මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ 25වසරක් අත්දුටු ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමටයි

 ඡායාරූපය:

මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හැදුවේ 25වසරක් අත්දුටු ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දීමටයි

තම රජය යටතේ ඉතිහාසයේ පළමු වතාවට පෙරපාසල් අධ්‍යාපනය නිදහස් සහ නොමිලේ ලබා දීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (06) බණ්ඩාරවෙල පැවැති ජන රැලියකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

"පළමුවෙන්ම බණ්ඩාරවෙල බලප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් මම කරන්න බලාපොරොත්තු වෙන දේවල් පිළිබඳ ඔබව දැනුවත් කරන්න කැමතියි. බණ්ඩාරවෙල

බලප්‍රදේශයේ රෝහල වැඩිදියුණු කර නවීකරණය කර අපි අනිවාර්යයෙන්ම එය උසස් රෝහලක් බවට පත් කරනවා. ඒ වගේම උමා ඔය ව්‍යාපෘතිය තුළින් අසහනයට, පීඩනයට පත්වූ සියලුම දෙනාට ලබාදිය යුතු වන්දි ලබාදීම පිළිබද මම පෞද්ගලිකවම අධීක්ෂණය කරනවා. බණ්ඩාරවෙල පුරවරයේ වාහන තදබදය නිරාකරණය කිරීමට අපි කටයුතු කරනවා. ඒ වගේම පානීය ජල ප්‍රශ්නයට ඉතාම ඉක්මනින් විසඳුමක් ලබාදෙනවා. බණ්ඩාරවෙල තොග වෙළෙඳපොළක් අපි ඉදිකරනවා. ඇල්ල

බලප්‍රදේශය සංචාරක පාරාදීසයක් බවට පත් කරන්නට අපිට කළ හැකි සියලුම දේ අපි ඉටු කරනවා. විශේෂයෙන්ම ජාතික වශයෙන් අපි ඉෂ්ට කරන්නට යන වැඩකටයුතු ගැන කරුණු කිහිපයක් මතක් කරන්න කැමතියි.

"කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ කිසිම දවසක කිසිම නායකයෙක් නොකරපු මහා දැවැන්ත වැඩසටහනකට මම අතගසා තිබෙනවා. ඒ තමයි අපේ රටේ කෘෂි නිෂ්පාදනය ජාතික වශයෙන් ඉහළටම ගෙනඒම තුළින් අපේ රටේ ජනතාවගේ ආහාර ඉල්ලුම පිටරටින් ආනයනය නොකර අපේ රටේ ගොවි පරපුරෙන් රටේ ආහාර ඉල්ලුමට අමතරව අපේ කෘෂිකාර්මික නිෂ්පාදන පිටරටට අපනයනය කිරීම. ඒ සඳහා නවීන තාක්ෂණය, නවීන ක්‍රමවේද උපයෝගී කරගෙන සැබවින්ම භවභෝගවලින් ආහාර සුරක්ෂිතතාව තුළින් ස්වයංපෝෂිත රටක් බවට පත්කළ හැකියි. ඒ ඉලක්කය කරා යෑම සඳහා වී ගොවිතැන, එළවළු, පලතුරු වගාව, ගොඩභෝග වගාව, හේන් වගාව, තේ, පොල්, රබර් වගාව, සුළු අපනයන භෝග යන හැම වගාවකටම අපි අපේ මාතෘභූමියේ වගාකරුවන්ට, කෘෂිකර්මාන්තයේ නියැළෙන ගොවි පරපුරට නොමිලේ පොහොර ටික අනිවාර්යෙන්ම ලබාදෙනවා. අපේ රටේ යොවුන් පරපුර වෙනුවෙන් අපි තුන් වැදෑරුම් වැඩසටහනක් ආරම්භ කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයකම නවීන පන්නයේ තාක්ෂණ විද්‍යාලයක් ආරම්භ කරනවා. ඒ තාක්ෂණ විද්‍යාලය තුළින් නවීන තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ජෛව තාක්ෂණය, පරිගණක විද්‍යාව, ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාව ප්‍රගුණ කිරීම සඳහා විෂයානුබද්ධව නව තාක්ෂණ විද්‍යාල සහ තාක්ෂණ උද්‍යාන ආරම්භ කර තාක්ෂණ විද්‍යාලවලින් සමත් වෙන යොවුන් පරපුරට තාක්ෂණ උද්‍යානයේ ඩිජිටල් තාක්ෂණ ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා භූමිය හා මූලික ප්‍රාග්ධනය ලබාදෙනවා. බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයට මේ වගේ ආයතන දෙකක් ලැබෙනවා. ඇල්ලට තාක්ෂණ විද්‍යාලයක් සහ තාක්ෂණ උද්‍යානයක්. බණ්ඩාරවෙලටත් තාක්ෂණ විද්‍යාලයක් සහ තාක්ෂණ උද්‍යානයක් ලැබෙනවා. ඒ තුළින් අපේ රටේ යොවුන් පරපුරට අපි ඓතිහාසික ශක්තියක් ලබාදෙනවා.

