මුහුදු වතුර බොන කළුගඟ අසබඩ මිනිස්සු

 ඡායාරූපය:

මුහුදු වතුර බොන කළුගඟ අසබඩ මිනිස්සු

ඈ විටෙක චණ්ඩය. දරාගත නොහී ජල කඳ ඇය ගංවතුර ලෙස පිටකර දමන්නීය. එහෙත් විටෙක ඇය අසරණ වන්නීය. ඒ නියං රකුසාට මුහුණ දීමට තරම් ඇය ශක්තිමත් නොවුණු විටය. දිවයිනේ සතර දෙසින් මුහුද බලා, ගලා බසින සිය ගණනක් ගංගාවෝ, ඇය මුහුදට දායාද කරන ජල කඳට පරදිති. කළුතර හා රත්නපුර දිස්ත්‍රික්කයන්ට වට වැහිදිය දරාගෙන මුහුද බලා යාමට වගකීම පැවරුණේ ඇයටය. නියං සමයේ මුහුදට ගෙනගිය ජල කඳ නැවතත් ගොඩට ගෙන ඒමට තරම් ඇය සැහැසිය. නියං සමයේ මිරිදිය, කරදිය මිශ්‍රිත ජලය පරිභෝජනය කිරීමට මිනිසුන් පෙළඹවීමට තරම් ඇය අනුකම්පා විරහිතය. සමනළ කඳු මුදුනින් තම ගමන අරඹා, සිරිපා පහස ලබමින් ගලා බසින ඈ කළුගං කොමලියයි. වාද්දුව, කළුතර හා බේරුවල අවට ජනතාවගේ ජල අවශ්‍යතා සපුරමින් සමස්ත ප්‍රදේශය පෝෂණය කරන ඈ නියං සමයේ මිනිසුන්ට ලවණතාවය ඉහළ ජලය ලබාදෙයි. ගැටලුව පැන නඟින්නේ එතැන් සිටය.

කළුතර ප්‍රදේශයේ පානීය ජලයට ලවණ සහිත මුහුදු ජලය මිශ්‍ර වීම මේ වනවිට විශාල අර්බුධයක් වී අවසන්ය. මෙය අද ඊයේ පැන නැගි ගැටලුවක් නොවේ. සෑම වර්ෂයකම ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ මෙම ගැටලුවට මුහුණ දීමට මිනිසුන්ට සිදුවේ. පවතින වියළි කාළගුණයත් සමඟ කළුතර ජල සම්පාදනයෙන් ලබාදෙන නළ ජලයට මුහුදු ජලය මිශ්‍ර වීමේ ගැටලුව කුමන හෝ පැලැස්තර ක්‍රමයකින් විසඳීමට බලධරයන් උත්සාහ කිරීම හේතුවෙන් ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට ජනතාවට හැකියාවක් ලැබී නැත. මේ හේතුවෙන් නිවාස 65,000 ක පදිංචි පුද්ගලයන් ලක්‌ෂ පහක්‌ පමණ මහත් දුෂ්කරතාවලට මුහුණ පා සිටී.

කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයට ජලය සපයන කළු ගඟට මුහුදු ජලය ගලායාම නිසා දින ගණනාවක් තිස්සේ කිවුල් රසයෙන් පැවති නළ ජලය මෙ වනවිට මිනිසුන්ට කිසිසේත්ම පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්ව ඇත. එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති වියළි කාළගුණයත් සමඟ කළුතර දිස්ත්‍රික්කයේ ගංගා දියඇළි රැසක් සිඳී ගොස් ඇත. එම නිසා ප්‍රදේශ රැසක ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණපා සිටිති. පරිසරවේදීන් මේ පිළිබඳව පවසන්නේ මෙවන් අදහසක්.

