අභියෝග ජයගැනීමට පළාත් පාලනය දේශපාලනික මෙන්ම මූල්‍යමය වශයෙන් බලගැන්වීම කළ යුතුයි

 ඡායාරූපය:

අභියෝග ජයගැනීමට පළාත් පාලනය දේශපාලනික මෙන්ම මූල්‍යමය වශයෙන් බලගැන්වීම කළ යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

ගෝලීය වටිනාකම් දාමයන් සමග සහසම්බන්ධ වීම, සියලු සමාජ කොටස් අන්තර්ගත කරගැනීම හා පැරණි සහ නවීන පාරිසරික පද්ධති සේවාවන් වෙත ළං වීම ඔස්සේ ජනජීවී හා තිරසර නගර නිර්මාණ අභියෝගයට මුහුණ දිය හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) සිංගප්පූරුවේදී ආරම්භ වූ 6 වන ජගත් පුරවර සමුළුව, ජාත්‍යන්තර ජල සතිය හා පිරිසිදු පරිසර සමුළුව යන තුන් ඈඳුතු සමුළුවන්හි ආරම්භක සැසිවාරයේ ප්‍රධාන දේශනය පවත්වමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“අපි අද ජීවත්වන්නේ මානව ක්‍රියාකාරකම් මත හැඩගැසුණු යුගයක. එවැනි දැවැන්ත බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකමක් වන්නේ ග්‍රාමීය ජනතාව විශාල වශයෙන් නගර කරා සංක්‍රමණය වීමයි. ඒ නිසා නාගරීකරණය සඳහා මානව ක්‍රියාකාරීත්වය මූලික පදනමක් වෙනවා. 2017 වසරේ ලෝක බැංකු දත්තවලට අනුව, ලෝක ජනගහණයෙන් 54.7% ක් එනම් බිලියන 4.1 ක ජනතාවක් නාගරික ප්‍රදේශවල වාසය කරනවා.

නගරවලට ජනතාව ඇදී ඒම මොනතරම් ශීඝ්‍රයෙන් සිදුවුණාද කියනවා නම් එහි ප්‍රතිඵලයක් ලෙස, දකුණු සහ ගිණිකොණදිග ආසියාව ආශ්‍රිත නගර සැලසුම් රහිතව අයාලේ ව්‍යාප්ත වෙන්නට පටන් ගත්තා. මෙහි අනිසි ප්‍රතිඵල ලෙස නගරයන්හි අවහිරතා සහ තදබදවීම් ඇති වුණා. වැඩි වන ජනගහණයට අවශ්‍ය පරිදි යටිතල පහසුකම් ඉඩම්, මූලික සේවාවන්, නිවාස, පරිසර අවශ්‍යතා සපුරාලීම අභියෝගයක් වුණා. මේ නිසා බහුතරයක් එකම ස්ථානයකට ඒකරාශී වීමේ වාසි සහ ප්‍රතිලාභ එක් අතකින් ලැබෙද්දී, මේ නව අභියෝගයන් හමුවේ නාගරිකයන්ගේ ජීවන තත්ත්වය පහළ වැටුණා. සනීපාරක්ෂාව, ප්‍රවාහනය හා සුදුසු නිවාස ලබා ගැනීමේ අවකාශ ඇහිරුණා. අපිරිසිදු වාතය ආග්‍රහණය කරමින්, දූෂිත ජලය පානය කරමින් ජීවත්වීමට ජනතාවට සිදු වුණා. මේ ඌණතා හේතු කොටගෙන ඔවුන් ස්වාභාවික ව්‍යසන, කාලගුණික විපර්යාස මෙන්ම නොයෙකුත් වසංගතවලට ගොදුරු වීමෙන් ජීවිත අවදානමකට මුහුණ දුන්නා.

සිය ජාතික ආර්ථිකය ගෝලීය අගය හා සැපයුම් ජාලයන් සමග සම්බන්ධ කිරීමෙහිලා, ආසියානු නගර කේන්ද්‍රයන් පෙරමුණ ගෙන තිබෙනවා. ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ වීමේ මූලික සාධකය වන්නේ නාගරික ප්‍රදේශයන්හි ඇති දැවැන්ත යටිතල පහසුකම් ජාලයයි.

අපගේ ප්‍රයත්නයේ වැදගත් අංගයක් වන්නේ බස්නාහිර මහපුරවරය හා ප්‍රධාන නාගරික කොරිඩෝර දෙකයි. මීට මිලියන 9 ක ජනගහනයක් පදනම් වෙනවා. කොළඹ හා හම්බන්තොට වරාය වැනි දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා. කොළඹ වරාය අසබඩ මුහුද ගොඩ කර ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් ඉදිකෙරෙනවා. කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැපයෙන ආර්ථික කලාප හතරක්ද නිර්මාණය කෙරෙනවා.

