සිප් කිරට ගුරු මවු‍වරුන් නැතිව වේෙළන වවුනියාවේ දරුවෝ

 ඡායාරූපය:

සිප් කිරට ගුරු මවු‍වරුන් නැතිව වේෙළන වවුනියාවේ දරුවෝ

ත්‍රි/මලය විශේෂ [ඒ. ටී. එම්. ගුණානන්ද]

“ගුරුහිඟය නිසා පාසලේ පරිපාලන කටයුතු බිඳ වැටිලා. ඒ විතරක් නෙවෙයි, ගුරුවරු නැතිව උසස් පෙළ කලා හා වාණිජ පන්ති වැහිලා ගිහින්. අවුරුදු ගාණක ඉඳලා තියෙන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බලධාරීන්ට කිසිම උවමනාවක් නැහැ. මේ ගැටලුව ආවේ අදක ඊයෙක නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ප්‍රදේශයේ දීප්තිමත්ව වැජඹුණු පාසලකට අත්වෙලා තියෙන ඉරණම ගැන අපිට තියෙන්නේ පුදුම කනගාටුවක්. සිරගෙවල් සීයක් වැහෙන්න නම් එක පාසලක් අරින්න කියලා කිව්වට තියෙන පාසල් ටිකත් දැන් වැහිලා යනවා.” ත්‍රිකුණාමලය රාජකීය විද්‍යාලෝක ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවක වූ එස්. එච්. තනුජා ශ්‍රියන්ති මහත්මිය එසේ පැවසුවේ ඉතා දුක්මුසුවය.

රාජකීය විද්‍යාලෝක ජාතික පාසල යනු ත්‍රිකුණාමලය නගරයේ සිංහල පාසල් අතර කාලයකට ඉහත ඉතා ජනප්‍රියව තිබූ කීර්තිමත් පාසලකි. එහෙත් එම පාසල අද වන විට පත්වී ඇත්තේ සෝචනීය තත්ත්වයකටය.

කලක පටන් පවතින ගුරු හිඟය නිසා පාසල් පද්ධතියේ අධ්‍යාපන කටයුතු අඩාල වෙමින් පවතී. පහවසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉහළ ප්‍රතිඵල පෙන්වූ මෙම ජාතික පාසලේ ගුරු හිඟය නිසා විභාග ප්‍රතිඵල පහළ මට්ටමකට වැටී අවසන්ය.

“මමත් මේ විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. ඒ කාලේ හොඳ අධ්‍යාපනයක් තිබුණා. මගේ දරු දෙදෙනාත් මේ පාසලට ගියේ. පහුගිය වසරේ මගේ පුතා ලකුණු 170ක් අරගෙන ශිෂ්‍යත්වය සමත් වුණා. ඒ නිසා මම එයාව අස්කරගත්තා. දුව දෙක වසරේ ඉගෙනගන්නවා.” තනුජා ශ්‍රියන්ති මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

මෙම විද්‍යාලයේ ස්වර්ණමය යුගය ලෙස බොහෝ දෙනා පවසන්නේ හිටපු විදුහල්පති ආනන්ද ගාමිණි හේවාවිතාරණ මහතාගේ සමයයි. එකල සිසුන් 1500ක් පමණ ඉගෙනුම ලැබූ අතර ගුරුවරු 50කට ආසන්න ප්‍රමාණයක් සේවය කර ඇත. එහෙත් වර්තමානයේ සිසුන් 500කට පමණ සීමා වී ගුරුවරු 28ක් දක්වා අඩු වී ඇත. අධ්‍යාපන මට්ටම් පමණක් නොව ක්‍රීඩා සහ පාසලේ ශිෂ්‍යභට අංශවලින් ඉදිරියෙන් සිටි මෙම විද්‍යාලයේ එම අංශවලින් දක්ෂතා දැක්වූ ආදි සිසුහු අදටත් ඒ අභිමානවත් කාල පරිච්ඡේදය සිහි කරති.

විද්‍යාලයේ ශිෂ්‍ය භට ඛණ්ඩයේ ස්වර්ණමය යුගය සිහිපත් කළ රාජකීය විද්‍යාලෝක ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපති මංජුල ප්‍රසන්න හේවාවිතාරණ මහතා පැවසුවේ මෙවැන්නකි.

