ජාත්‍යන්තර සහය ගෙන ත්‍රස්තවාදය මුලිනුපුටනවා

 ඡායාරූපය:

ජාත්‍යන්තර සහය ගෙන ත්‍රස්තවාදය මුලිනුපුටනවා

පසුගිය ඉරිදා මෙරට තුළ සිදුවූ ඛේදවාචකය ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් බැවින් ජාත්‍යන්තර සහයෝගය ලබාගෙන ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ප්‍රකාශ කළේය. පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත ඛේදවාදචකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (23) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අගමැතිවරයා මෙසේද සඳහන් කළේය.

අද අපි ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් හැටියට එයට ඇතුළු වී තිබෙනවා. මේ ත්‍රස්තවාදී ක්‍රියා කළ අය ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වූ කණ්ඩායම් ගෝලීය ත්‍රස්තවාදයේ කොටසක් හැටියට සලකන්න පුළුවන්. මේ අද අප මුහුණදෙන තත්ත්වයයි. මීට පෙර තිබූ තත්ත්වයට වඩා වෙනස්. එදා අපට යුද්ධ තිබුණා. බිම් මට්ටමේ විශාල සටනක් කළා. සටනින් අ‍ප ජයග්‍රහණය කළේ නැත්නම් ඒ යුද්ධය ජයග්‍රහණය කරන්නේ නැහැ. එතැන සිදුවුණේ මොකක්ද? ගරිල්ලා සටනක් හා සාම්ප්‍රදායික සටනක්. ඊට අමතරව මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් බෝම්බ දැම්මා. බිම් මට්ටමේ සහයෝගයක් ඇතුව ත්‍රස්තවාදය අවසන් කළා. අද තිබෙන්නේ එදාට වඩා වෙනස් ත්‍රස්තවාදයක්. ඇත්ත වශයෙන්ම එදා දේශපාලන අරමුණකින් ක්‍රියා කළේ. අද තිබෙන්නේ ඊට වඩා වෙනස් තත්ත්වයක්.‍ අද තිබෙන්නේ ගෝලීය ත්‍රස්තවාදයක්. හොඳම උදාහරණයක් තමයි එකසත් රාජධානිය. වසර පනහක කාලයක් ඔවුන් සාම්ප්‍රදායික යුද්ධයක් කළා. ඒ වගේම උතුරු අයර්ලන්තයේ අපි වගේ සාම්ප්‍රදායික යුද්ධයක් තිබුණා. මේ වගේ තත්ත්වයන් නැති කළාට පස්සේ අද තිබෙන්නේ ගෝලීය ත්‍රස්තවාදයක්. අද කාර්වලින් ඇවිල්ලා මිනිස්සු ඝාතනය කරන තැනකයි ලන්ඩනය තිබෙන්නේ. මම කිව්වේ මේ වෙනස ගැනයි. මේක ඩිස්නි වර්ල්ඩ් එකේ වෙලා නැහැ. ඩිස්නි වර්ල්ඩ් එකේ වුණාම ඒ අයට තේරෙයි. ඒක නිසා ඇත්ත වශයෙන්ම ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය අනුව ත්‍රස්තවාදීන් හදනවා ජාතිවාදය පදනම් කරගත්ත ත්‍රස්තවාදයට වඩා ආගම් පදනම් කර ගත්ත ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන්නට. අද තිබෙන ත්‍රස්තවාදය ගැන එංගලන්තයේ මහාධිකරණයෙන් පවා සඳහන් කර තිබෙනවා. ඒ ගැන කියා තිබෙනවා. ඇත්ත වශයෙන්ම ඒ කියල තිබෙන්නේ, හඳුන්වා දී තිබෙන්නේ ෂකීල් බෙග් සිද්ධියයි. එක්සත් ජාතීන් සම්මත කළ ලෝක ත්‍රස්තවාදයෙන් තුරන් කිරීමේ ප්‍රඥප්තිය මඟින් කියා තිබෙනවා රටවල අර්බුද ඇති කරන අය අත්අඩංගුවට ගැනීමට, අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට මුදල් දෙන අය අත්අඩංගුවට ගැනීමට නව තාක්ෂණය අනුව ඔවුන් සොයා ගැනීම පිළිබඳවයි. මේ ඔක්කොම මහාධිකරණයෙන් කියා තිබෙනවා ආගමික ගැටුම් කියන්න බැහැ ත්‍රස්තවාදී ක්‍රියාවන් කියායි. මම මේ කිව්වේ එංගලන්තය ගැනයි.