ඒ වාගේම නාගරික කලාප දෙකක් පුළුල් කරනවා. එකක් මහනුවර දක්වා දිවෙන කිලෝමීටර් 134 දිගින් යුතු මධ්‍යම අධිවේගී මාර්ගයයි. ගාල්ල හරහා හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ වෙත සම්බන්ධ වෙන කිලෝමීටර 241 ක දිගින් යුතු දක්ෂිණ අධිවේගී මාර්ගයයි. දක්ෂිණ අධිවේගී මාර්ග කලාපයේ විශාල පරිසර හිතකාමී සංචාරක නිකේතන තුනක් ඉදි වෙන්නේ ගාලු කොටුව සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට අමතරවයි. හම්බන්තොට සංවර්ධනය සුබානා ජුරොං ආයතනය සැලසුම් කරනවා.

නගර සහ මහපුරවර පුද්ගලික අංශයේ මූලිකත්වය ගත් ධන සම්පත් නිර්මාණය කරලීමේ පසුබිමක් සේ සැලකුණත්, මේ ආර්ථික ක්‍රියාදාමය බොහෝ අවස්ථාවලදී කාන්තා, වැඩිහිටි, ළමා, තරුණ හා විශේෂ අවශ්‍යතා සහිත යන සමාජ කොටස් වල අදහස් හා ඕනෑ එපාකම්වලින් තොරව සැකසී තියෙනවා. ප්‍රතිසංවර්ධනය, ප්‍රතිස්ථානගත කිරීම හා ස්ථාපනය. නිසි අයුරින් භාවිත කර නැති නාගරික ඉඩම් උසස් මට්ටමේ නිවාස, වාණිජ හා සේවා අවශ්‍යතා සඳහා ප්‍රජා සහභාගීත්වය ඔස්සේ සංවර්ධනය කිරීම ප්‍රතිසංවර්ධනය යටතේ සිදු කෙරෙනවා. අපේ නගරයන්ට හුදෙකලාව ඉදිරියට යා නොහැකියි. පාරිසරික පද්ධතියන්හි දායකත්වය ලබා ගත හැකි ප්‍රදේශ ඒ ඒ නගරයන් සතු විය යුතුයි. ශ්‍රී ලංකාවේ පාරිසරික පද්ධතීන් සලකා බැලීමේ දී වඩාත් වැදගත් සාධකයක් වන්නේ ජලයයි. අතීත රාජධානීන්ට එල්ල වූ අභියෝගය නම් මෝසම් වර්ෂාවෙන් ලැබෙන මහා ජල කඳ කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්නයි. එම ජලය කෘත්‍රිම පොකුණු හා මිනිස් ශ්‍රමයෙන් නිර්මාණිත ජලාශවල රැස්කරගනු ලැබුවේ ඔවුන්ගේ පානීය හා කෘෂි අවශ්‍යතා සඳහායි. මේ වාරි පද්ධතිය අදත් ප්‍රයෝජනයට ගත හැකියි. පසුගිය කාලයේ ගෝලීය දේශගුණ වෙනස්කම් නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය අඩු වී තියෙනවා. ස්වාභාවික ආපදා තත්වයන් ඉහළ යමින් තියෙනවා. නිරිතදිග ප්‍රදේශයන්හි ජනගහණ, කාර්මීකරණ හා නාගරීකරණ වර්ධනය නිසා මේ තත්වය තව තවත් වර්ධනය වී තියෙනවා. ප්‍රතිඵලය අනතුරුදායකයි. නිරන්තර ගං වතුර හා නායයෑම් නිසා ජීවිත, ආදායම් මාර්ග හා නිවාස දේපල විනාශ වෙනවා. ජලය සතුරෙක් බවට පත් වෙලා. ජල කළමනාකරණය අංශයෙන් සිංගප්පූරුව ඉදිරියෙන්ම සිටිනවා. අපජලය පිරිසිදු කරලීමේ හා මුහුදු ජලය පානීය ජලය බවට පත් කරලීමේ කාර්යයන් සඳහා ආයෝජනය කරලීම ඔස්සේ තිරසර පාරිසරික පද්ධති සේවාවන් සඳහා පෙළඹවීම් ඇති කෙරෙනවා. ඒ නිසා ලෝක නායකයින් මෙවැනි නගරයන්හි සාර්ථකභාවයන් හා අසාර්ථකභාවයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