“මම මේ පාසලේ ඉන්න කාලේ පාසලට මෙහෙම තත්ත්වයක් උදාවෙලා තිබුණේ නැහැ. මේවා කියද්දි බොහෝ දෙනකුගේ හිත රිදේවි. ඒත් මම මේ ඇත්ත කියන්නම ඕන. මම 1993 වසරේ පාසල් ශිෂ්‍යභට ඛණ්ඩයේ හිටියා. ඒ කාලේ කොයිතරම් සුන්දර යුගයක්ද කියලා හිතෙන්නේ වර්තමානයේ පාසල වැටිලා තියෙන අගාධය දැක්කම. ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් විදුහල්පතිතුමා ලබා දුන් තොරතුරු අනුව ගුරුවරු ඉල්ලලා ජාතික පාසල් අධ්‍යක්ෂට ලිපි යොමු කළත් වැඩක් වෙලා නැහැ. උද්ඝෝෂණ කළා. ඒත් වැඩක් වුණේ නැහැ. කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන, අවුරුදු 40ක් පමණ පැරණි ගොඩනැඟිල්ලක් තියෙනවා. ඒක කඩා ඉවත් කරන්නවත් කිසිම බලධාරියෙක් මැදිහත්වෙන්නේ නැහැ. මේ ගොඩනැඟිල්ල කඩාගෙන වැටිලා ළමයෙක් යටවෙනකම් කාගෙවත් ඇස් ඇරෙන එකක් නැහැ. ඒකයි අපිට තියෙන ගැටලුව.”

වසර 40ක් පැරණි තෙමහල් ගොඩනැඟිල්ලක බදාම දිනෙන් දින ගැලවෙමින් වැටෙද්දී ගුරුවරු සිසුන්ට ඒ දෙසට යෑමට ඉඩ නොදී රැක ගැනීමට කටයුතු කරති. ඒ අනතුරක් ළඟ ළඟම ඇති බව පැවසීමෙන් අධ්‍යාපනයට වඩා දරුවන්ගේ හිත් එවැනි දේට යොමු වීම හේතුවෙන්ය. පැසලේ ගුරු පුරප්පාඩු දහසක් තිබියද වෙනත් පාසලකට යෑමට තරම් වත්කම් නැති දරුවෝ මෙන්ම මවුපියෝද කරගියා ගැනීමට දෙයක් නොමැතිව අසරණව සිටිති. ඇති හැකි අය තම දරුවන් පාසලෙන් අස්කරගෙන යන්නේ ද කෙසේ හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතු නිසා පමණි. සම අධ්‍යාපනයක් පිළිබඳ රටෙහි තැන තැන කතාබහ කෙරුණද එවැන්නක් ලංකාවේ තිබේද යන්න ගැටලුවකි.

ප්‍රධාන පෙෙළ් විෂයයන් කිහිපයකට ගුරුවරු නොමැතිවීම පෙන්වා දුන් එම විද්‍යාලයේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් කේ. බී. නදිශා මහත්මිය මේ සම්බන්ධයෙන් බලධාරීන්ට යොමුකළ ලිපිවලට අඩුම තරමේ පිළිතුරක්වත් නැති බව පැවසුවේ කනගාටුවෙනි.

“මගේ ළමයි දෙන්නෙක් මේ පාසලට යනවා. එක දරුවෙක් එක වසරේ. අනෙක් දරුවා හය වසරේ. සෞන්දර්ය විෂයයන්ට හා අනෙකුත් ප්‍රධාන විෂයයන්ට ගුරුවරු නැහැ. ගුරු ගැටලු සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ගියා. ලිපි යොමු කළා. අපේ පාසල ජාතික පාසලක්ලු. මධ්‍යම රජයෙන්ලු පාසල පාලනය වෙන්නේ. ඒ නිසා කිසිම දෙයක් කරන්න විදියක් නැහැ කියලා බලධාරීන් කියනවා. ඒ අය කියන්නේ මේ ගැටලුව අමාත්‍යාංශයේ ජාතික පාසල් අධ්‍යක්ෂත් එක්ක බලා ගන්න කියලා. අවසානයට ළමයි නැතිව ගොඩනැඟිලි ටික විතරක් ඉතිරි වේවි.”

