ලංකාවේ තොරතුරු පනත නිසි අයුරින් ක්‍රියාත්මක වේද?

 ඡායාරූපය:

ලංකාවේ තොරතුරු පනත නිසි අයුරින් ක්‍රියාත්මක වේද?

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ මූලික පරමාර්ථය වන්නේ පුරවැසියන් සවිබල ගැන්වීමයි; රජයේ වැඩ කිරීමේදී විනිවිදභාවය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම, දූෂණය පාලනය කිරීම සහ ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ අර්ථයෙන් ක්‍රියාත්මක කිරීමයි. එමෙන්ම පුරවැසියකු ලෙස පාලක මෙවලම් පිළිබඳ අවදියෙන් සිටීම සහ රාජ්‍ය පාලනය තුළ ඇති වගකීම් වගවීම් ඇති කිරීම සඳහා පුරවැසියන් හට තොරතුරු පනතින් අවකාශය උදාවේ.

ශ්‍රී ලංකාවෙහි තොරතුරු පනත ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදයන් සම්බන්ධ මෑත කාලීන ප්‍රවණතාවන් සොයා බැලීමේදී පෙනී යන්නේ බොහොමයක් පොදු අධිකාරීන් එම පනතෙහි සඳහන් කාරණා හිතුමතේ කඩකරන බවයි.

පනත කඩකරන පොදු අධිකාරීන්

බොහොමයක් පොදු අධිකාරීන් තොරතුරු දැනගැනීමේ පනතේ ඇති නියමයන්ට අනුව කටයුතු නොකිරීම හේතුවෙන් තොරතුරු ලබාදීමේ දින වකවානු සම්බන්ධයෙන් ගැටලු මතුවේ. 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනතේ පස්වන කොටසේ 25(1) වගන්තියට අනුව තොරතුරු ලබාදීම හෝ තොරතුරු අයදුම්පත සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් දින 14ක කාලයක් තුළ තොරතුරු ඉල්ලීම්කරු දැනුවත් කළ යුතුය. නමුත් අද වන විට බොහොමයක් පොදු අධිකාරීන් මෙම නියමයන් කඩකරමින් පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය නොසලකා ඇති ආකාරයක් පසුගිය මාස කිහිපය තුළ සිදුකළ ගවේෂණයේදී අනාවරණය විය.

මෙහි සඳහන් වන්නේ පසුගිය මාස හතරක පමණ කාලය තුළ පොදු අධිකාරීන් කිහිපයක් සඳහා තොරතුරු අයදුම්පත් යොමුකර සිදුකරන ලද ගවේෂණයකි. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ පස්වැනි කොටසේ 24(3) යටතේ පුරවැසියකු විසින් තොරතුරු ඉල්ලීමක් කළ අවස්ථාවේදී එම තොරතුරු ඉල්ලීම කළ පුරවැසියා වෙත තොරතුරු නිලධාරියකු විසින් එම ඉල්ලීම ලැබීම පිළිබඳව ලිඛිත දැනුම්දීමක් යොමු කළ යුතුය. නමුත් ඉහත පොදු අධිකාරීන් එම නියමයන් කඩ කර තිබෙන බවට පහත තොරතුරු සාක්ෂි සපයයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත 2019.06.23 දින තොරතුරු අයදුම්පත යොමු කළ අතර 2019.08.03 දින අභියාචනය යොමු කරන ලදි. අභියාචනය ලැබුණු බවට 2019. 08.08 දින ප්‍රතිඋත්තර ලැබී ඇත.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත 2019.07.06 දින තොරතුරු අයදුම්පත යොමු කළ අතර ඒ සඳහා 2019.08.23 දින තොරතුරු සඳහා පිළිතුරු ලැබී ඇත.

සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වෙත 2019.07.06 දින තොරතුරු අයදුම්පත යොමු කළ අතර 2019. 08.03 දින අභියාචනය යොමු කර ඇත. අභියාචනය ලැබුණු බවට ප්‍රතිඋත්තර ලැබී ඇත්තේ 2019.08.29 දින වන අතර ඒ හරහා ඉදිරිපත් කළ තොරතුරු සම්බන්ධයෙන් 2019.09.16 දින පිළිතුරු ලැබී ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය වෙත 2019.07.24 දිනද, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙත 2019.08.10 දිනද, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත 2019.08.20 දිනද, මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත 2019.08.20 දිනද තොරතුරු අයදුම්පත් යොමුකර ඇතත් එම තොරතුරු ඉල්ලීම් ලැබුණු බවට ඉල්ලුම්කරු දැනුවත් කිරීමක් හෝ කර නොමැති බැවින් මාර්ග සංවර්ධන අධිකාරියට 2019.08.12 දින සහ අනෙකුත් ආයතන වෙත 2019. 09. 12 දින අභියාචනයන් ඉදිරිපත් කර තිබේ.

