බලව, බල පොරය

 ඡායාරූපය:

බලව, බල පොරය

දෛවයේ සරදම වන්නේ 2005 මහින්දගේ උපන්දිනයදා මහින්ද දිනද්දී 2015 බණ්ඩාරනායකගේ උපන් දිනයදා මහින්ද පැරදීමය. ඊට පස්සේ මහින්ද යුගය හමාර විය. එහෙත් පුංචි ඡන්දය දිනාගෙන ඔවුහු ආපසු අධිතක්සේරුවකින් සිටිති. එහෙම සිටින පොහොට්ටුවට මතක්කර දෙන්නට උදාහරණ කොතෙකුත් තිබේ. 88 කියන්නේ එජාපය බලවත්ම අවදියය. පහෙන් තුනක බලයක් අරගෙන එජාපය ශ්‍රීලනිපය සෝදාපාළු කොට තිබුණේය. ඒ වෙනකොටත් පළාත් සභා ඡන්දය වර්ජනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දුකොට තිබිණි.

‘මහින්ද ජනාධිපතිතුමා වටේ ඉන්න අය හිතනවා ගස්වල ගෙඩි හැදෙන්නේ, මල් පිපෙන්නේ, සිහිල් සුළං හමන්නේ, මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුහසින් කියලා’

මෙහෙම කීවේ රෙජිනෝල්ඩ් කුරේය. ඒ මීට අවුරුදු ගාණකට කලින්ය. හරියටම කීවොත් මහින්ද ජනාධිපතිවරණයට එන්න හදපු දවස්වලය.

රෙජිනෝල්ඩ් කීවා වගේම සියල්ල සිදු වූයේ ඒකාධිපති රටවල වගේය. උතුරු කොරියාවේ මෙන් සියලුම ගොඩනැඟිලිවලට ‘මහින්ද රාජපක්ෂ’ යන නම තබනු ලැබීය. 2005 ඔහු දිනවූ කණ්ඩායම් දෙකක් විය. එකක් ජාතික කණ්ඩායම්ය; අනෙක ජාතිවාදී කණ්ඩායම්ය. ඒ දෙකම එකම අරමුණකට යෑමෙහි පාරු බවට පත් කරන්නට අපූරු බුහුටිකමක් මහින්දට තිබුණේය. එහෙත් ජයග්‍රහණයෙන් පසු ඔහු තීරණාත්මකව ඒ කණ්ඩායම් වීසිකොට දැමුවේය. ජනතා විමුක්ති පෙරමුණ වීසි කළේ සාහසික ලෙස ඒ පක්ෂය කඩා දමමිනි. විමල් වීරවංශ ජාතිවාදී කෝවක දමා අලුතින් ඇඹීමෙහි නිර්මාපකයා මහින්දය. ඉන් අනතුරුව ඔහු සමඟ සිටි සහ ඔහුට තීරණාත්මක හයියක් වූ හෙළ උරුමය එළවා දැම්මේය. ඒ වෙනුවට ඔහු ඔහුට ඡන්දයක් නොදුන් පක්ෂවලින් බිලි බා ගැනීම් පටන් ගත්තේය. අන්තිමට මේ ගිය ගමන කෙළවර වූයේ ‘විනාශයේ සුනාමිය’ කඩා වැදීමෙනි. අධික බලකාමය සේම අධික තක්සේරුවද උරුම කරන්නේ ඛේදවාචකයකි. ශ්‍රීලනිපය දියකර දැමූ මහින්ද පරාජය වූයේද මහින්දගෙන් ගැලවී පැමිණ ඔහුට එරෙහිව ඡන්දය ඉල්ලූ මෛත්‍රීටමය.

දෛවයේ සරදම වන්නේ 2005 මහින්දගේ උපන්දිනයදා මහින්ද දිනද්දී 2015 බණ්ඩාරනායකගේ උපන්දිනයදා මහින්ද පැරදීමය. ඊට පස්සේ මහින්ද යුගය හමාර විය. එහෙත් පුංචි ඡන්දය දිනාගෙන ඔවුන් ආපසු අධිතක්සේරුවකින් සිටී. එහෙම සිටින පොහොට්ටුවට මතක්කර දෙන්නට උදාහරණ කොතෙකුත් තිබේ. 88 කියන්නේ එජාපය බලවත්ම අවදියය. පහෙන් තුනක බලයක් අරගෙන එජාපය ශ්‍රීලනිපය සෝදාපාළු කොට තිබුණේය. ඒ වෙනකොටත් පළාත් සභා ඡන්දය වර්ජනය කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීන්දුකොට තිබිණි. ඒ මදිවට ජවිපෙ ‘පළා බබා අපිට එපා’ කියා පෙළපාළි ගියේය.