" කළුතර දිස්ත්‍රික්කයේ රබර් වෙනුවට කටු පොල් සහ තේ වගාවට මාරුවෙලා තියෙනවා. ඒ වගේම ඉඩම් කට්ටි කිරීම හා ගංගාවල අධික ලෙස වැලි ගොඩ දැමීමත්  මෙන්ම සති කිහිපයක් පුරා පවතින වියළි කාළගුණයත් මෙයට හේතුවක්. "

කළුතර දිස්ත්‍රික්කයේ බොහොමයක් නඟර තම ජල අවශ්‍යතාවය සපුරාගන්නේ ස්වභාවික ගංගා, දියඇලි සහ පුද්ගලික ළිං, පොකුණු ආදියෙනි. කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් ජලය සපයන වාද්දුව සිට ගාලු පාරේ බෙන්තර දක්වා සහ මතුගම බෝම්බුවල, අලුත්ගම දර්ගා නගරය ඇතුලු ප්‍රදේශ රැසක ජනතාව මේ වනවිට දැඩි අපහසුතාවන්ට පත්ව සිටිති. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ මෙම නළ ජලය කිසිසේත්ම පරිභෝජනයට නුසුදුසු බවයි.

මේ වනවිට කළුතර, වස්කඩුව, වාද්දුව, බේරුවල, අලුත්ගම හා බෙන්තර දක්වා ප්‍රධාන නගරවල හෝටල් හා ආපනශාලාවල තේවල රසය පවා වෙනස්වී ඇති බව දැනගන්නට ලැබේ. මිනිසුන්ට මේ වනවිට තම එදිනෙදා ජීවිතයේ කටයුතු සිදුකර ගැනීම පවා ගැටලුවක් වී පවතී. එමෙන්ම වියළි කාලගුණය හා ලවණ ජලය භාවිතා කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයක කුඩා දරුවන් සමේ ආසාදන තත්වයන්ට, උණ සහ ශ්වසන රෝගයන්ට ගොදුරු වී ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණි.

1948 වර්ෂයේ සිට කළු ගඟට ලවණ ජලය ගැනීම නතර කිරීමට ශක්‍යතා අධ්‍යයන වාර්තා සැලසුම් සකස්කර ඇතත්, මෙතෙක් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබා දී නොමැත. එහෙත් මේ වනවිට මෙයට විසඳුමක් ලෙස ස්ථිර ලවණ බාධකයක් සැකසීම සඳහා අධ්‍යයන කටයුතු සිදුකරමින් පවතී. පවතින මෙම ගැටලුව පිළිබඳව කළුතර දිස්ත්‍රික්කයේ දිසාපති යූ. ඩී. සී. ජයලාල් පැවසුවේ මෙවන් අදහසක්.

"රත්නපුර දිස්ත්‍රික්කයේ සහ කළුතර දිස්ත්‍රික්කයේ සියලු වැසි ජලය මුහුදට ගලා යන්නේ කළු ගං මෝයෙන්. නියඟය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම අඩුවෙනවා. මෙය වාර්ෂිකව පවතින තත්වයක්. ඒ නිසා ඒ මුහුදු ජලය පවිත්‍ර කළාට වැඩක් නැහැ. වැස්සත් සමග මේ ගැටලුවට විසඳුම ලැබෙනවා. ඒත් වැස්ස ලැබෙනතුරු අපට බලා ඉන්න හැකියාවක් නැහැ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලය එකතු වී පිළියමක් යෝජනා කර තිබෙනවා. ඒ කළු ගඟට ඉහළින් ඇති කුඩා ගඟෙන් කෙත් හේනට ජලය පොම්ප කර, පවිත්‍ර කර ජනතාවට ලබාදීම සිදු කරනවා. එමෙන්ම මේ වනවිට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ලුණු එකතුවීම හා ගංවතුර යන තත්වයන් පාලනයට ශක්‍යතා අධ්‍යයනයක් සිදුකරනවා. මෙහි ස්ථිරසාර විසඳුමක් යෝජනා වීමට වසරක හෝ කාලයක් ගතවේවි ".

" කළු ගං මෝය කලින් කලට වෙනස්වෙනවා. මේ වෙද්දි මෝය කැඩී ඇති ස්ථානය මීට පෙර මෝය පිහිටා ඇති ස්ථානය බව දැනගන්නට ලැබෙනවා. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව 1921 වර්ෂයේ සිට මෝය කලින් කලට වෙනස් වී ඇති ආකාරය දත්ත වාර්තා සමඟ පෙන්නුවා. 2017 මැයි 26 ආපු ගංවතුර එක්ක වැලි තීරුව මුහුදට කඩාගෙන ගියා. වැලි තීරුව පටු වීම නිසා මේ තත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ වෙද්දි බවුසර්වලින්  ජලය ලබාදීම සිදුකරනවා. "

