තාක්ෂණික දියුණුව සමඟ මිනිස්කමද ආරක්්ෂා කරගත යුතුයි

 ඡායාරූපය:

තාක්ෂණික දියුණුව සමඟ මිනිස්කමද ආරක්්ෂා කරගත යුතුයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

පසුගිය අවුරුදු තුනක කාලය තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, වාරිමාර්ග ක්ෂේත්‍රය හා ආගමික ස්ථාන සංවර්ධනය වැනි ප්‍රධාන අංශ කීපයක් සඳහා තමන් ප්‍රමුඛත්වය දී තිබෙන බවත්, චීන රජයේ ආධාර යටතේ රුපියල් කෝටි 1500ක් වැය කරමින් මේ වනවිට වකුගඩු රෝගීන් සඳහා ජාතික වකුගඩු රෝහල ඉදිවෙමින් පවතින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (08) පොළොන්නරුව, පුලස්තිගම ශ්‍රී ශාන්ති නිකේතනාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද රන්කොත් මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“කාලයකට පසුව ඔබේ ගම්මානයට පැමිණීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා. කෑගලුගම, සෝමපුර, අභයපුර මේ ගම්මානවල ගෙයක් ගානේ මම ගිහින් තිබෙනවා. මම අභයපුරට පැමිණියේ මීට අවුරුදු 50 කට පෙර ඒ 1968 දී. ඊට අවුරුදු 08කට පසුව තමයි තමුන්නාන්සේලාගේ ගමේ රාජ්‍ය සේවයේ කුඩාම තනතුර කරන්න මම පත් වෙලා ආවේ. ඒ නිසා මේ ගමේ ගෙයක් දොරක්, ගසක් මුලක්, පාරක්, කුඹුරක්, ඇළක්, අමුණක් සියල්ලම මම හොඳට දන්න කෙනෙක්.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිරිවෙන් 15ක් තිබෙනවා. ඒ පිරිවෙන් 15න් මේ වනවිට පිරිවෙන් 10ක් අංග සම්පූර්ණ කරලා තිබෙනවා. අනිත් ඒවයේ වැඩකටයුතු දැනට කරගෙන යනවා. පසුගිය සතියේ අපි ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ රුපියල් කෝටි 40ක් වැය කරලා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට අධ්‍යාපනය සඳහා අවශ්‍ය නව ගොඩනැඟිල්ලක් ඉදිකරලා විවෘත කළා. මම හිතනවා අපේ හාමුදුරුවනේ ලංකාවේ මෑත භාගයේ එවැනි ගොඩනැඟිල්ලක් පිරිවෙන්වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ඉදිවෙලා නැහැ කියලා. පසුගිය අවුරුදු 10 ගත්තොත් ඔබ දන්නවා සෝමාවතී ඓතිහාසික මහා පුදබිම සංවර්ධනය කරන්න, ඒ සියලු අංශ අංග සම්පූර්ණ කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. අද එහි කිසිදු අඩුවක් අපි දකින්නේ නැහැ. මේ මෑතදීත් නව විශ්‍රාමශාලා ගොඩනැඟිල්ලක් ඉදිකිරීම අපි ආරම්භ කරලා තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා පිබිදෙමු පොළොන්නරුව වැඩසටහනින් අපි පසුගිය අවුරුදු තුනේ උදව් කරලා තිබෙනවා. නව ගොඩනැඟිලි, සංඝාවාස ඒවගේම භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය අනිකුත් පහසුකම් සඳහා අපි විශාල වැඩකොටසක් කරගෙන යනවා. සමහර ඒවා අවසන් කරලා තිබෙනවා.

