ජනපති ඇඳුම සහ පස්වැනි පටුමඟේ සාකච්ඡා

 ඡායාරූපය:

ජනපති ඇඳුම සහ පස්වැනි පටුමඟේ සාකච්ඡා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයේ දිවුරුම්දී ගතවූ පළමු සති දෙක ඇතුළත තමන්ගේ පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව බලා පිටත් වූයේ බ්‍රහස්පතින්දා දිනයේය. තමන්ගේ පළමු නිල සංචාරයට පෙර කැබිනට් මණ්ඩලයත්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුනුත් පත් කර අවසන් කළ ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන්ද පත් කිරීමට කටයුතු කළේය.

ඉතිරිව ඇත්තේ ආයතන ප්‍රධාණීන් පත් කිරීමය

වෙනදාට ඇමැතිවරුන්ගේ කැමැත්ත මත පමණක් සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරු පත් කිරීම සිදු විය. පසුගිය ආණ්ඩුව සමයේදී රනිල් වික්‍රමසිංහ මහතා එසේ පත් කරන සභාපතිවරු කවුරුන්ද යන්න තමන්ට දැනුම් දී අනුමැතියක් ලබාගන්නැයි කියා තිබුණත් ඔහුට දැනුම් නොදී සභාපතිවරු පත් කිරීමට අමාත්‍යවරු කටයුතු කර තිබිණි. එහෙත් මෙවර එම ක්‍රමයට සභාපතිවරු පත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එම තේරීම් කටයුතු සිදුවන්නේ කමිටුවක් හරහාය. ඒ කමිටුවට පත්වන සාමාජිකයන් ගැන දැනට දින කිහිපයකට පෙර මාධ්‍ය වාර්තා පළ විය. ඒ වාර්තාවලින් දැක්වුණේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, නාලක ගොඩහේවා, සුසන්ත රත්නායක හා ඩයන් ගෝමස් යන අය ඇතුළත් වන බවය. එහෙත් ජනාධිපති ලේකම් කාර්යාලය බ්‍රහස්පතින්දා උදෑසන නිවේදනයක් නිකුත් කරමින් නිල වශයෙන් මෙම කමිටුවට ඇතුළත් වන පුද්ගලයන්ගේ නම් සඳහන් කර තිබිණි. කලින් සඳහන් වූ ලලිත් වීරතුංග මහතාගේ නම එහිදී ඉවත් වී තිබුණු අතර ඒ වෙනුවට සුමිත් අබේසිංහගේ මහතාගේ නම ඇතුළත් වී තිබුණි. මෙම කමිටුවේ ප්‍රධානත්වය ලැබී තිබුණේ ඔහුටය. සුමිත් අබේසිංහ, මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ කැබිනට් ලේකම්වරයා ලෙස කටයුතු කළේය. සුසන්ත රත්නායක ජෝන් කීල්ස් සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. නාලක ගොඩහේවා ජනාධිපතිවරයා දේශපාලනයට රැගෙන ඒමට පාර කැපූ වියත් මගේ ආරම්භයකයෙකි. ඔහු ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයා ලෙසද කලක් කටයුතු කළේය. පුද්ගලික අංශයේ විධායක නිලධාරියෙක් වූ ඩයන් ගෝමස්, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා ළමා හා කාන්තා කටයුතු කාර්යාංශයේ හිටපු සභාපති මහාචාර්ය ජගත් වැල්ලවත්ත යනු ඉතිරි සාමාජිකයන්ය.

සංස්ථා හා මණ්ඩලවලට පත් කරන පුද්ගලයන් පිළිබඳ අවසන් නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා ලබා දී ඇත්තේ සති තුනකට ආසන්න කාලයකි. ඒ අනුව දෙසැම්බර් 18 වැනිදා වන විට තනතුරු සඳහා පත් කළ යුතු පුද්ගලයන්ගේ නම් ඉදිරිපත් කළ යුතුව ඇත. 

