මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු අපරාධයක්

 ඡායාරූපය:

මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු අපරාධයක්

රටේ වැදගත් පූජනීය ස්ථාන 03 ක් ඇතුළුව ස්ථාන 08ක පසුගිය 21 වැනිදා සිදු වු ම්ලේච්ඡ ප්‍රහාරය ශීලාචාර ලෝකයේ කිසිවෙකු විසින් අනුමත නොකරන මනුෂ්‍යත්වයට එරෙහි කුරිරු අපරාධයක් ලෙස පිළිකුලෙන් යුතුව හෙළා දකින බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය.

මෙම විපත නිසා සිය වටිනා ජීවිත අහිමි වූ සමස්ත ශ්‍රී ලාංකිකයන් හා විදේශිකයන් ‍වෙනුවෙනුත්, ස්වකීය සමීපතමයන් අහිමිවීම තුළ අපමණ සංතාපයට පත්ව සිටින සියළු දෙනා වෙනුවෙනුත් හද පත්ලෙන්ම නැගෙන බලවත් ශෝකය පළකර සිටින අතර මෙම අවාසනාවන්ත සිදුවීමෙන් තුවාල ලැබූ සියලුදෙනා වෙතද ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද කතානායකවරයා සඳහන් කළේය.

කතානායක කරූ ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ රට තුළ උද්ගත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කැඳවීමෙන් පසුව පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශයක් සිදුකරමිනි. වේත්‍රධාරී න‍රේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතා‍නායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (23) රැස්විය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ කතානායක කරූ ජයසූරිය මහතා මෙසේද පැවසීය. “මෙවන් තත්ත්වයක් යළි ඇති නොවීම සඳහා මෙන්ම එම සිදුවීම පසුබිමෙහි වන කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගතහැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කරමි. මෙය එක් ජාතියකට හෝ ආගමකට එරෙහි ප්‍රහාරයක් නොව අපගේ මාතෘ භූමියටත් සමස්ත ජනතාවගේම සමගිය හා සහජීවනයටත් එරෙහිව එල්ල වූ ප්‍රහාරයකි.

එය පටු ජාතිවාදී හෝ ආගම්වාදී කෝණයකින් විග්‍රහ නොකර අවබෝධයෙන් යුතුව මුහුණ දෙමින් සාමය සමගිය ආරක්ෂා කළ ජනතාවට ගෞරවය පුද කරමු. මෙම විපත්දායක මොහොතේ දිවි පරදුවට තබමින් ස්වකීය රාජකාරිය ඉටු කල ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරින්ට ද සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ටද අපගේ ආචාරය පුද කරන අතර එහි දී ස්වකීය ජිවිත පූජා කළ පොලිස් නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨ කැපවීමද ගෞරවයෙන් සිහිපත් කරමි. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවටද තර්ජනයක් එල්ල වී තිබෙන බවට ආරක්ෂක අංශ දැනුම් දී තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවටත් ඔවුන් දැනුම් දුන්නා. ආරක්ෂක පියවර සම්බන්ධයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න.” යැයි පැවසීය.

[ස්වර්ණා විජේකෝන්] [රෝෂන් තුෂාර] [චමීර ඇල්ලදෙණිය]

මාතෘකා