"ලෝකයේ රටවල් තුළ ඩිජිටල් විප්ලවය කෙරෙන්නේ කොහොමද කියලා ඔබ දන්නවා. සමහර යෞවන යෞවනියෝ අහනවා ඇයි මේ විප්ලවය අපේ රටේ ක්‍රියාත්මක නොවන්නේ කියලා. මම ඔබලාට කියන්න කැමතියි මේ තාක්ෂණ විද්‍යාල, තාක්ෂණ උද්‍යාන සංකල්පය තුළින් මේ ඩිජිටල් විප්ලවය අගනුවරට විතරක් නෙවෙයි මුළු රටේම, සෑම උපදිසාපති කොට්ඨාසයක් පාසා මේවා පිහිටුවලා ඩිජිටල් විප්ලවය අපි ගමටත් ගෙනඑනවා. යොවුන් පරපුර මේ ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කරනවා. අපි සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් පාසාම කර්මාන්ත පුරවර ආරම්භ කිරීමට කටයුතු යොදනවා. විශේෂයෙන්ම බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසය ගත්තොත් බණ්ඩාරවෙලට වෙනම, ඇල්ලට වෙනම අපි කර්මාන්ත පුරවර දෙකක් ආරම්භ කරනවා. ඒ තුළින් මේ ප්‍රදේශයේ යෞවන යෞවනියන්ගේ රැකියා ප්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳනවා. යෞවන යෞවනියන්ට, තරුණ තරුණියන්ට දුර ඈත පළාත්වල සිට රැකියා කරනවා වෙනුවට තමන්ගේ ගමේම, නගරයේම ඉඳගෙන දහස් ගණනකට රැකී රක්ෂා ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරනවා.

