මාධ්‍යයේ ඇතැම් අසාර්ථක උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා

 ඡායාරූපය:

 මාධ්‍යයේ ඇතැම් අසාර්ථක උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා

 - ජනපති කියයි

මාධ්‍ය ඇතැම් වෙලාවට ගන්න ඇතැම් අසාර්ථක උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරන බවත් රටේ යහපත් දේ සංවර්ධනය වැනි වඩා වැදගත් දේ සඳහා ප්‍රමුඛත්වයක් නොදී රටට අවාසි සහගත, රටේ සංවර්ධනයට අවාසි සහගත ගැටුම් පමණක් මාධ්‍යවල පෙන්වන බවත් මාධ්‍ය මඟින් පෙන්වන අන්දමේ අස්ථාවරත්වයක් රටට සිදු වී නොමැති බවත් ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වැලිකන්ද නව ගොවි ජන සේවා මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවේදී එම උත්සව අවස්ථාවට පැමිණ පිරිස අමතමින් පසුගියදා (09) ඔහු මේ බව පැවසීය.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

"වැලිකන්ද ප්‍රදේශයේ ගොවිජනතාව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් අතරේ ඉතාම දුෂ්කර ජීවිත ගතකරන අය. මේ ගොවිජනතාවගේ ප්‍රශ්න දෙස බැලූ විට ඔවුන්ගේ ජීවන රටාව, ආර්ථික පසුබිම, ජීවත්වීමට ඇති අභියෝග සහ ගැටලු එක් එක් ප්‍රදේශවල වෙනස්. සමස්තයක් විදියට ගොවිජනතාවගේ ප්‍රශ්න සියල්ලම එකට කතා කරනවා වගේම ප්‍රාදේශීය වශයෙන් කාලගුණික, දේශගුණික තත්ත්වයන් තුළත් වෙනස්වීම් රාශියක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගොවියෙකුගේ තිබෙන ප්‍රශ්නවලට වඩා වෙනස් පොළොන්නරුව ගොවියෙකුගේ ප්‍රශ්න. අනුරාධපුර දිස්ත්‍රික්කවල ගොවීන්ගේ ප්‍රශ්න. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ, මින්නේරි ව්‍යාපාරයේ, කවුඩුල්ල ව්‍යපාරයේ ගොවීන්ට තිබෙන ප්‍රශ්නවලට වඩා වෙනස් වැලිකන්දේ මහවැලි ප්‍රදේශවල සිටින ගොවීන්ගේ ප්‍රශ්න සහ ගැටලු.

ගොවි මහත්වරු වෙනුවෙන් මුල්ම කතාව කළ ගොවි මහත්මයා මා ගැන වර්ණනා කර අවසානයේ තිබෙන ප්‍රශ්න දෙක ඉදිරිපත් කළා. ඒ ප්‍රශ්න දෙක ඉදිරිපත් කිරීම ගැන මම විශේෂයෙන් සතුටු වෙනවා. එකක් වල් අලි ප්‍රශ්නය. අනෙක් එක වැලිකන්ද ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය. මේ ප්‍රශ්න දෙකටම මේ වන විට මූලික විසඳුම්දී තිබෙනවා. අලි - මිනිස් ගැටුමෙන් වාර්ෂිකව මිය යන වන අලි සංඛ්‍යාව මෙන්ම මිනිස් ජීවිත සැලකිල්ලට ගෙන අපි අලුත් වැඩපිළිවෙළ සාදා තිබෙන්නේ. මා විශ්වාස කරනවා බොහෝ දුරට දැනට තිබෙන අසීරුතා ඒ මඟින් විසඳාගත හැකි වෙයි කියා.

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ සංවර්ධන කටයුතුවලට අදාළව මේ වන විට නිමකළ ව්‍යාපෘති රාශියක් තිබෙනවා. ඒවා ලබන මස 1,2 හා 3 යන දිනවල විවෘත කිරීමට නියමිතයි. අද උදේ පොළොන්නරුව කච්චේරියේදී පැවැත්වූ රැස්වීමේදී ඒ පිළිබඳව විධිමත් වැඩපිළිවෙළක් සකස් කළා. පසුගිය අවුරුදු තුනහමාර තුළ පාසල්, රෝහල්, පන්සල්, පානීය ජලය, මාර්ග, කෘෂිකර්මාන්තය, වාරී මාර්ග, ගොවිජන සේවා මේ විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය සඳහා වැය කරපු මුදලවලින් ව්‍යාපෘති ආරම්භ කරලා සීයකට වැඩි ගණනක් මේ වන විට විවෘත කර තිබෙනවා. තවත් විශාල ප්‍රමාණයක වැඩ අවසන් කරලා තිබෙනවා. ව්‍යාපෘති 168 ක් තිබෙනවා විවෘත කරන්න.