මෙම ගැටලුව පිළිබඳ වගකිවයුතු ආයතනයක් වන ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පසුගිය කාලයෙහි මෙයට විසඳුමක් ලෙස ස්ථිර ලවණ බාධකයක් ඉදිකිරීමට සියලු කටයුතු සැලසුම්කර තිබුණ මුත් එය මේ වනවිටද ආරම්භ කර නොමැති බව අපට දැනගන්නට ලැබුණි. ඒ පිළිබඳව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළුතර ප්‍රාදේශීය කලමනාකරු ඉංජිනේරු ජේ. ඒ. කේ. කේ. සී. සෙනෙවිරත්න මහතාලෙන් විමසූ විට ඔහු පැවසුවේ එම සියලු වගකීම මේ වන විට භාරගෙන ඇත්තේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව බවයි.

"වඩදිය, බාදිය වෙනස්වීමත් එක්ක මේ දේ සිදුවෙන්නේ. පායන කාලයේදී ගඟේ වතුර අඩු වෙනවා. මුහුදු ජලය ගඟේ ජලය සමඟ මිශ්‍ර වෙන්නේ ඒ නිසා. ලවණ බාධකයක් යෙදීමට මේ වනවිට යෝජනා වී තිබෙනවා. ඒත් එය හිතන තරම් පහසු දෙයක් නොවෙයි. මොකද ඒක ප්‍රායෝගිකව ඉක්මනින් කරන්න අපහසුයි. විශාල කාලයක් සහ විශාල මුදලක් මේ සඳහා වැයවෙනවා. වැලි කොට්ට දාන එක සාර්ථක නැහැ. කළු ගඟ මෝයෙහි ඇති ගැඹුර  ඒකට හේතුවක් වෙනවා. ඇත්තටම මේ ලවණ බාධකය කියන්නේ ගඟ හරහා ගේට්ටුවක් දැමීම හා සමාන දෙයක්. අපි මේ සඳහා යෝජනා කළේ  කෙත්හේන ග‍ඟෙන් වතුර ගන්න තැනින් මෙම ස්ථිර ලවණ බාධකය දැමීමට. එහි ගඟේ පළල මීටර් සියයක් වගේ වෙනවා. අපි ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර තිබුණත් එම ව්‍යාපෘතියට වාරිමාර්ග දෙපාර්තමේනුතවෙන් විරුද්ධ වෙනවා. එම ස්ථානය පටු වීමෙන් ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බවයි ඔවුන් පැවසුවේ. මේ වනවිට එහි සියලු වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින්නේ".

ඉන්පසු අප මේ ගැන අදහස් විමසුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂ ඉංජිනේරු පී. හෙට්ටිආරච්චි මහත්මියගෙනි. ඇය පැවසූ පරිදි මේ වනවිට ස්ථිර ජල බාධකය දැමීමට යෝජනා කර ඇත්තේ කළුතර පාලම අසලින් වන අතර එහි පළල මීටර් 400ක් පමණ වන බවයි. එනම් මීට පෙර යෝජනා වී තිබුණු ස්ථානයේ ගඟේ පළලට වඩා සිව් ගුණයකින් පළල ස්ථානයකිනි. ගංවතුර පාලනය හා සමගාමීව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බව පැවසූ ඇය මේ වනවිට අධ්‍යයන කටයුතු කරමින් සිටින බවද, 2020 වනවිට එය අවසන් කිරීමට උත්සාහ කරන බවද පැවසීය. දැනට මෙම ව්‍යාපෘතිය භාර ප්‍රධාන ඉංජිනේරු යුගීෂ්වර මහතා සම්බන්ධ කර ගැනීමට අප උත්සාහා කළද එය සාර්ථක නොවුණි.

කෙසේ හෝ 2020 වනවිට අවසන් කිරීමට බලාපොරොත්තු වන ස්ථිර ලවණ බාධකය පිළිබඳ සිහින දැකීම මිස ජනතාවට කළ හැකි අන් යමක් නැත. එතෙක් ජල බවුසර් මඟින් ලබාදෙන ජලය භාවිතා කිරීමට හිත හදාගැනීමට ඔවුන්ට නිසැකවම සිදුවනු ඇත.

මාතෘකා