අපේ සියලුම මැති ඇමැතිවරු පොළොන්නරුව දිස්ත්‍රික්කයට ගෙනැල්ලා මේ දිස්ත්‍රික්කයේ වැඩ අවසන් වූ ව්‍යාපෘති 170ක් විවෘත කරන්න අගෝස්තු මාසේ 01, 02, 03 වෙනිදා දවස් තුන අපි යොදාගෙන තිබෙනවා. ඒ අතර අලුත් පාසල් ගොඩනැඟිලි ඇතුළු පාසල් ව්‍යාපෘති 120ක් විතර තිබෙනවා. රොහල් සංවර්ධනය වගේම පිරිවෙන් සංවර්ධනය, පානීය ජලය, මාර්ග සංවර්ධනය ව්‍යාපෘති මෙහිදී විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය අවුරුදු තුනේ පාසල්, රෝහල්, පන්සල් සහ අනිකුත් විවිධ අංශවල වැඩ අවසන් කළ ව්‍යාපෘති 97ක් මම විවෘත කරලා තිබෙනවා. විශාල වශයෙන් ඉදිකරලා තිබෙන මේ ව්‍යාපෘති විවෘත කරන්න කාලවේලාව ප්‍රමාණවත් නොවන නිසා මැති ඇමතිවරු, විශ්වවිද්‍යාල අචාර්ය මහාචාර්යවරු, විශ්වවිද්‍යාල කුලපතිවරු, කලාකරුවන්, විද්වතුන් රාශියක් මේ ව්‍යාපෘති විවෘත කිරීම සඳහා සහභාගී වෙනවා. මම දන්නා පරිදි ලංකාවේ කිසිම රජයක් යටතේ දිස්ත්‍රික්කයක මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක වෙලා නැහැ.

චීන රජයේ ආධාර යටතේ රුපියල් කෝටි 1500ක් වැය කරමින් වකුගඩු රෝගීන් සඳහා ජාතික වකුගඩු රෝහල ඉදිවෙමින් පවතිනවා. මාගේ ඉල්ලීමක් අනුව ඉන්දීය රජයෙන් ලැබුණු භාෂා තුනෙන්ම උගන්වන මනම්පිටිය නව ත්‍රෛභාෂා පාසල මේ වනවිට ඉදිවෙනවා. ඒ වගේම රුපියල් කෝටි 1200ක වියැදමින් ආර්ථික මධ්‍යස්ථානය ඉදිවෙනවා. පොළොන්නරුව නව නගරයේ කච්චේරි ගොඩනැඟිල්ල, අලුත් පරිපාලන ගොඩනැඟිල්ල, නගර සභා ගොඩනැඟිලි, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ගොඩනැඟිලි වැනි නව ගොඩනැඟිලි රාශියක මේ වනවිට වැඩ අවසන් වෙලා තිබෙනවා. ඒවායෙත් සමහර ඒවා ඉදිකරමින් පවතිනවා. පොළොන්නරුව, මින්නේරිය, මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාස තුනම සංවර්ධනයේ නව ප්‍රබෝධයක් සහ නව උදාවක් ඇති කරලා තිබෙනවා. මම විශේෂයෙන්ම මේ කාරණා මතක් කළේ ඇමැතිවරයෙක්, මන්ත්‍රිවරයෙක් විදියට මම කටයුතු කළ අවුරුදු 27ක කාලසීමාව තුළත් ජනාධිපතිවරයා විදියට කටයුතු කරලා තිබෙන අවුරුදු තුනහමාරක කාලසීමාව තුළත් කරන ලද සංවර්ධන කාර්යයන් සඳහා ඔබව දැනුවත් කරන්න. මම හිතන්නේ අභයපුර විද්‍යාලයේ නව ගොඩනැඟිල්ලක් තිබෙනවා හෙට අනිද්දා විවෘත කරන්න. අගෝස්තු 1,2, 3 ට ඒ ගොඩනැඟිල්ලත් ඇතුළත් වෙලා තිබෙනවා. මේ සියලු දේවල් සිදුකරන්නේ දරුවන් වෙනුවෙන්. ඒ වගේම හෙට උපදින දරුවන් සඳහායි මේ විදියට අපි රජයක් විදියට කටයුතු කරන්නේ.