ජනාධිපතිගේ ඇඳුම

ජනාධිපතිවරයා දිවුරුම්දීමේ උත්සවයට පැමිණියේත්, වැඩ බාරගැනීමේ උත්සවයට පැමිණියේත් ටියුලිප් කොලරයක් සහිත අත් කොට කමිසයක් ඇඳගෙනය. පළමුවරට සරම අඳින්නේ නැති ජනාධිපතිවරයෙක් පත්ව තිබේ. ජනාධිපතිවරයා වෙනත් ජනාධිපතිවරුන්ගෙන් හා දේශපාලනඥයන්ගෙන් වෙනස්ව වෙනම අනන්‍යතාවක් ගොඩ නඟා ගනිමින් සිටියි. ඒ අතරින් කැපී පෙනෙන ලක්ෂණය වී තිබෙන්නේ ඔහු‌ගේ මේ ඇඳුමය. ජනාධිපතිවරණය අවසන් වූ පසුව රාජපක්ෂ පවුලේ ප්‍රධාන සාකච්ඡාවක් වී තිබුණේ ඔහු අඳින ඇඳුම කුමන ආකාරයෙන් විය යුතුද යන්නය. චමල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ අදහස වී තිබුණේ ජනාධිපතිවරයා ජාතික ඇඳුම ඇඳිය යුතු බවය. මේ අතර කුරහන් සාටකය පැලඳිය යුතු බවටත් විවිධ අදහස් මතුවෙමින් තිබිණි.

ජනාධිපතිවරයා වැඩ බාරගත් අවස්ථාවේදී පමණක් නොව ඉන් පසුව පැවැත්වෙන සෑම නිල කටයුත්තකදීම ඇන්දේ මෙම ඇඳුමය. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරද්දී ටයි පටියක් පැලඳ සිටියත්, උත්සව අවස්ථාවලට සම්පූර්ණ යුරෝපීය ඇඳුම හැඳ සිටියත් ජනාධිපතිවරයා අලුත් අනන්‍යතාවක් ගොඩ නඟාගනිමින් වැඩ කටයුතු කරගෙන යන බවක් පෙනෙන්නට ඇත.

රාජ්‍ය ඇමතිවරු වැඩිවෙච්ච හැටි

ජනාධිපතිවරයා වැඩ බාරගැනීමෙන් පසුව පළමු රාජකාරිය බවට පත්වූයේ අගමැතිවරයා පත් කිරීමය. අගමැතිධුරයට දිනේෂ් ගුණවර්ධන මහතාව පත් කරන බවට පැතිර ගිය කටකතා බොරු කරමින් ඔහු සිය අගමැතිවරයා ලෙස පත් කරගත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාවය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර අගමැති ධුරයේ දිවුරුම් දුන්නේ විපක්ෂ නායකධුරයේ, අගමැති ධුරයේ හා ජනාධිපති ධුරයේ දෙවරක් බැගින් කටයුතු කළ ලංකාවේ එකම දේශපාලනඥයා බවට පත්වෙමිනි.

අගමැතිවරයා දිවුරුම්දීමෙන් පසුව ඇමැති මණ්ඩලය පත් කෙරිණි. ඉදිරි මහ මැතිවරණය පැවැත්වෙන තෙක් ආණ්ඩුවේ කටයුතු කරගෙන යාම සඳහා ඇමැති මණ්ඩලය පත් කළ කැබිනට් ඇමැතිවරුන්ගේ සංඛ්‍යාව පහලවකින් සීමා කරගැනීමට හැකි විය. කැබිනට් ඇමැතිකම් ලබාදීමේදී තෝරාගැනීමේ ගැටලුවකට ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්, බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාත් මුහුණ දුන් අතර ඔවුන්ගේ පිහිටට පැමිණියේ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාය. තමන්ට ඇමැති ධුරයක් අවශ්‍ය නොවන බව පවසමින් ලිපියක් එවූ උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා, රාජ්‍ය ඇමැති ධුරයක් හෝ නියෝජ්‍ය ඇමැති ධුරයක් ලබාගත්තේද නැත.

මේ අතර රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සංඛ්‍යාවද විස්සකට සීමා කරගැනීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වී තිබිණි. මේ සතියේ සඳුදා දිනයේදී එම රාජ්‍ය ඇමැතිවරුන්ගේ දිවුරුම්දීමේ උත්සවය පැවැත්වීමට ජනාධිපතිවරයා සූදානමින් සිටියේය. එහෙත් රාජ්‍ය ඇමැති ධුර විස්සකට සීමා කිරීමේදී මුහුණදීමට සිදු වූයේ බරපතල ගැටලුවකටය. ඇතැම් දිස්ත්‍රික්කවලට ඇමැති ධුර නොලැබීම, විශාල වගකීම් සහිත ඇමැති ධුර දිස්ත්‍රික්ක කිහිපයකට ලැබීම වැනි ගැටලුවලට විසඳුම් ලබාගැනීමට තිබීම නිසා සැලසුම් කළ පරිදි සඳුදා දිනයේදී රාජ්‍ය ඇමැතිවරුන්ට දිවුරුම්දීමට හැකිවූයේ නැත. මේ නිසා බදාදා දක්වා එය කල් තැබිණි. ඒ අනුව රාජ්‍ය ඇමැතිවරු තිස් පස් දෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දුන්හ.