ත්‍රස්තවාදීන් ලෙස කටයුතු කළ ඇතැම් අය මෙතන කෑගහන එක පුදුමයක් නොවෙයි. ඒ නිසා මේ ගොල්ලො ආරක්ෂාව ගැන ඉදිරිපත් වෙන එක ගැන මට පුදුමයක් නොවෙයි. මෙවැනි ප්‍රහාර කිහිපයක් සැලසුම් කර තිබෙනවා. ඒවායින් කොටසක් තමයි අපි වළක්වාගෙන තිබෙන්නේ. ඊළඟ කණ්ඩායමේ රහසිගතභාවය කැඩීමක් සිදුව තිබෙනවා. මේක සැලසුම් කරන පුද්ගලයන් ‍මෙහෙයවන හස්තයන් තිබෙනවා. දිවිනසා ගන්නා බෝම්බකරුවන් මෙහෙයවන්නන් සිටිනවා. දැන් පොලිසිය සහ ආරක්ෂක අංශ හා බුද්ධි අංශ ක්‍රියා කරන්නේ මේ අය අත්අඩංගුවට ගැනීමටයි.

හමුදාවයි පොලිසියයි කිහිපදෙනක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වනවිට ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. මම සංඛ්‍යාව ගැන හෙළි කරන්නේ නැහැ. වැදගත් කරුණු කිහිපයක් හෙළි කරගෙන තිබෙනවා. මෙම කටයුතුවලට සම්බන්ධ වී තිබෙන්නේ නොමඟ ගිය කිහිප දෙනක් පමණයි. දැන් සාමය ආරක්ෂා කිරීම වැදගත්. සාමය ආරක්ෂා කිරීම සඳහා මුස්ලිම් බහුතරය සහයෝගය ලබාදී තිබෙනවා. මුස්ලිම් ජනතාව මෙම සිදුවූ ක්‍රියාවන්ට විරුද්ධයි. ඒ නිසා මීට විරුද්ධ සියලු ජන කොටස් එකතු විය යුතුයි. අප මතක තබා ගන්න ඕන 1983 කළු ජූලිය අවස්ථාවේදී ත්‍රස්තවාදීන්ට සහාය දැක්වූවේ දෙමළ ජනතාවගෙන් කිහිප දෙනකු පමණයි. අපේ ඇතිවූ ජාතිවාදී කෝලහලය නිසා එය වෙන පැත්තකට ගියා. මේක විශේෂයෙන්ම මේ ඔක්කොම ගැන මම අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. කවුද ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉවත් වුණේ. ඒ ‍ඔක්කොම මම කියන්න අවශ්‍ය නැහැ. මට මෙතන කියන්න පුළුවන්.

ඒ වගේම මෙම ප්‍රහාරයන් එල්ල කරපු පිරිස්වල තවත් අරමුණක් වී තිබෙන්නේ අපගේ ආර්ථිකය විනාශ කිරීමයි. දැන් සංචාරක ස්ථාන ආර්ථිකය ආරක්ෂා කරන්නට පියවර අපි ගනිමින් සිටිනවා. තවත් වසර 30ක යුද්ධයක් සඳහා අප ඉඩ තබන්නේ නැහැ.

විදෙස් රටවල ප්‍රධානින් බොහෝ පිරිසක් අප සමඟ සාකච්ඡා කළා. ඒ අයගේ සහයෝගය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ නිසා අපට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය අපට සම්පූර්ණයෙන්ම තිබෙනවා. අපට දැන් තිබෙන්නේ මේකට මුහුණ දෙන්නටයි. අපේ අඩුපාඩුකම් පිළිගන්න ඕන. ඒ නිසා අපට මේ සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවන් සිදු කර ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගෙන මේ ත්‍රස්තවාදය නැති කරන්නට අපි ක්‍රියාකරනවා කියා මම කියන්න කැමැතියි. ඒ සඳහා ත්‍රස්තවාදය නැති කිරීමට විශේෂයෙන්ම අපට ලැබුණු ජාත්‍යන්තර සහයෝගය අපි සම්පූර්ණ ප්‍ර‍යෝජනය ගන්නට ඕන. අපි පාර්ලිමේන්තුව ලෙස එකට වැඩ කරන්නට ඕන. මේ අභියෝගයට අපට මුහුණ දෙන්නට පුළුවන්. මීට වඩා අභියෝගවලට අපි මුහුණු දී තිබෙනවා. අප විසින් සිදු කර තිබෙන යම් පියවර සම්බන්ධයෙන් විපක්ෂය විවිධ විවේචනයන් සිදු කරනවා. විවේචන අඩුපාඩු පෙන්වා දුන්නට කමක් නැහැ. ඒ ඇවිල්ල පිස්සු බල්ලො වගේ කෑගහන එක මොකද හිතන්නේ. එතකොට රට හිතන්නේ මේ ගොල්ලන්ට ඕන දේශපාලනය කරනවා වෙනමුකුත් නොවෙයි කියායි. ඒ නිසා අපි විටින් විට ලැබෙන තොරතුරු පිළිබඳ සාකච්ඡා කරමු.

[ස්වර්ණා විජේකෝන්] [රෝෂන් තුෂාර] [චමීර ඇල්ලදෙණිය]

මාතෘකා