රටේ අපරාධ බොහොමයකට හේතුව දරුවන්ගේ මනස විකෘති වීම

 ඡායාරූපය:

රටේ අපරාධ බොහොමයකට හේතුව දරුවන්ගේ මනස විකෘති වීම

ඔරොත්තු නොදෙන තරගයක යෙදී‍මෙන් වර්තමානයේ බොහෝ දරුවන්ගේ විවේකී මනස විකෘති වී ඇති බවත් මේ තත්ත්වය කෙරෙහි ගුරුවරුන්, දෙමව්පියන්, ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම සුවිශේෂ අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදී පසුගියදා (27) අධ්‍යාපන අමාත්‍යාංශයත්, AAT Sri Lanka ආයතනයත් එක්ව සංවිධානය කරන ලද ජාතික හා පළාත් පාසල් අතර "හොඳම වාර්ෂික වාර්තාව හා ගිණුම්" තේරීමේ තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය සඳහා එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“රට තුළ බොහෝ අපරාධ, ලිංගික හිංසන, ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට ‍මූලික හේතුව වී ඇත්තේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ තරඟකාරිත්වයයි. රටේ අධ්‍යාපනය තුළින් උගතුන් බිහි කළත්, බුද්ධිමතුන් බිහිකිරීම සිදුවන්නේ නැහැ. කටපාඩම් ශක්තිය ඇති දරුවන් විභාග සමතුන් ලෙස ඉදිරියට යාම ප්‍රමාණවත් නැහැ. දරුවන්ගේ මනස සංවර්ධනය කිරීමට අවශ්‍ය පිටුබලය අප අධ්‍යාපනය හරහා ලබාදිය යුතුයි. මෑතකාලීනව රටේ පාසල් දරුවන් මුල් කරගෙන ඇතිවූ ඛේදවාචක තුළින් තහවුරු වන්නේද දරුවන්ගේ මනස සංවර්ධනය කරගන්නට, ආකල්ප වැඩිදියුණු කරගන්නට, ආවේග පාලනය කරගන්නට පවත්නා නොහැකියාවයි. මේ සම්මාන ප්‍රදානෝත්සවයේ අරමුණ වන්නේ පිළිගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති යොදාගනිමින් පාසල්වල ඵලදායිතාව ඉහළ නැංවීම සහ ඒ තුළින් පාසල් පද්ධතිය තුළ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් පාසල් දිරිගැන්වීමයි. ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන ගිණුම් ප්‍රමිති හා න්‍යායයන් අනුව ගිණුම් වාර්තා සකස් කළ යුතු ආකාරය සම්බන්ධව පාසල් පද්ධතිය දැනුවත් කරන්නටත්, ඒ තුළින් පාසල් සංවර්ධන සමිතිවල විනිවිදභාවය, වගවීම සහ නිරවද්‍යතාව සංවර්ධනය කරගන්නට මේ හරහා පිටුබලයක් සැපයෙන බවත් මම විශ්වාස කරනවා.”

මාතෘකා