1988 ජනාධිපති මැතිවරණයට කල් තියෙද්දී ජේ. ආර්. දේශපාලන අත්හදා බැලීමක් කළේය. ඒ අතුරු මැතිවරණ කිහිපයක් තබා බලය පිරික්සීමෙනි. රත්නපුර අතුරු මැතිවරණ ආවේ ඒ අතරය. එක අතකින් ශ්‍රීලනිප බලකොටුවකි. අනෙක් අතින් ජවිපෙ සංහාර ප්‍රදේශයකි. මැතිවරණය තිබ්බේය. ජේ. ආර්. එළවන සටන අපි පටන් ගන්නේ රත්නපුරෙන්. ‘මිත්‍රවරුනි, ඒ සටනට එකතුවෙන්න’ මැතිනිය කීවේ එහෙමය. එහෙම කී මැතිනියගේ ‘අත’ රත්නපුර දින්නේය. ‘වැඩේ හරි, ජේ ආර් ඉවරයි’ සියලුදෙනා සිතූහ. තමන් අතිශයෝක්තියෙන් සිටින්නේ ආසන අටට වැටුණු එජාපය ඉන් වසර 7කට පසු මැතිවරණ ඉතිහාසයේ දැවැන්තම ජයග්‍රහණය උරුම කළ නායකයා සමඟ බව බොහෝ දෙනාට අමතක විය. ‘ජනාධිපතිවරණෙට අපි එන්නේ තනියම’ මැතිනියගේ උපදේශකයෝ කීවේ එහෙමය. රත්නපුර දිනන්නට තිරේ පිටුපස හයිය දුන් ජවිපෙ පවා ඔවුහු අමතක කළහ. තනියම ජනපති සටනට ආහ. ප්‍රතිවාදියා ප්‍රේමදාසය. උත්තරය තනි අතට කටඋත්තර නැති වීමය. රත්නපුරෙන් උදම් වී අන්තිමට නතර වුණේ අන්ත පරාජයෙනි. මේ කතාව අද තියෙන පොහොට්ටුවටත් කදිමට අදාළය. පොහොට්ටුවේ අය කීවේ ‘අපිට කවුරුත් ලොකු නෑ. අපි පුංචි ඡන්දේ දිනුම්’ කියාය.

