කරාපිටියේ නව මාතෘ රෝහලේ ගොඩනැඟිලි ඉදිකිරීම් අවසන් අදියරේ

 ඡායාරූපය:

කරාපිටියේ නව මාතෘ රෝහලේ ගොඩනැඟිලි ඉදිකිරීම් අවසන් අදියරේ

ගාල්ල

 

ඉමදුව සමූහ [ලංකින්ද නානායක්කාර]

ගාල්ල කරාපිටියේ ඉදිවෙන නව මාතෘ රෝහලේ ගොඩනැඟිලි ඉදිකිරීමේ කටයුතු අවසන් අදියරේ පවතී. මෙම ව්‍යාපෘතිය බාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ගයාන් රණවීර මහතා පැවසූවේ මෙම රෝහලට අවශ්‍ය වායුසමීකරණ වැනි සෙසු පහසුකම් සපුරාලීමෙන් පසු මේ වසරේ අගෝස්තු මාසය වන විට විවෘත කිරීමේ හැකියාව පවතින බවයි.

මෙම මාතෘ රෝහලේ ඉදිකිරීම් සඳහා යූරෝ මිලියන 41ක සහන ණයක් ජර්මනියෙන් ලැබී තිබිණි. මහල් හයකින් යුත් මෙම මාතෘ රෝහල වර්ග අඩි ලක්ෂ 4ක වපසරියකින් යුක්තවේ. ඇඳන් 600කින් සමන්විත මෙම රෝහලේ ඉදිකිරීම් යම් තරමක ප්‍රමාද වීමට මෙහි උපදේශකවරුන් ලෙස සේවයේ යොදවා ඇති නිසි සුදුසුකම් සපුරා නොමැති නිලධාරීන් හේතුවක් වූ බවද නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

මෙරටට මීට වසර 14කට පෙර බලපෑ සුනාමි ව්‍යසනයේදී ඒ වන විට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටි ජර්මනියේ හිටපු චාන්සලර් දිවංගත හෙල්මට් කෝල් මහතා මහමෝදර මාතෘ රෝහලට සුනාමියේ බලපෑමෙන් වූ විපත සියැසින් දැක රෝහල එම ස්ථානයෙන් ඉවත් කර රට අභ්‍යන්තරයේ ස්ථාපිත කිරීමට අවශ්‍ය අරමුදල් පරිත්‍යාගයක් වශයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන්නද එම මුදල් නිකරුනේ වියදම් වීම හේතුවෙන් එම මුදල්වලින් මෙම රෝහලේ ඉදිකිරීමට හැකිවූයේ අත්තිවාරම පමණකි.

පසුව වත්මන් රජය නැවතත් මේ සම්බන්ධයෙන් ජර්මන් රජයත් සමඟ සාකච්ඡා කර මෙම රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සහන ණයක් ලෙස ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් මෙහි ඉදිකිරීම් 2015 ජූලි මසදී නැවතත් ඇරඹිණි.

මාතෘකා