මංගල කැබිනට් රැස්වීම

අලුත් ජනාධිපතිවරයාගේ මංගල කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපතිවරයා මෙන්ම තවත් ඇමැතිවරු කිහිපදෙනෙක්ගේම මංගල කැබිනට් රැස්වීම වී තිබුණේ මෙම කැබිනට් රැස්වීමය. මෙවර කැබිනට් මණ්ඩලයට ආර්ථිකයට අදාළ කැබිනට් පත්‍රිකා කිහිපයක්ම ඉදිරිපත්වී තිබුණේය. වැට් බද්ද සියයට අට දක්වා අඩු කිරීම, උපයන විට බද්ද සංශෝධනය කිරීම ඇතුළු බදු සංශෝධන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් විය.

"අපි බඩු මිල අඩු කරන්න කටයුතු කරන්න ඕන. ජනතාව බඩු මිල අඩු කිරීමක් බලාපොරොත්තු වෙනවා" තමන්ගේ මංගල කැබිනට් මණ්ඩල රැස්වීමට පැමිණ සිටි ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කීවේය.

ඒ අනුව ජීවන වියදම ගැන සොයා බලා අවශ්‍ය තීන්දු ගැනීමට ජීවන වියදම් කමිටුවක්ද පත් කිරීම කැබිනට් මණ්ඩලයේදී තීරණය විය.

"බදුවලින් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් හා කර්මාන්තකරුවන් මිරිකිලා ඉන්නේ. මුද්‍රණ කර්මාන්තය වගේ කර්මාන්තවල අය අමාරුවෙන් ඉන්නේ. අපේ ආණ්ඩු කාලේ ණය අරගෙන ව්‍යාපාර දියුණු කරපු අය පීඩාවට පත්වෙලා. මේ අයට සහන ලබාදිය යුතුයි" අගමැතිවරයාද පැවසුවේය.

දඩ කොළයක්

ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂට පසුගිය සතියේදී අනුරාධපුරයට යෑමට අවශ්‍ය විය. ඇය මේ බව ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.

"මම අනුරාධපුරේ ගිහින් එන්නම්" ඇය කීවේ අනුරාධපුරයට යෑමට වාහනයක් ඉල්ලමිනි.

"අර ගෙදර තියෙන වාහනයකින් ගිහින් එන්න" ජනාධිපතිවරයා කීවේ තමන්ගේ නිල රථයක් ඒ සඳහා යොදා නොගන්නැයි පවසමිනි. ඒ අනුව ඇය නිවසේ තිබූ වාහනයක් රැගෙන අනුරාධපුරයට ගියාය. අනුරාධපුරයට යන අතරවාරයේදී පොලීසිය වාහනය නතර කර දඩ කොළයක් දුන්නේය. ඇය වාහනයේ රියැදුරුට කියා තිබුණේ තමන් කවුරුන්දැයි දැනුම් නොදී දඩ කොළය රැගෙන යන ලෙසය.

ජනාධිපතිගේ නම විකුණන අය

මේ දිනවල ජනාධිපතිවරයා පෞද්ගලිකව හඳුනන බවත්, ආණ්ඩුවේ වැඩ කටයුතුවලදී ඕනෑම සහායක් ලබාදිය හැකි බවත් පවසමින් මුදල් එකතු කරන පිරිස් ගැන ජනාධිපතිවරයාට තොරතුරු ලැබී තිබිණි. මේ ගැන තොරතුරු ලැබුණ වහාම ජනාධිපතිවරයා මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායකට උපදෙස් දුන්නේ මේ ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙසය.