"විශේෂයෙන්ම ඔබතුමන්ලා දන්නවා දුගී දුප්පත්කම නැති කිරීම උදෙසා සිදුකරන සමෘද්ධි වැඩසටහන පිළිබඳව. අපි ඒ වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරලා, වැඩියෙන් ප්‍රතිපාදන වෙන්කරලා ජවසම්පන්නව ඉදිරියට ගෙනියනවා. ඒවගේම කෙටිකාලීනව මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම උදෙසා අපි අනිවාර්යෙන්ම තවත් ශක්තියක් ලබා දෙනවා. ඒ තමයි දැනට පැවතෙන සමෘද්ධි වැඩසටහනට අමතරව දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු ජනසවිය වැඩසටහනත් මුළු රටේම එකවර ක්‍රියාත්මක කරනවා. මගේ පියාණන් තමයි පාසල් යන දූ දරුවන්ට පාසල් යන දරු පරපුරට නිල ඇඳුම හා දිවා ආහාරය ලබා දුන්නේ. මගේ ප්‍රතිවාදියාගේ දේශපාලන කල්ලිය තමයි දූ දරුවන්ගේ දිවා ආහාරය සහමුලින්ම නතර කළේ. හතළිස් හතර ලක්ෂයක් අපේ රටේ පාසල් දූ දරුවන් ඉන්නවා. පාසල් දූ දරුවන් වෙනුවෙන් අපි තුන් වැදෑරුම් වැඩසටහනක් ආරම්භ කරනවා. ඒ වැඩසටහන වන්නේ මගේ ප්‍රතිවාදියා උදුරාගත් ඒ දිවා ආහාරය හතළිස් හතර ලක්ෂයක් දූ දරුවන්ට ලබාදීමයි. අපේ පාසල් යන දූ දරුවන්ට එක නිල ඇඳුම් කට්ටලයක් පමණක් දීලා හරියන්නේ නැහැ. එක දවසක් ඒක ඇන්දට පස්සේ ඊළඟ දවසේ මොකක්ද අඳින්නේ? ඒ නිසා අනිවාර්යෙන්ම පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකයි සපත්තු කුට්ටමයි දිවා ආහාරයයි මේ සියල්ලක්ම ලබාදෙනවා. මගේ ප්‍රතිවාදියෝ අහනවා මේවා කරන්න සල්ලි තියෙනවද කියලා. සල්ලි තිබෙන බව මම කියන්න කැමතියි. 16 වැනිදා ඒ ආරම්භ වෙන ආණ්ඩුවෙන් මම පැහැදිලිවම අනතුරු ඇඟවීමක් කරනවා දේශපාලඥයන්ට සුරසැප ජීවිතයක් නැත, වාහන පර්මිට් නැත කියලා. ආණ්ඩු මාරුවෙන, මාරුවෙන වාරයක් ගානේ අලුතින් වාහන පිටරටින් ආනයනය කරන්නේ නැහැ. 16 වැනිදා බිහිවෙන අලුත් ආණ්ඩුව දුෂ්කර ක්‍රියා කරනවා. මහන්සි වෙලා රටේ ජනතාවට වැඩ කරනවා. අමාත්‍යංශවල අනවශ්‍ය වියදම් සියල්ලක්ම කපා හරිනවා. නාස්තිය නැතිකර දමනවා. ඕනේ තරම් මුදල් ඉතිරි කරගෙන මේ රටේ ජනතාවගෙත් මවු පරපුරෙත් දරු පරපුරෙත් අනාගතය වෙනුවෙන් අපි ඒ මුදල ආයෝජනය කරනවා. අපි පෙරපාසලටත් නිදහස්, නිවහල් අධ්‍යාපනය ගෙනඑනවා. මේ ගම් නියංගම්වල යනකොට වයස අවුරුදු තුනත් පහත් අතර දුවා දරුවන්ගේ මවුපියන්ගෙනුත් පෙරපාසල් අධ්‍යාපනය සඳහා මුදල් අයවෙනවා. මුදල් අයකරන පෙරපාසල් අධ්‍යාපනය අපේ රටට ඔබින්නේ නැහැ. ඒ නිසා පෙරපාසල් ගුරුතුමියන්ලා, සහායක ගුරුතුමියන්ලා සහ සහායක පාලිකාවන්ගේ වැටුප සහ දීමනාව ගෙවීම ආණ්ඩුව බාර ගන්නවා. ඒ වගේම පෙරපාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙනමම ගොඩනැඟිලි සම්පත්, වෙනමම ළමා උද්‍යාන, භෞතික මානව සම්පත් ලබාදීලා පෙරපාසල් දූ දරුවන්ටත් දිවා ආහාරයක් ලබාදීලා අපේ මාතෘභූමියේ ඉතිහාසයේ පළමුවෙනි වතාවට පෙරපාසල් අධ්‍යාපනය නිදහස්, නිවහල්, නොමිලේ අධ්‍යාපනයක් බවට අපි පත් කරනවා.

"අපේ රටේ ලක්ෂ ගණනක් ත්‍රීරෝද රථ රියැදුරන් ඉන්නවා. හැම ත්‍රීරෝද රථ රියැදුරකුටම ඇපයක් රහිතව ලක්ෂ තුනක ණයක් ලබාදෙනවා. මං තීන්දු කර තිබෙනවා ඒ ණය පොළියක් නැතිව ලබාදෙන්න. ත්‍රීරෝද රථ රියැදුරාටත් තවත් අමතර ජීවිකාවක් කරගෙන යන්නට, පවුලේ ආර්ථික ශක්තිය වර්ධනය කර ගැනීමටයි අපි ඒ වැඩපිළිවෙළ දියත් කරන්නේ. ඒ අයගේ ජීවන තත්ත්වය අපි උසස් මට්ටමකට ගෙනඑනවා. මවුවරුන් සහ දරුවන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ආරම්භ කරනවා. මේ රටේ මන්දපෝෂණයෙන් පෙළෙන කුරුවීම, මිටි වීම, ක්ෂය වීම, අඩු උපත් බර, රක්ත හීනතාවය, ඒවගේම මන්දපෝෂණයෙන් පෙළෙන මවු පරපුරක් ඉන්නවා. ඒ හැමදෙනාම අපි රැකබලා ගත යුතුයි. ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් තුළින් හැම දරුවෙකුගේම, හැම අම්මා කෙනෙකුගේම පෝෂණ මට්ටම අපි වර්ධනය කරනවා. ගර්භනී මවුවරුන්ට ලබාදෙන රුපියල් විසිදාහේ ආහාර මල්ල අපි තිස්දහස දක්වා වැඩි කරනවා. මේ සියලු දෙයක්ම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තිබෙනවා.

"මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විසිපස් වසරක මගේ සමාජ සේවා ගමනේදී මම අත්දුටු මහජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමයි මෙහි අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය වෙනත් කණ්ඩායමක් ලියපු දෙයක් නෙවෙයි. මේකෙ ඔක්කොම තියෙන්නේ මගේ සංකල්ප. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මෑත කාලයේ ප්‍රථම වතාවට ජන සමාජයේ නූපන් දරුවාගේ සිට වැඩිහිටියා දක්වා සැමට සෙත සලසන, ශක්තිය ලබාදෙන අවංක, පිරිසුදු වැඩසටහනක් තිබෙනවා. මේ වැඩසටහන මහපොළොවේ ක්‍රියාත්මක කරන්නට 16 වැනිදාට තමුන්නාන්සේලා පොදුජන යුගය නිර්මාණය කිරිම සඳහා හංසයා දිනවන්න කියලා මම ඉල්ලනවා. මම සති දෙකකට කලින් මගේ ප්‍රතිවාදියාට අභියෝගයක් කළා ප්‍රතිපත්ති ගැන කතා කරන්න විවාදයකට එන්න කියලා. අපිට සජීවීව සෑම නාලිකාවක් ඔස්සේම මේ රටේ පොදු ජනතාවට අපි දෙපළටම පුළුවන් ප්‍රතිපත්ති ටික ඉදිරිපත් කර ඒවා පිළිබඳව තර්ක විතර්ක කරලා බොහොම මහත්මා විදිහට ඒවා සාකච්ඡා කරනකොට රටේ ජනතාවට තක්සේරුවක් කරන්න පුළුවන් මොන වැඩසටහනද රටට සුබවාදී කියලා. කොච්චර කිව්වත් එයා සජිත් ප්‍රේමදාස සමඟ විවාදයකට එන්නේ නැහැ. තවම ඒකට පිළිතුරු නැහැ. මම කියනවා එතුමාට මට මුහුණදෙන්න බය නම් හිටපු ජනාධිපති අයියවත් අඬගහගෙන එන්න උදව්වට. ඒකත් මදි නම් මුළු පවුල් ගහම අරගෙන එන්න. කීයක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මම තනියම විවාදයට මුහුණදෙන්න ලෑස්තියි. එහෙම කරලා මම විවාදයත් දිනලා 16 වැනිදාට ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කරනවා.

"මේ මහජන හමු සමඟ අපි නිර්මාණය කරන්නේ නොනවතින ජනතා රැල්ලක්. මේ නොනවතින ජනතා රැල්ල 16 වැනිදා දක්වා ගෙනිහින් අනිවාර්යෙන්ම මේ රටේ පොඩි මිනිහා රජ කරවන මහත්මා යුගය, මනුස්සකම රජයන යුගය නිර්මාණය කරන්නට ඔබ සියලුදෙනාම අත්වැල් බැඳගන්න. අපේ රටට දැවැන්ත විදේශ විනිමයක් ගෙන එන වතු කම්කරු ප්‍රජාවට කියන්න කැමතියි තමුන්නාන්සේලා රුපියල් හත්සිය පනහේ දීමනාව 16 වැනිදායින් ඉවරයි. රුපියල් 1,500ක දෛනික දීමනාවක් ලබාදෙන්නට අපේ ආණ්ඩුව කටයුතු කරනවා."

ඡායාරූප [හිරන්ත ගුණතිලක]

News Order: 
1
මාතෘකා