මේ රටේ කිසිම කාලයක, කිසිම දිස්ත්‍රික්කයක මේ වැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වී නැහැ. සමහර ප්‍රදේශවල යෝධ ව්‍යාපෘති ආරම්භ කරලා තිබෙනවා. නමුත් මීට පෙර ගම්වල ඒ යෝධ ව්‍යාපෘතිවල ප්‍රතිඵල ලබාගැනීම ඉතාමත් අසීරුයි. මිනිසුන්ගේ දෛනික ජීවිතයේ දුක් කඳුළු සමග. මේ රටේ වැඩිපුරම දුක් විඳින්නේ ගොවි ජනතාව. ඔවුන් අතර වඩාත් දුෂ්කරතාවයන්ට පත්වුණ ගොවීන් විශාල පිරිසක් ඉන්නවා. මගේ කතාවේදී මම මුලින්ම කිව්වේ ගොවිජනතාවගේ ප්‍රශ්නවලදීත් ඒ ප්‍රශ්න වර්ග කරන්න පුළුවන්. ශ්‍රේණිගත කරන්න පුළුවන්. ඒවායේ බොහෝ වෙනස්කම් තිබෙනවා. අපේ සියලු ගොවීන් බොහෝ දුෂ්කරතා මැද ජීවත්වන පිරිසක්. ඔබලා ජීවිතයේ වඩා සැපයක්, සතුටක් විඳපු අය නෙමේ. ඔබලාගේ ප්‍රාර්ථනාව ඔබලාගේ දුෂ්කර ජීවිතය දරුවන්ට අත්වන්න ඉඩ නොදී, සංවර්ධිත ආර්ථිකයක් සමග තමන්ගේ දරුවන්ගේ හෙට දවස සාර්ථක කරන්නේ කොහොමද කියන කාරණාව.

පොළොන්නරුව නගරයේ වකුගඩු රෝහල, අපි මීට මාස ගණනකට කලින් තමයි උත්සවයක් තබා එහි කටයුතු මූලික කටයුතු ආරම්භ කළේ. අපි ලබන 20 වනදා එහි වැඩ ආරම්භ කරනවා. සමහර අය හිතනවා මේ පිටරටින් ගන්න සල්ලි එකපාරටම ලැබෙනවා කියලා. මම ජනාධිපති වුණාට පසු 2015 දී චීනය සමග පැවැත්වූ සාකච්ඡාවලින් පසුව තමයි මේ යෝජනා සියල්ලම එන්නේ ඒ වගේ. පොළොන්නරු, නැගෙනහිර, වැලිකන්ද පානීය ජල යෝජනා ක්‍රමය එන්නෙත් දැන්. වකුගඩු රෝහලට මාස 06ක ට කලින් මුල්ගල තියලා, එකපාරටම පේන්න භෞතික ප්‍රගතියක් පේන්න නැතිවුණාම, සමහර ප්‍රතිවාදීන් කියනවා කියලා මට ආරංචි වුණා මේක කෙරෙන වැඩක් නෙමේ කියලා. නමුත් චීනයේ ටෙන්ඩර් ක්‍රියාවලිය අපේ වගේ නෙමේ. අපේ රටේ නම් ඉදිකිරීමක් ආරම්භ කළ විට ඒ ටෙන්ඩර් එක විවෘත කරලා ඒ එක්කම වැඩ බාරදෙනවා. චීන රජයෙන් ලබාදෙන රෝහල ටෙන්ඩර් කැඳවලා, සමාගම් කැඳවලා තෝරාගත්තාට පසුව මාස 03 ක් දෙනවා විරෝධතා ඉදිරිපත් කරන්න. ඒ අනුව තමයි ඒ සමාගම සති දෙකකට කලින් එහි කණ්ඩායමක් මෙරටට පැමිණියේ. ඒ අනුව මේ මාසයේ ඉදිකිරීම් කටයුතු පටන් ගන්නවා. වැලිකන්ද පානීය ජල යෝජනා ක්‍රමයත් එහෙමයි. වසර ගණනක් යනවා පිටරටකින් යමක් අරගෙන එහි ප්‍රතිඵලය ඇහැට පේන්න.

තමුන්නාන්සේලාට අපිට මතකයි 2012 වසරේ මේ රටේ ලොකු නියඟයක් ආවා. නියඟයෙන් පීඩාවට පත් වෙලා ඉන්න ජනතාවට වන්දි දෙනවා කිව්වා. පොහොර ටික නිකන් දෙනවා කිව්වා. හාන්න සල්ලි දෙනවා කියලා. මුදල් අමත්‍යාංශ පත්තර පිටු ගණන් දැම්මා නියඟයෙන් පීඩාවිඳින ජනතාවට දෙන සහන කියලා. එකක් දුන්නේ නැහැ. ඡන්දය ඉවර වෙලා ඒ කිසි දෙයක් ලබා දුන්නේ නැහැ.