විෂය බාහිර ක්‍රියාකාරකම් අතින් දියුණු වී පැවති රාජකීය විද්‍යාලෝක ජාතික පාසලේ ගුරු හිඟය හේතුවෙන් එම ක්‍රියාකාරකම්ද අඩු වෙමින් පවතී. ක්‍රිඩාව ඉහළ නැංවීමට ගුරුවරු කැපවෙද්දී අධ්‍යාපනයේ සමාන අවස්ථාවලට මූලික තැන දී සිසුන් පාසලෙන් අස්කරගෙන යෑම නිසා ක්‍රීඩාවට දක්ෂ ළමුන් බොහොමයක් මේ වන විට පාසලෙන් වෙනත් පාසල්වලට මාරු වී ඇත. විෂය සමගාමී ක්‍රියාකාරකම් පහළට වැටී ඇත. සමස්ත පාසල් පද්ධතිය ගොඩනැඟීමට වෙනසක් කිරීමට කාලය එළැඹ ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.

චිත්‍ර, නැටුම්, සංගීතය වැනි සෞන්දර්ය විෂයයන්වලට වසර කිහිපයක සිට ගුරුවරු නැති බව පෙන්වා දුන් මවක් වන කේ. බී. නිලංගනී නදීකා මහත්මිය මේ තත්ත්වය තුළ දරුවන්ගේ සෞන්දර්ය හැකියා යටපත් වී ඇති බව පැවසුවාය.

“අ.පො.ස (සා.පෙ) ඇතැම් විෂයයන්ටත් ගුරුවරු නැහැ. ඒ විෂයයන් සම්පූර්ණ කරන්න අමතර වියදමක් දරාගෙන දරුවෝ ටියුෂන් පන්තිවලට යවන්න වෙලා. ගුරුවරු අද ලැබෙයි හෙට ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගෙන බලාගෙන ඉන්නවා හැරෙන්න අපට වෙනත් විකල්පයක් නැහැ. අපට තේරෙන්නේ නැත්තේ උපාධිධාරීන්ට රැකියා නෑ කියලා රජයට කෑ ගහද්දි ඇයි අපේ වගේ පාසලට පත්වීමක් දීලා ඒ අයව එවන්න බැරි?”

තමන්ගේ දරු දෙදෙනා පාසලෙන් අස්කර ගෙන ගොස් වෙනත් පාසලකට යැවීමට අපහසු බවත් ඒ සඳහා පාසල් සංවර්ධන සමිතිය සමඟ එක්වී අරගල කරන බවත් ටී. එච්. අනුරාධා ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.

“මමත් මේ පාසලේ ආදි ශිෂ්‍යාවක්. මගේ ළමයි දෙන්නා මේ පාසලේ අධ්‍යාපනය හදාරනවා. මම ඉගෙන ගත්ත පාසල නිසා යම් විශ්වාසයක් ගොඩනඟාගෙන පාසලට දරුවෝ දෙන්නා දැම්මේ. දුව හතර වසරේ. පුතා හත වසරේ. අපට වෙනත් පාසලකට දරුවෝ දාන්න තරම් වත්කමක් නැහැ. අනිත් අතට ඇයි අපි ගමේ පාසල වහලා දාලා වෙනත් පාසල්වලට යන්නේ? අපිට ගුරුවරු ලබා දෙන්න. අපි ඉල්ලන්නේ එච්චරයි. ”

මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නැඟෙනහිර අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. ආර්. නන්දසේන මහතා පැවසුවේ මෙවැන්නකි.

“ගුරු පුරප්පාඩු තිබුණත් ඔය කියන තරම් පුරප්පාඩු නැහැ. මෙතන තියෙන්නේ පරිපාලන ගැටලුවක්. සෞන්දර්ය විෂයයන් සඳහා ගුරුවරු නැහැ. ඒ සඳහා තාවකාලිකව පිළියම් යොදන්න බලාපොරොත්තු වෙනවා. කඩා වැටීමට ආසන්න ගොඩනැඟිල්ල කඩා ඉවත්කරන්න හැකි ඉක්මනින් කටයුතු කරනවා.”

 

මාතෘකා