සංවේදී මොහොතේ වගකීමෙන් වැඩකරමු

 ඡායාරූපය:

සංවේදී මොහොතේ වගකීමෙන් වැඩකරමු

නිරායුද සිවිල් පුරවැසියන් 300කට අධික සංඛ්‍යාවකගේ ජීවිත අහිමි කරමින් 500කට වැඩි ප්‍රමාණයකට තුවාල කරමින් පසුගිය 21 වැනිදා එල්ල කරන ලද ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයට අදාළව දෙමටගොඩදී අත්අඩංගුවට ගනු ලැබූ එක් පුද්ගලයකු 2015 මැතිවරණයේදී ජවිපෙ ජාතික ලැයිස්තුව නියෝජනය කළ අයකු බව තහවුරු වී ඇති බවත් එම පුද්ගලයා ජවිපේ සාමාජිකයකු හෝ ක්‍රියාකාරිකයකු නොවන බවත් ජවිපේ ප්‍රධාන ලේකම් ටිල්වන් සිල්වා එම පක්ෂයේ දේශපාලන පක්ෂය වෙනුවෙන් මාධ්‍ය වෙත ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. ජවිපෙ ජාතික ලැයිස්තුවට නම් යෝජනා කළේ මැතිවරණයකදී තරග නොකරන විවිධ වෘත්තීන්ට හා විවිධ ජාතිකත්වයන්ට අයත් අයට අවස්ථා ලබාදීම සඳහා බවද නිවේදනයේ සඳහන් වේ.

නිවේදනයේ මෙසේද සඳහන් වේ.

ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ අනාරක්ෂිතභාවයක් හා නොසන්සුන්තාවක් මතුව තිබේ. මෙම තත්ත්වය මඟහරවා රට තුළ යළි සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යෑමට හැකි ආරක්ෂිත තත්ත්වයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ බලධාරීන් ඇතුළු කාගේත් වගකීම වේ.

මෙම ම්ලේච්ඡ ප්‍රහාරය වළක්වා ගැනීමට ආරක්ෂක අංශ හා ආණ්ඩුව අසමත්ව ඇති බව පැහැදිලිය. දැන් බලධාරීන් විසින් කළ යුත්තේ එකිනෙකාට දොස් පවරමින් තම වගකීමෙන් මිදීම නොව අදාළ වගකීම් බාරගෙන මෙවැනි තත්ත්වයන් යළි ඇති නොවීමටත් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් විපතට පත්වූවන්ට සහන සැලසීමටත් පියවර ගැනීමය.

අනෙක් අතට සියලුම පුරවැසියන්ගේ හා දේශපාලන කණ්ඩායම්වල වගකීම වන්නේ මෙම සංවේදී මොහොත මෙම පටු දේශපාලන වාසි සඳහා යොදා නොගෙන වගකීම් සම්පන්නව කටයුතු කිරීමය. එහෙත් සමහර බංකොලොත් දේශපාලන කණ්ඩායම් ‘බොරදියේ මාළු බෑමේ’ උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබේ. ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට අවලාද නැඟීම එවැනි උත්සාහයක් බව පෙනේ. එබැවින් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළ යුතු යැයි අපි සිතමු.

ජවිපෙ මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා අනුමත කරන පක්ෂයක් නොවන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයක්ෂියක් ඇති සියලු දෙනාම දන්නා කරුණකි. එසේ තිබියදී මෙම සිදුවීමට අදාළ වූ සැකපිට අත්අඩංගුවට ගත් එක් පුද්ගලයකු පදනම් කරගෙන ජ.වි.පෙ.ට අවලාද නැඟීම බංකොලොත් දේශපාලන කණ්ඩායම් විසින් දුෂ්ට අරමුණින් සිදුකරන ක්‍රියාවකි.

මෙම සිදුවීමේදී අදාළ පුද්ගලයා හෝ ඔහුගේ පවුලේ අය මෙයට කිසියම්ම හෝ සම්බන්ධතාවක් තිබේ නම් ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කිරීම ආරක්ෂක අංශවල කාර්යයක් වන අතර ඒ සඳහා ඕනෑම සහායක් ලබාදීමට ජ.වි.පෙ.ත් සූදානම් බවද අවධාරණය කළ යුතුය.

අවසාන වශයෙන් අවධාරණය කළ යුත්තේ විවිධ පන්නයේ වංචාවලට දූෂණවලට වගකිව යුතු දූෂිතයන් සිය නිරුවත වසා ගැනීම සඳහාත් තම පටු දේශපාලන වුවමනාවන් සඳහාත් මෙවැනි සංවේදී සිදුවීම් යොදාගනිමින් ජනතා විමුක්ති පෙරමුණට අවලාද නැඟීමට ඉදිරිපත් වීම කනගාටුවට කරුණක් බවය. එය වගකිව යුතු සියලු දෙනා විසින් ප්‍රතික්ෂේප කළ යුතු ක්‍රියාවකි.

එබැවින් මෙවැනි අවලාදවලින් නොමඟ නොයන ලෙසත් මෙම සංවේදී මොහොතේ වගකීමෙන් යුතුව එක්ව කටයුතු කරන ලෙසත් අපි සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

මාතෘකා