ශ්‍රී ලංකාව හෝ වෙනත් ඕනෑම රටක් සඳහා මෙම අභියෝග ජයගැනීමට නම් එම රටේ පළාත් පාලනය දේශපාලනික මෙන්ම මූල්‍යමය වශයෙන් බලගැන්වීම කළ යුතුයි. මහා නගර කළමනාකරණය කිරීමේ දී බලපාන ප්‍රබලම ගැටලුව නම් ඔවුනට විවිධ මට්ටම්වල දී ආණ්ඩු සහ දේශීය බලධාරීන් සමග කටයුතු කිරීමට සිදුවීමයි. මධ්‍යම රජය සහ පළාත් සභා අතර, බලය බෙදන අවධිය වන විට මහා නගර හෝ ගෝලීය සම්බන්ධතාව යන සංකල්ප පිළිබඳව අදහසක්වත් ඔවුනට තිබුණේ නැහැ. නමුත් අද බලය ක්‍රියාත්මක කිරීමේ දී සම්පූර්ණයෙන්ම වෙනත් පරිසරයක දී සිදු කළ යුතුව තිබෙනවා. එම නිසා අපගේ පළාත් පාලන ව්‍යූහය පිළිබඳ නැවත සිතා බැලීම අත්‍යවශ්‍ය වෙනවා.

මෙම සාම්ප්‍රාදායික අභියෝගවලට මුහුණදෙමින් සිටින විට 21 වැනි ශත වර්ෂයේ මානව ක්‍රියාකාරීත්වය සේ සැලකෙන නාගරීකරණයේ නව ප්‍රවණතා පිළිබඳව දැනුවත්වීම වැදගත් වනවා. ඉහළ ජනගහනයක් සහිතව ජීවත්වීමට ලැබීම පුළුල් මානව සම්බන්ධතා සඳහා හොඳ අවස්ථාවක්. කෙසේ වෙතත් මෑත කාලීනව ඇති වූ නව ප්‍රවණතාවක් නිසා මානව සන්නිවේදනය සම්පූර්ණයෙන්ම පාහේ යටපත් වුණා. තොරතුරු ග්‍රහණය සඳහා තාක්‍ෂණික සන්නිවේදන උපකරණ භාවිතය, තොරතුරු සන්නිවේදනය හා ලබා ගැනීම සඳහා නව පරම්පරාවේ අධිවේගී අන්තර්ජාල පහසුකම් භාවිත කිරීම, දත්ත විශාල වශයෙන් භාවිත කරමින් තීන්දු ගැනීම උදෙසා නිර්මාපිත බුද්ධි තොරතුරු ලබා ගැනීම ආදීය අද මිනිසුන් අතර සිදු කෙරෙන්නේ මානව සබඳතා මත නොවෙයි. මෙවැනි අංග බිලියන 35 ක් පමණ අද අන්තර්ජාලය හා සම්බන්ධයි. ලෝක ප්‍රකට තොරතුරු තාක්ෂණ ආයතනයක් වූ සිස්කෝ සිස්ටම්ස් පවසන්නේ 2020 වන විට මේ ප්‍රමාණය බිලියන 50 දක්වා ඉහළ නැංවෙන බවයි. එය අන්තර් ජාලය හා බැඳුණු පුද්ගල ප්‍රමාණයට වඩා වැඩියි. අද අන්තර්ජාලයේ ඇප්ස් බිලියන 25 ක් භාවිත කරන පුද්ගල සංඛ්‍යාව බිලියන 4 යි.

අපි අද ජීවත් වන ආකාරයට මෙන්ම නගර පරිපාලනය කරන ආකාරයට ද මෙමගින් බලපෑම් එල්ල වෙනවා. අපි සුහුරු වීදි ලාම්පු උදාහරණයකට ගනිමු. 2015 දී නොර්ත් ඊස්ට් ආයතනය කරන ලද අධ්‍යයනයකට අනුව 2015 වෙද්දී ලොව පුරා නගරවල එල්.ඊ.ඩී සහ සුහුරු වීදි ලාම්පු සවි කිරීම සඳහා ඩොලර් බිලියන 64 ක් ආයෝජනය කරනු ඇතැයි තක්සේරු කොට තිබෙනවා. සංවේදක, සන්නිවේදන හා විශ්ලේෂක මෘදුකාංග සමග මේ වීදි ලාම්පු ක්‍රමවේදය ඉතා සුහුරු තලයකට පත් වෙනවා.

ඉතින් මෙම සම්මන්ත්‍රණය වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් ම මගේ කතාව අවසන් කරන්න මම කැමැතියි. නිර්මාපිත බුද්ධිය හා අන්තර්ජාල අංග පදනම් කරගත් සුපිරි වේගවත් සම්බන්ධතාවන් මානුෂීය සුරක්‍ෂිතභාවය හා සුබ සාධනය උපරිම තලයකට නැංවීමටත්, සුහුරු, ආරක්‍ෂිත ජනජීවී හා තිරසර නගර සංවර්ධනය සඳහාත් භාවිත කරන්නේ කෙසේද?” යනුයෙන් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය.

මාතෘකා