත් හැකිතරම් මහා පරිමාණ කර්මාන්ත, ව්‍යපාර ඇතිකිරීම වුවද මෑත දශකවලදී මෙම ඉලක්කය ආර්ථිකය සමානතාවය, පරිසර සුරැකීම හා සංවර්ධනයේ තිරසාරභාවය හෙවත් ධරණීභාවය ආදිය කෙරෙහි යොමුවීමෙන් පෙනීයන්නේ ධනය ඉපයීම පමණක්ම සැබෑ සංවර්ධනය නොවන බව පිළිගෙන ඇති බවය. පරිසරය සුරැකීම සැබෑ සංවර්ධනයේ අවශ්‍යතාවයක් මෙන්ම වේගවත් සංවර්ධනයක් ඇතිකිරීමේදී පරිසරය විනාශ වුවහොත් අනාගත පරපුර සඳහා මෙම සම්පත් නොමැති වී යෑම බරපතළ ඛේදවාචකයකි. රටක ජනතාවගේ ජීවන තත්ත්වයට හා සාමකාමී තෘප්තිමත් ජීවිතයට අදාළ සියලු කරුණු පිළිබඳව නිශ්චිත කාලයක් තුළදී බලාපොරොත්තු ඉලක්කයක් කරා මෙහෙයවීමෙන් ඇතිවන දියුණුව සංවර්ධනයක් තුළින් අපේක්ෂා කරයි. එබැවින් එකී පරමාර්ථ මුල්කරගෙන මතවාදීව ජනතාව නිවැරැදි ලෙස දැනුවත් කරමින් යහපත් සමාජයක් ගොඩනැඟීමට මහජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇතිකිරීම යුගයේ අවශ්‍යතාවක් වන බැවින් ජනපතිතුමන් ඉදිරි දැක්මක් සහිතව සංවර්ධනයේ සැබෑ භූමිකාව බිම් මට්ටමින් ගොඩනැඟිය යුත්තේ කෙසේද යන්න මැනවින් තේරුම්ගෙන ඒ සඳහා පූර්වාදර්ශී වැඩසටහනක් ලෙස හඳුන්වාදී තිබෙන ‘රටවෙනුවෙන් එකට සිටිමු’ ජාතික සංවර්ධන වැඩසටහන සංවර්ධනයේ සැබෑ අරුත් වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව අවධාරණය කළ යුතුය.

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන තුළින් ග්‍රාමීය ජනතාව නඟාසිටුවීමට නායකත්වය දීමට කටයුතු කිරීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේ ඇගයීමට ලක්විය යුතු මෙන්ම එය ජනාධිපතිතුමාගේම වදනකින් සටහන් කරන්නේ නම් “ඇතැම් දේශපාලඥයන්ගෙන් රටට සිදුවන හානිය වළක්වාලීමට නම් රාජ්‍ය නිලධාරී තන්ත්‍රය දැක්මක් සහිතව සිය වගකීම දැඩි කැපවීමකින් යුක්තව රට වෙනුවෙන් ඉටුකිරීමෙන් එකී දේශපාලනඥයන් යටකරගෙන යාමට තරම් ශක්තිමත් විය යුතුය.”

[හර්ෂ බී. අබේකෝන්]

මාතෘකා