සේසතම මොනරුන්ට දන් දුන් අඹන ගොවියෝ

 ඡායාරූපය:

සේසතම මොනරුන්ට දන් දුන් අඹන ගොවියෝ

නාඋල
 

වැඩිම එළවළු තොග සපයන වෙල්යාය අවදානමේ

 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා මධ්‍යම පළාතේ වැඩිම එළවළු තොග සපයන නාඋල - අඹන මහවෙල්යායේ ගොවීහු සියගණනක් මොනරු රංචුවක් හේතුවෙන් ගැටලු රැසකට මුහුණ පා ඇතැයි වාර්තාවේ.

බිම් අක්කර 500කට ආසන්න ප්‍රමාණයක් මහ වෙල්යායේ වාර්ෂිකව සිදුවන එළවළු වගාවන්වලින් දිනකට කිලෝ පනස් දහසකට වැඩි ප්‍රමාණයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යැවෙන බව පැරකුම් ගොවි සංවිධානය පැවසීය.

වාර්ෂිකව වගා කෙරෙන එළවළු වගාවන් සියල්ලම පාහේ මේ වන විට මොනරුන්ගේ ආක්‍රමණයට නතු වී ඇති බවත් ඇතැම් ගොවීන් සිය වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා විශාල මුදලක් වැයකරමින් වගා භූමි ආවරණය කර ඇති බවද අඹන වෙල්යායේ ගොවීහු පවසති.

සිය වෙල්යායට එල්ලවී ඇති මොනර තර්ජන සම්බන්ධයෙන් අදහස් දැක්වූ සේනාගම - අඹන කෝන්ගහවෙල පදිංචි ඉන්දික ප්‍රසාද් (24) මහතා.,

‘‘අපේ වගාවන්වලට මාළු දැල් යොදලා තමයි ගොවිතැන් කරන්නේ. මේ දැල් ටිකට රුපියල් පහළොස් දහසක් විතර ගියා. දැල් හින්දා මොනරු එන්නේ නෑ. නැත්නම් කොච්චර රැක්කත් වැඩක් නැ. පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනකොට මොනරු එනවා. කිසිම වගාවක් තියන්නේ නෑ. අපි ජීවත්වෙන්නෙත් අමාරුවෙන්

ගොවිතැනක් කරලා. මේ මොනරුන්ගෙන් අපිට හරිම කරදරයක් තියෙන්නේ. ”

අඹන මහ වෙල්යායට බලපා ඇති මොනර උවදුර සම්බන්ධයෙන් ඇළහැර වනජීවිී කාර්යාලයෙන් විමසීමක් කළ අතර එහි උසස් නිලධාරියකු කියා සිටියේ වගාවන්ට හානි සිදුකරන මොනරුන්, රිළවුන් හා වල්ඌරන් වැනි සතුන් පළවා හැරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් නොමැති බවයි.

කෙසේ වෙතත් සිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

[ඉන්දික අරුණ කුමාර]

මාතෘකා