මම ගිය අවුරුද්දේ මේ නියඟයෙන් පීඩාවිඳින ඉතාම දුක්විඳින පීඩාවට පත් ජනතාව බලන්න අනුරාධපුරයට ගියා. මම කිසි කෙනෙකුට කියන්නේ නැතුව ගියේ. මම දිසාපතිතුමාට කිව්වේත් නැහැ, වෙන නිලධාරීන්ට කිව්වෙත් නැහැ. මම කාටවත් කියන්නේ නැතුව ඒ ගම්මානවලට ගියා. ඒ ජනතාව මම හමු වුණා. ළඟට ඇවිත් සමහර අය කනට කරලා කීවා සර් අපිට කන්න නැහැ කිව්වා. මම ඒ වෙලාවේ එතැන ඉඳලා ජංගම දුරකථනයෙන් කතා කරලා මුදල් අමාත්‍යාංශයටත්, අගමැතිතුමාත් කිව්වා අපි ජනතාවට වහාම නියං සහන ලබා දෙන්න පටන් ගන්න අවශ්‍යයි කියලා. අපි මේ වන විට කෝටි දහස් ගණනක් දීලා තියෙනවා. කෘෂිකර්ම අමැතිතුමා කිව්වා කිසිම ආණ්ඩුවක් මෙච්චර දීලා නැහැ. නියඟය වෙනුවෙන්, ආපදා වෙනුවෙන්. නමුත් අපි ඒ දේ කරලා තිබෙනවා.

සමහර අය අපෙන් අහනවා අපි මොනවද කෙරුවේ, මොනවද කරන්නේ කියලා අහනවා. ඔය හවසට රූපවාහිනිය බැලුවට අපි කරපු වැඩ පෙන්වන්නේ නැහැ. පෙන්වන්න පුළුවන් ඔය වැඩ කරන තැන්වලට ආවාහම. මොරගහකන්ද ඇවිත් බලන්න. කළු ගඟ කටයුතු ඇවිත් බලන්න. වයඹ මහ ඇළ වැඩ පටන් අරන් තිබෙනවා. උතුරු මහ ඇළ, ඉහළ ඇළහැර ඇළ වැඩ පටන් අරන් තියෙනවා. වැව් 2400 පටන් අරන් තියෙනවා. කෝටි 22000 ක් මේ සඳහා වැය වෙනවා. තමුන්නාන්සේලාට වැඩිපුර පේන්නේ කනට ඇහෙන්නේ පට්ට පල් බොරු විතරයි. විද්‍යුත් මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය ගැටුම් විතරයි පෙන්වන්නේ. රටේ යහපතට ආණ්ඩුවක් විදියට කරන දේවල් ඒවා පෙන්වන්නේ නැහැ. ඒවා කියන්නේ නැහැ. මාධ්‍යවල අයටත් සනීපයක් තියෙන්නේ අවුල් පෙන්නුවහම තමයි. මේවා පෙන්නුවහම තමයි වැඩිපුර මේවා බලන්නේ. නමුත් ඒ මාධ්‍යයෙන් පෙන්වන විදියට ඔය අවුල් ජනතාව පිළිගන්නේ නැහැ.

ඒකට ඕනතරම් අත්දැකීම් තියෙනවා. මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච අවස්ථාවේ මගේ පැත්තට හිටියේ සිරස ආයතනය විතරයි. වෙන එකක් වත් ජනාධිපති ඡන්දයේදී හිටියේ නැහැ. වෙන එකක්වත් මගේ පැත්තට හිටියේ නැහැ. නමුත් රටේ මහජනයා ඒ රූපවාහිනිවල පෙන්වපු විකාර, තිත්ත කුණු හරුප, චරිත ඝාතන ඒවා එකක් වත් සැලකුවේ නැහැ.

ඒ නිසා මාධ්‍ය ඇතැම් වෙලාවට ගන්න ඇතැම් අසාර්ථක උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. මෙහෙම කියන්නේ රටේ යහපත් දේ සංවර්ධනය වැනි වඩා වැදගත් දේ සඳහා ප්‍රමුඛත්වයක් නොදී. රටට අවාසි සහගත, රටේ සංවර්ධනයට අවාසිසහගත ගැටුම් ඒවා පමණක් මාධ්‍යවල පෙන්වන නිසායි. තමුන්නාන්සේලා ගෙදර වෙලා හවසට රූපවාහිනිය බලාන ඉන්නේ අප්පචිච්යේ රටට වෙන දෙයක් කියලා. ඔය රූපවාහිනිවල පෙන්වන අන්දමේ අස්ථාවරත්වයක් මේ රටේ වෙලා නැහැ."

මාතෘකා

ජනප්‍රිය ලිපි