නිසි දියුණුවක් ලබා ගැනීමට නම් මිනිස් සම්පතෙන් ප්‍රයෝජන ගත යුතුයි

 ඡායාරූපය:

නිසි දියුණුවක් ලබා ගැනීමට නම් මිනිස් සම්පතෙන් ප්‍රයෝජන ගත යුතුයි

- අගමැති කියයි

යටිතල පහසුකම් හෝ විදුලි බලය හෝ ජලය ආදී පහසුකම් පමණක් ලබාදීම රටකට ප්‍රමාණවත් නොවන බවත් ඒ ඒ ප්‍රදේශවල නිසි දියුණුවක් ලබාගැනීමට නම් මිනිස් සම්පත දියුණු කළ යුතු බවත් දැනුම ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මොණරාගල මහානාම ජාතික පාසලේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් පසුගියදා (07) අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

''ඒ කාලයේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් විශ්ව විද්‍යාලය සඳහා බොහෝ විට තේරී පත්වුණේ කලා පීඨ සඳහා පමණයි. එකල මොණරාගල දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සංඛ්‍යාව අවම මට්ටමක සිටියත් අද වන විට මහානාම ජාතික පාසලෙන් පමණක් විශ්වවිද්‍යාලය සඳහා සිය දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ තත්ත්වයට පත් කර ගැනීමට හැකි වුණේ මේ ප්‍රදේශයේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීම නිසයි.

මෙම දියුණුව අපි තවත් ඉදිරියට ගෙන යා යුතුයි. මේ ප්‍රදේශය නියෝජනය කරන රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමා අධ්‍යාපනය දියුණු කිරීමට විශේෂ උනන්දුවක් ගන්නවා. එතුමා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් හොඳ අධ්‍යාපනයක් ලබාගත් පුද්ගලයෙක් නිසා අධ්‍යාපනයේ වටිනාකම හොඳින් හඳුනනවා. ජාතික වශයෙන් විශාල වැඩ කොටසක් සහිත අමාත්‍ය ධුරයක් භාරගෙන තිබුණත් මේ ප්‍රදේශය වෙනුවෙන් එතුමාගෙන් විශාල සේවයක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.

අද වන විට අධ්‍යාපනය පවතින්නේ ඉතා තරඟකාරී පසුබිමකයි. උසස්පෙළ විභාගය සමත්වීමම තරගකාරීත්වය ලෙස හැඳින්විය නොහැකියි. වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන් ද අධ්‍යාපනය තරඟකාරී තත්ත්වයට පැමිණ තිබෙනවා. සෑම රටක්ම තම රටේ අධ්‍යාපන මට්ටම දියුණු කිරීමට උත්සාහ ගන්නවා. මෙවැනි තත්ත්වයක් මීට පෙර දකින්නට තිබුනේ නැහැ. මිනිස් ශ්‍රමය ප්‍රධාන සම්පතක් කර ගත් ශ්‍රී ලංකාව වැනි රටක අධ්‍යාපනය දියුණු කිරීමට වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය බඩු භාණ්ඩ ආනයනය කිරීමටවත් අවශ්‍ය මුදල් රට තුළ නොතිබූ නිසා එදා ඒ ආකාරයට ණය ගැනීමට සිදුවුණා. 2015 වන විට ණය ගෙවීමටවත් රටේ ආදායම ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ පාලන ක්‍රමය තවදුරටත් ඒ ආකාරයටම පැවතුණා නම් ජනතාවට සිදුවන්නේ සතියකට දින දෙකක් බත් නොකා සිටීමටයි.

ශ්‍රී ලංකාව අපනයන ආර්ථිකය ආරම්භ කළේ තේ වගාව හරහායි. ඒ සඳහා මාසිකව ඉතා අඩු වැටුපකට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වීමට එදා කටයුතු කළා. ඉන්පසුව 1977 දී ඇඟලුම් කර්මාන්ත ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාව අපනයන කටයුතු තවදුරටත් පුළුල් කළා. එකළ යුරෝපීය කර්මාන්ත ශාලා තරඟකාරී වෙළෙඳපොළට පිවීසීමේ අරමුණින් ආසියාව වෙත පැමිණි අතර එහිදී එම ආයෝජන ශ්‍රී ලංකාවට වෙත ද ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ කාලයේ විදේශ ආයෝජන වැඩි වශයෙන් ගලා ආ දකුණු ආසියානු කලාපයේ තිබූ එකම රට බවට පත් වුණේ ශ්‍රී ලංකාවයි.

මේ වන විට දකුණු ආසියාවේ සියලූම රටවල් විදේශ ආයෝජන සඳහා වැඩි අවස්ථා සලසා දී තිබෙනවා. මිනිස් ශ්‍රමය සඳහා වර්තමානයේ අවම වැටුප් සහ දීමනා ලබාදෙන රටවල් ලෙස සැලකෙන්නේ බංගලාදේශය සහ මියන්මාරයයි. එම නිසා අවම වැටුප් සහ දීමනා ලබාදෙමින් කර්මාන්තශාලා ආරම්භ කිරීමට කැමති ආයෝජකයන්ට බංගලාදේශයේ හෝ මියන්මාරයේ තම කර්මාන්තශාලා ආරම්භ කළ හැකියි.