ඉන්දීය සංචාරය 

සිය පළමු නිල සංචාරය ලෙස ඉන්දියාව බලා ජනාධිපතිවරයා පිටත්ව ගියේ බ්‍රහස්පතින්දා දහවල්ය. වෙනදාට නිල සංචාරයක් සඳහා සහභාගී වන කණ්ඩායම් මෙන් නොව මෙවර සංචාරයට සහභාගී වී සිටියේ සීමිත පිරිසකි. ඒ අතරට කිසිදු දේශපාලනඥයෙක් ඇතුළත් නොවීම විශේෂත්වයකි. අඩුම තරමින් විදේශ කටයුතු ඇමැතිවරයාවත් මේ සංචාරයට සහභාගී නොවීය. මේ සඳහා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග හා ජනාධිපති පුද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන අය එක්ව සිටියහ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් හමුවී ද්වි පාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිතව ඇත.

විපක්ෂ නායක ධුරය කාටද?

විපක්ෂ නායකධුරය හිටපු අගමැති රනිල්ට ලබා දෙන ලෙස එ.ජා.ප මහලේකම්වරයා කථානායකගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන අතරතුර අත්සන් 50කට ආසන්න සංඛ්‍යාවකින් යුතුව අජිත් පෙරේරා විසින් කථානායකට යැවූ තවත් ලිපියකින් ඉල්ලා තිබුණේ විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලැබිය යුතු බවය.

මෙම ගැටලුව සාකච්ඡා මගින් බේරා ගැනීම සඳහා පසුගිය අඟහරුවාදා සවස 4.00ට කථානායක නිල නිවසේදී හමුවක් සූදානම් කොට තිබූ අතර රනිල් සහ සජිත් දෙදෙනාටම කථානායකවරයා විසින් ඊට ආරාධනා කොට තිබිණ.

රනිල් එහි ගොස් කථානායකවරයා සමඟ පැයකට අධික කාලයක් එකට රැඳී සිටිමින් සාකච්ඡා කළද සජිත් එම අවස්ථාවට එක්වූයේ නැත. අසනීප තත්ත්වය හා තමා විල්පත්තු අභයභූමිය ආශ්‍රිත ප්‍රදේශයේ සිටින බැවින් එම හමුවට පැමිණීම අසීරු බව ඔහු දන්වා තිබිණි.

විපක්ෂ නායක ධුරය පිළිබඳව මෙන්ම එ.ජා.පය ලැබු මැතිවරණ පසුබෑම මෙන්ම අනාගතයේදි පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳවද කථානායකවරයා හා රනිල් අතර දීර්ඝ ලෙස අදහස් හුවමාරු විය.

"විපක්ෂ නායකකම ඉල්ලලා සජිත් පාර්ශ්වය ඔබට ලියුම් යවන්නේ නැතිව මාත් එක්ක කතාබහ කළා නම් යම්කිසි එකඟත්වයකට එන්න තිබුණා." රනිල් කීවේ එවැන්නකි.

"භාරකාර ආණ්ඩුව දිගටම තියාගෙන ඡන්දයකට නොගියේ ඇයි කියලාත් අපේ සමහරු දැන් කෑ ගහනවා. ඉතින් මේවා කතා කරන්න එන්නේ නැතුව කොහොමද තීන්දු ගන්නේ." රනිල් වැඩිදුරටත් කීවේය.

පස්වැනි පටුමඟේ සාකච්ඡා

පසුගියදා රනිල්ගේ පස්වැනි පටුමඟ නිවසේ සාකච්ඡාවක් පැවැත්විණි. සජිත් සහ රනිල් දෙදෙනාම මඳකට පසුපසට වී කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් හරහා මහමැතිවරණ මෙහෙයුම් දියත් කළ යුතු බවට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කළ යෝජනාවට රනිල් ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.

මේ අතර පාඨලී චම්පික රණවක ඇමැතිවරයා මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තිබෙන්නේ ඉදිරියේදී කළ යුතු දේ ගැනත් අවධානය යොමු කරමින්ය. ඔහු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මේ ගැන රනිල් වික්‍රමසිංහ සමඟත් සාකච්ඡා කළ අතර පක්ෂයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන පාඨලී සෘජුව දැනුම් දුන්නේය.

"මම නැවත වරක් මැතිවරණයකට ඉදිරිපත්වීමේ සූදානමකින් නොවෙයි සිටින්නේ" රනිල් පැවසුවේය.

[තිලක ජය]

මාතෘකා