මේකට අපූරු උත්තරයක් චම්පික දුන්නේය. ‘ඌව ඡන්දේ තියලා ඉවර වෙලා උදේ හතරහමාරට මහින්ද කතා කළා. බැසිල් ප්‍රසන්ටේෂන් එකක් කළා. පළාත් නවයෙම ප්‍රතිඵල ආවා. සන්ධානය ලක්ෂ 50යි. එජාපය ලක්ෂ 24යි. ජවිපෙ ලක්ෂ තුනහමාරයි. ෆොන්සේකාගේ පක්ෂය තුන් ලක්ෂ හැත්තෑපන්දාහයි. දෙමළ සන්ධානය ලක්ෂ පහයි. මේක බැසිල් කීවම රාජපක්ෂ මහත්තයා කීවා ඉක්මනින් ජනාධිපතිවරණය තියනවා කියලා. පස්සේ මගෙන් මහින්ද මහත්තයා ඇහුවා ‘ඔයත් ගණන් කාරයනේ මොකද කතා නැත්තේ? කියලා ඇහුවා. මම කීවා ඔබ පරාදයි කියලා. එතුමා පුදුම වෙලා ඇහුවා පිස්සුද කියලා. මම කීවා ඔබ බලගතු වෙනසක් නොකළොත් පරාදයි. පළාත් සභා ඡන්දේ දෙන්නේ සීයට 60යි. ජනාධිපතිවරණෙදි සීයට අසූවයි. වැඩි වෙන සීයට විස්ස වෙනසක් පතන අය. දිනන්න ලක්ෂ හැටක් ඕන.’ චම්පික කීවා වගේම මහින්ද පරාජය විය. චම්පික කීව ලක්ෂ විස්ස ගියේ මෛත්‍රීටය. දැන් පොහොට්ටුවට මහින්ද නැත. ඔහු ජනපති සටනේ චරිතයක් නොවේ; ඊළඟට හිටියේ ගෝඨාය. ඔහු දැන් ඉන්නේ දැඩි අවිනිශ්චිත තැනකය.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කරන්නේ ඔය අතරය. ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු පුරවැසියකු වන අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අධිකරණයක නඩු පැවරීමට ලසන්ත වික්‍රමතුංගගේ දියණිය යොමුව ඇත්තේ ඒ අනුවය. මේ අතර ඔහුට එරෙහිව තවත් නඩුවක් ගොනු වී තිබේ. ඒ අන්තර්ජාතික සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සංවිධානය විසිනි. ඒ සංවිධානය කියා සිටියේ දෙමළ ජාතික තරුණයකු වද හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව තම සංවිධානයද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පැවරූ බවය. පෙළගැසෙන කාරණා සියල්ල ගොනුවෙමින් තිබෙන්නේ ‘ගෝඨාභය රාජපක්ෂගේ’ ජනාධිපතිවරණ සිහිනය සසල කරන ලෙසටය.

මේ නඩු හරහා ඔහුට බලපෑමක් නොවන බව සමහරු පැවසුවද සත්‍ය නම් ‘සෙල්ලම පහසු නොවන බවය’. මොන කයිවාරු ගැසුවත් මේ රටේ මිනිස්සුන්ට සංවේදීකමක් තිබේ. කාකි ඇඳුමට මිනිස්සු තවමත් බයය. ගමක පොලිසියක් දානවටවත් අකමැතිය. අදටත් මිනිස්සු ජවිපෙ සැක කරන්නේ ඉතිහාසයේ මතක නිසාය. එහෙව් එකේ ගෝඨා වගේ කෙනෙක් ජනපති කරන්න මේ රටේ මිනිස්සු කොහෙත්ම සූදානම් නැත. “හමුදා කාරයොන්ට මිනිස්සු දේශපාලකයන්ට වඩා ආදරෙයි. හැබැයි රටක් බාර දෙන්න බයයි.” වරක් එහෙම කීවේ මැතිනියයි. වරක් කීර්තිමත් රණශූර ජානක පෙරේරා එජාපයෙන් ඡන්දෙට ආවේය. උතුරු මැදින් පටන් ගන්නකොට එජාපය හිතුවේ ‘රැල්ල’ තමන්ට කියාය. හැබැයි ප්‍රතිඵලය ‘පරාජය’ය.

ඒක පස්සේ ඔප්පු වුණේ රට වෙනුවෙන් ශරීරය පවා දන් දී, 30 වසරක යුද්ධෙ මෙහෙයවපු සරත් ෆොන්සේකා පවා ජනාධිපතිවරණයේදී පරාජය වීමෙනි. එහෙව් වීරයා පරාජය වූවා නම් යුද්ධෙ වෙනුවෙන් සීත කාමරවල සෙල්ලම් කළ ගෝඨා වැන්නෙක් ජනපති කරාවියැයි හිතන එක හීනයක්ය. දැන් පොහොට්ටුව උභතෝකෝටිකයකය. ඊළඟ තේරීම බැසිල්ය. එහෙත් ඔහු තාමත් අමෙරිකන්ය. අනික මහින්ද පැරදුණු වෙලාවේ පැදුරටත් හොරා මත පුරවැසි බිමට දිව්ව කෙනාය. තව විකල්පයක් තිබේ; ඒ චමල්ය. චමල් ගැන දන්නේ හම්බන්තොට පමණය. නාමල්ට වයස නැත; ඉතිරි ශිරන්තිය. එහෙනම් ලාල්කාන්තගේ අනාවැකිය හරියයිද? ඒක කියන්නට දැන්ම කලබල විය යුතු නැත.

මාතෘකා