තොරතුරු අයදුම්පත් ලද බවට ඉල්ලුම්කරු දැනුවත් කරන ප්‍රතිඋත්තරයක් ඉහත කිසිදු අමාත්‍යාංශයකින් හෝ දෙපාර්තමේන්තුවකින් ලබා දී නොමැත.

ඉදිරිපත් කරන ලද තොරතුරු අයදුම්පත්හි සඳහන් ඉල්ලීම් සම්බන්ධයෙන් තොරතුරු සපයා ඇත්තේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සබරගමු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පමණි.

තොරතුරු නිලධාරීන්ගේ අඩුව

මේ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමේදී පොදු අධිකාරීන් මඟින් පුරවැසියන්ට තොරතුරු ලබා දීමේ ප්‍රමාදයට බොහොමයක් තොරතුරු නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්ද බලපා තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ හත්වන කොටසේ 40 වන වගන්තිය මඟින් තොරතුරු නිලධාරිවරයාට ලබා දී ඇති පොදු අධිකාරිය එම තොරතුරු නිලධාරියා විසින් බොහෝ විට භාවිත නොකරයි. තොරතුරු නිදහස් කිරීම හා හෙළිදරව් කිරීමේ අයිතිය තුළ රැඳී නොසිට අදාළ තොරතුරු ලබා ගැනීමට ආයතන ප්‍රධානියාගේ අවසරය ලබා ගැනීමට යෑමද මෙයට ප්‍රධාන හේතුවක් වේ. මීට අමතරව පොදු අධිකාරීන්හි සිටින තොරතුරු නිලධාරීන්ගේ අඩුවද මෙයට ප්‍රධාන හේතුවක් වී ඇත.

නිදසුනක් ලෙස තොරතුරු පනත මඟින් ලබාගත් තොරතුරුවලට අනුව මහවැලි සංවර්ධන අධිකාරියේ කලාප 10ක මහවැලි කොට්ඨාස කාර්යාල 47කටම පත්කර ඇත්තේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ එක් තොරතුරු නිලධාරියකු පමණි. මෙහිදී යම් පුරවැසියකු හට කොට්ඨාස කාර්යාලයක් මඟින් තොරතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් කොළඹ ප්‍රධාන කාර්යාලය වෙත එම අයදුම්පත යොමු කළ යුතුය. මෙහිදී අදාළ ආයතන තුළ ලිපි හුවමාරුවට පමණක් මාසයකට අධික කාලයක් ගත වේ. එමෙන්ම තොරතුරු නොදී සිටීමේ සංස්කෘතියක සිටි සහ තවමත් එම ආකල්ප‍ෙයහි සිටින බොහෝ නිලධාරීන්ගේ ක්‍රියා කලාපයද මෙම තත්ත්වයට හේතුවක් වී තිබේ.

කොමිසමේ වගකීම ඉටුවේද?

තොරතුරු නොදෙන මෙවැනි පසුබිමක් තුළ පුරවැසියාට සිදුවන්නේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසමේ සරණ පැතීමටයි. මෙහිදී කොමිසමට අභියාචනා ඉදිරිපත්කොට මාස කිහිපයක් ගතවීමෙන් පසු සිදු කරන ලද අභියාචනා විභාගයකින් පසු අදාළ පොදු අධිකාරිය වෙත තොරතුරු ලබා දෙන ලෙස කොමිසම මඟින් සිදුකරන ලද නියෝගයද පැහැර හරින තත්ත්වයට අද බොහෝ පොදු අධිකාරීන් වගකීම් විරහිත වී තිබේ.

එයට කදිම නිදසුනක් ලෙස 2018 සැප්තැම්බර් මස 21 වැනි දින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මඟින් ඉල්ලා සිටි තොරතුරු ලබා නොදුන් නිසා තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධානයන් පරිදි 2018.11.12 දින තොරතුරු කොමිසමට අභියාචනය කර තිබේ. අනතුරුව ලිපි අංක RTI Appeal /848/2019 යටතේ 2019.05.06 දින අභියාචනා විභාගය පැවැත්වෙන බව දන්වා එදින අභියාචන විභාගය සිදුකොට සතියක කාලයක් තුළ අදාළ තොරතුරු ලබා දෙන ලෙස නියෝග කරන ලදි. එමෙන්ම ලිපි අංක RTI Appeal /848/2019 යටතේ 2019.05.13 වැනි දින එම ලබාදුන් තීන්දුව ලිඛිතවද අදාළ පාර්ශ්ව වෙත ලබාදී තිබුණද මේ වන විටත් අදාළ පොදු අධිකාරිය විසින් තොරතුරු ලබා දීමක් සිදුකර නොමැති වීම කනගාටුවට කරුණකි.

මෙවැනි ක්‍රියා වැඩිදුරටත් සිදුවන්නේ මෙලෙස තොරුතුරු ලබා නොදෙන තොරතුරු නිලධාරීන් හට නිසි දඬුවමක් ක්‍රියාත්මක නොවීම නිසාය. තොරතුරු පනත භාවිත කරන නිලධාරීන් කිහිපදෙනකුගෙන් අප මත විමසීමක් කළ අතර නීතිඥ ජගත් ලියනආරච්චි මහතා කියා සිටියේ මෙවැන්නකි.