කෑගලුගම අභයපුර සෝමපුර ඉතා ගුණ යහපත් පිරිසක් ජීවත්වන ප්‍රදේශයක්. අපේ රටේ ගම්මානවල තිබෙන හැදියාව, යහපත්කම සංවර්ධනය පිළිබඳව කතා කරන විට මේ ගම්මාන පිළිබඳව අද සතුටු වෙන්න පුළුවන්. නමුත් නගරයේ තිබෙන බොහෝ නරක දේ ගම වෙත ගලා එන්න පටන් අරගෙන තිබෙනවා. නව තාක්ෂණයත් සමඟ රූපවාහිනිය, අන්තර්ජාලය, ජංගම දුරකතනයත් එක්ක ඔබ ලෝකය දකින්නට පෙර ගම්වල තිබුණු හික්මීම හැදිච්චකම, යහපත්කම, මනුස්සකම, කරුණාව, දයාව, ආදරය අද සමාජයෙන් ඈත්වේගෙන යනවා. තාක්ෂණය මිනිසුන් වෙලාගෙන තිබෙනවා. තාක්ෂණය මනුස්සකම නැති කරමින් තිබෙනවා. ඒ තාක්ෂණයත් සමඟ වාණිජ සමාජයක් ගොඩනැඟිලා තිබෙනවා. සල්ලි හොයන්න පමණක් පුරුදු වුණු වාණිජ සමාජයේ තරඟකාරිත්වය, මනුස්සකම විනාශ කරමින් තිබෙනවා. මත් කුඩු, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ ගමට එන්න පටන් අරගෙන තිබෙනවා. අද ඔබේ දරුවා හදාගන්න තිබෙන ලොකුම අභියෝගය මම දකින්නේ මත් කුඩු මත් ජාවාරම පිළිබඳව මවුපියන්ගේ අවධානය ඉතාමත් අඩුයි. දරුවෝ කරන්නේ මොනවද. දරුවෝ යන්නේ කොහෙද? පාසල් ගිහිල්ලා කවුද ඇසුරු කරන්නේ. පාසලෙන් යන එන විට මඟතොටේ කාවද මුණ ගැහෙන්නේ. මේ පිළිබඳව දැනට වඩා මවුපියන් සොයා බලන්න ඕනෑ. ඒක රජයක පාලකයන්ට, පොලිසියට, රාජ්‍ය නිලධාරින්ට, ගමේ පන්සලේ හාමුදුරුවන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දරුවා පාසලේ පැය 05ක් ගත කරන විට දවසේ වැඩි පැය ගණනක් දරුවා සිටින්නේ මවුපියන්ගේ සෙවණේ. ඒ මවුපියන්ගේ සෙවණේ සිටින කාලය තුළ තමයි බොහෝ විට දරුවා අනාරක්ෂිත බවට පත් වෙන්නේ. පාසලේ පැය 05 බොහෝ විට දරුවාට ආරක්ෂා සහිතයි. ඉතා කලාතුරකින් තමයි පාසල්වල වාර්තා වෙන්නේ දරුවන්ට පාසල්වල සිදුවෙන නොයෙකුත් අතවර කරදර සහ හිරිහැර පිළිබඳව. ඒ නිසා මවුපියන් දෛනික ජීවිතය තුළ දරුවන් පිළිබඳව සොයා බලන්න දැනට වඩා උනන්දුව ඉතාමත් අවශ්‍යය යි.

වන්දනීය පූජනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා අනුව යහපත් ගමක්, යහපත් රටක්, යහපත් සමාජයක් හදන්න අප කැප විය යුතු වෙනවා. අද මේ ස්ථානයට වැඩම කර සිටින අත්තනගල්ල රාජමහා විහාරාධිපති පන්නිල ආනන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ශාසනික වශයෙන් වගේම සාමාජීය වශයෙන් සේවා රාශියක් ඉටු කරන ස්වාමීන් වහන්සේ නමක්. පාසල් ගොඩනැඟිලි ඉදිකරදීම වගේම මහජනතාවගේ විවිධ සමාජ කාර්යයන් රැසක් උන්වහන්සේගේ මූල්‍යමය පරිත්‍යාගයෙන් සහ දායකත්වයෙන් සිදුවෙනවා. උන්වහන්සේගේ අරමුදල්වලින් ඉදිකළ තට්ටු දෙකේ තුනේ පාසල් ගොඩනැඟිලි විවෘත කරන්න කිහිප අවස්ථාවකදීම මටත් අවස්ථාව ලැබුණා. මේ අවස්ථාවට උන්වහන්සේගේ වැඩම කිරීම ඉතා වැදගත් කොට සලකනවා වගේම සියලු පූජනීය මහා සංඝරත්නයට ගෞරව පූර්ව නමස්කාරය පුද කරනවා.”

මාතෘකා