අද වන විට ඊශ්‍රායලය පළතුරු සහ එළවළු අපනයනය අතින් අපට වඩා ඉදිරියට පැමිණ සිටිනවා. එමෙන්ම සිංගප්පූරුව ශ්‍රී ලංකාවට වඩා මල් අපනයනය අතින් ඉදිරියෙන් සිටිනවා. ඔවුන්ට ස්වාභාවික සම්පත් නොමැති වුණත් කෙසේ හෝ තාක්ෂණය උපයෝගි කර ගනිමින් ඉදිරියට පැමිණ තිබෙනවා. එසේ නම් අපට අවශ්‍ය වන්නේ තාක්ෂණය පදනම් කරගත් කර්මාන්ත බව කිව යුතුයි.

මේ අනුව එවැනි අපනයන කලාපයක් බියගම - හේනෙගම ආශ්‍රිතව ඉදිකිරීමට අපි සැලසුම් කර තිබෙනවා. එවැනි කලාප සඳහා ශ්‍රමිකයන් පුහුණු කිරීම වෙනුවෙන් පුහුණු කිරීමේ ආයතන අවශ්‍ය වනවා. ජනතාවටත් තාක්ෂණය උපයෝගි කර ගනිමින් කුඩා පරිමාණයෙන් ව්‍යාපාර ඇරඹිමට හැකියාව තිබෙනවා. තම මුදල් යොදවා ආරම්භ කරන එවැනි ව්‍යාපාර සාර්ථක වුවහොත් ෆේස්බුක් ආයතනය මෙන් විශාල ලෙස මුදල් උපයාගැනීමට හැකියාව තිබෙනවා. වට්ස්ඇප්, ෆේස්බුක් වැනි ව්‍යාපාර ආරම්භ වුණේ ද ඒ ආකාරයට කුඩා පරිමාණයෙනුයි. මිනිස් සම්පත ඒ සඳහා පුහුණු කළ යුතුයි. එය පාසල් අධ්‍යාපනය තුළින් ආරම්භ කළ යුතු වෙනවා.

රුහුණු සංවර්ධන වැඩසටහන යටතේ මේ වසර අවසන් වන විට චයිනා මර්චන්ට් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ හවුල් ව්‍යාපාරයක් ලෙස හම්බන්තොට වරාය ක්‍රියාත්මක වෙනවා. මත්තල ගුවන්තොටුපළ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඉන්දීය සමාගමක් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. වෙළඳ කලාප ඇතිකිරීමට සැලසුම් කර තිබෙනවා. මේ සියල්ල සඳහා පුහුණු ශ්‍රමික දැනුම අවශ්‍යයි. විද්‍යා, ගණිත, කළමනාකරණ දැනුම සහිත පුහුණු ශ්‍රමිකයන් අප බිහි කළ යුතුයි. ඒ වැඩකටයුතු ආරම්භ කළ යුත්තේ පාසල් මූලික කරගෙනයි.

හම්බන්තොට, මොණරාගල, රත්නපුර, බණ්ඩාරවෙල ආදී ප්‍රදේශවල ජාතික සහ අනෙක් පාසල් හරහා අප එම දැනුම ශිෂ්‍යයන්ට ලබාදීම ආරම්භ කරනවා. පරිගණක අධ්‍යාපනය දියුණු කිරීම ද ඊට ඇතුළත්. මේ සියල්ලම සඳහා අධ්‍යාපන ඇමතිතුමා විශේෂ අවධානයකින් කටයුතු කරනවා. මෙය ආරම්භයක් පමණයි.

ඒ සම්බන්ධයෙන් මොණරාගල, හම්බන්තොට නියෝජනය කරන අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි මම දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමාට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම මේ ප්‍රදේශවල උසස් අධ්‍යාපන ආයතන ආරම්භ කළ හැක්කේ කෙසේදැයි උසස් අධ්‍යාපන ඇමතිතුමා සමඟ සාකච්ඡා කළ යුතුයි. රාජ්‍ය හෝ වෙනත් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතන හෝ සම්බන්ධ කරගනිමින් මේ ප්‍රදේශවල තරුණ තරුණියන්ට දැනුම ලබාදිය යුතුයි. වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීමේ දී වියදම් වෙනුවෙන් සහනදායි ණය ලබාදීමද සිදුකරනවා. වෘත්තීය අධ්‍යාපනය ලබා ආයතනවලින් පිටවන ශිෂ්‍යයන්ට අනිවාර්ය ලෙස රැකියා ලැබෙනවා.

1980 දී අධ්‍යාපන ඇමති ලෙස පත්වූ විට වසර කිහිපයක්ම මේ ප්‍රදේශයේ පාසල් වෙත අවධානය යොමු කිරීමට මට අවස්ථාව ලැබුණා. මෙම පාසල අද මෙවැනි දියුණුවක් අත්කරගෙන තිබීම පිළිබඳව මම ඉතා සතුටට පත්වෙනවා. එම ලැබූ දියුණුවෙන් අප සම්පූර්ණ ප්‍රයෝජනය ලබාගත යුතුයි. එම නිසා මේ පාසලට අඩුපාඩුවක්ව තිබෙන උසස් පෙළ විද්‍යාගාරය ඔබේ පාසලට ලබාදෙන බව මම මේ මොහොතේ ප්‍රකාශ කර සිටිනවා. "

මාතෘකා