“නඩු පැවරීමට අදාළ වන රීති කොමිෂන් සභාව විසින් සකස් කළ යුතුයි. එහෙම සකස් කළොත් කොමිෂන් සභා නිර්දේශ පැහැර හැරීම වෙනුවෙන් නඩු පැවරීමට හැකියාවක් ලැබෙනවා. මෙම කාරණය සිදුවුණොත් පමණයි කොමිසමේ නියෝග ක්‍රියාත්මක කිරීමේ ලැදියාවක් නිලධාරීන්ට ඇතිවෙන්නේ.”

ඕනෑම ආයතනයකට තමන්ට අවශ්‍ය ප්‍රමාණයක් තොරතුරු නිලධාරීන් පත්කර ගැනීමට හැකිය. ඒ ක්‍රියාවලිය ලංකාවේ නිසියාකාරව සිදු කරන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින පාසල් වැනි ආයතන බව පෙන්වා දිය හැකිය.

අනෙක් කරණය වන්නේ තොරතුරු ආයතන සඳහා ගාස්තු බැඳීමට ඇති ක්‍රියාවලියයි. මෙය තරමක් අපහසු දෙයකි. ඈත ප්‍රදේශයක සිටින අයකුට සුළු මුදලක් බැඳීමට එම මුදලට වඩා වැඩි මුදලක් ගෙවා පැමිණීමට සිදුවන අවස්ථා තිබේ. මෙවැනි අවස්ථාවන්හි ආයතනික ගිණුමකට මුදල් බැර කළ හැකි ක්‍රියාවලියක් සැකසේ නම් එය පහසුවකි.

තොරතුරු නිලධාරීන්ට පුහුණුවක් අවශ්‍යයි

“තොරතුරු නිලධාරීන්ට ඒ සම්බන්ධව මනා පුහුණුවක් අවශ්‍ය වෙනවා. විශාල මුදලක් වැයකරලා පුහුණුකරන තොරතුරු නිලධාරීන් එම තනතුරේම වැඩි කාලයක් රැඳී සිටින්නේ නෑ. මෙවැනි අවස්ථාවක අනෙත් කෙනාටත් ඒ පුහුණුව අවශ්‍ය වෙනවා. මේ සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය මඟින් පැය දොළහක ඔන්ලයින් පුහුණු වැඩසටහනක් හඳුන්වා දී තිබෙනවා. මේ හරහා තොරතුරු නිලධාරීන්ට මනා දැනුමක් ලබා ගන්න පුළුවන්. නමුත් මේක හැම නිලධාරියකුම අනුගමනය කරන බවක් පෙන්නේ නෑ.

“රාජ්‍ය ආයතන සමඟ ගිවිසුම්ගත වෙලා යම් යම් කාර්යයන් සිදුකරන පෞද්ගලික අංශයත් මේ සඳහා අයිති වෙනවා. නමුත් ඒ ආයතන තුළ තොරතුරු නිලධාරීන් පත්කරලා ඉන්නවද කියන එකවත් හොයන්න සිවිල් සංවිධාන හෝ රාජ්‍ය අංශ කටයුතු කරන ආකාරයක් පේන්නේ නෑ. මේ නීති පද්ධතිය හොඳයි. හැමෝටම වගකීමක් තියෙනවා මේක හරියාකාරව ක්‍රියාත්මක කරන්න.” නීතිඥ ජගත් ලියනආරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.

කොමිසමේ නියෝග පිළිනොපදින නිලධාරීන්ට එරෙහිව නඩු පැවරීම් සිදුකිරීම සම්බන්ධයෙන් කොමිසම මෙතෙක් ක්‍රියා නොකිරීම පිළිබඳ කළ විමසීමකදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති මහින්ද ගම්මන්පිල මහතා කියා සිටියේ ඉදිරි මාසයක පමණ කාලයක් තුළ ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සකස්කොට ඔවුන් හට නඩු පැවරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවයි.

රටක පාලන ක්ෂේත්‍රය තුළ ඇති විනිවිදභාවයන් විදහා දක්වන එක් දෙයක් වන්නේ එම රටේ පුරවැසියන්ට රටෙහි තොරතුරුවලට ප්‍රවේශ වීමේ හැකියාව උදාවීමයි. එය හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පවතින ගති ලක්ෂණයක්ද වේ. යම් නීති සැකසුමකින් පමණක් ලොව ප්‍රථමයා ලෙස සුජාත වීමෙන් රටක ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සුජාත නොවනු ඇත. තොරතුරු පනත ක්‍රියාත්මක කරවීමේ ක්‍රියාවලියද එසේ සුජාත කළ යුතු දෙයකි.

[රාහුල් සමන්ත හෙට්ටිආරච්චි]

මාතෘකා