ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා මේ පාර කවුරුත් කියන්නේ නෑ

 ඡායාරූපය:

ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා මේ පාර කවුරුත් කියන්නේ නෑ

- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ

පසුගිය දශකය තුළ දේශපාලනිකව රටේ සිදුවුණු වෙනස කොයි වගේද?

1994 මැතිවරණය තමයි කඩඉම. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය 1994දී පොදුජන එක්සත් පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වුණේ. 1994 වන විට එක්සත් ජාතික පක්ෂයේ වසර 17ක පාලනයත් සමඟ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තිබුණේ. 87 – 89 තරුණ කැරැල්ලත් සමඟ තරුණයන් ඝාතනය වුණා. එවකට ජනාධිපතිවරයාගේ ඒකාධිපතිවාදී බලතලත් එක්ක සමාජය මර්දනකාරී ස්වභාවයක් ගත්තා. ඒ අවුරුදු 17ක පාලනය තුළ දූෂණය සහ වංචාවත් පැවතියා. එහිදී පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන සටන් පාඨය වුණේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ඒ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය ඇති කිරීම. ඒ වගේම දූෂණය - භීෂණය අහෝසි කිරීමත් සටන් පාඨයක් වුණා. උතුර සහ නැඟෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට බලය බෙදීමේ දේශපාලන විසඳුම දෙන බවටත් එදා මැතිවරණ පොරොන්දුවක් වුණා. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගේම ප්‍රබල පොරොන්දුවක් වුණා ඒකත්. ජනතාවට ඒ සටන්පාඨ ඉතා ආකර්ෂණීය වුණා. චන්ද්‍රිකා මැතිනිය විසින් ඒ දේශපාලන පොරොන්දු ඉටු කරන පොරොන්දුව යටතේ එදා ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයා ඉල්ලා අස්වුණා.

එදා ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ බලය බෙදීම සඳහා උත්සාහයක් දැරුවා. තවලම වගේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. නමුත් ඒ එක පොරොන්දුවක්වත් පරිපූර්ණ ලෙස ඉටු කරන්න ආණ්ඩුවට නොහැකි වුණා.

2005 ජනාධිපතිවරණය 1994න් වෙනස් වෙන්නේ කොහොමද?

2005 මැතිවරණය බැඳුණේ යුද්ධයත් එක්ක. ඒ නිසා සිංහල සමාජයේ අරමුණ වුණේ යුද්ධය අවසන් කිරීම. ඒ පොරොන්දුව මත තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත් වෙන්නේ. බලය බෙදීම, ජනාධිපති ධුරය අහෝසි කිරීම වගේ පොරොන්දුත් ඒ මැතිවරණයේදී තිබුණා. හැම මැතිවරණයකම ඒ පොරොන්දු තිබුණා තමයි; ඒත් 2005දී ඒවා ප්‍රධාන සටන් පාඨ බවට පත් වුණේ නෑ. ප්‍රධාන වුණේ සාමය. යුදමය වශයෙන් සම්පූර්ණයෙන්ම යුද්ධය අවසන් කරනවා කියන පොරොන්දුව දුන්නෙත් නෑ 2005දී. යුද්ධය පවතින අතර සාම සාකච්ඡාත් පැවැත්වුවා. ඒ උපක්‍රම දෙකම යුද්ධය අවසන් කිරීමට භාවිත කරනවා කියන පොරොන්දුව දුන්නේ. ඒත් ඒ ආණ්ඩුව යුදමය වශයෙන්ම සිවිල් යුද්ධය අවසන් කළා.

2010 වසරේ මැතිවරණය වෙනම මුහුණුවරක් ගත්තා. මහින්ද රාජපක්ෂගේ යුද ජයග්‍රහණයත් සමඟ පැමිණි මැතිවරණයක් ඒක. ඒ නිසාම එදා විශේෂ පොරොන්දුවක් දුන්නේ නෑ ඔවුන්. යුද ජයග්‍රහණයෙන් පසුව රටේ ස්ථාවරභාවය, ආර්ථික සැලැස්ම, ඉදිකිරීම් ආදිය පිළිබඳ පොරොන්දු තමයි තිබුණේ.

2010 වසරින් පසුව රටේ ඉතාමත්ම භීෂණකාරී දූෂිත පාලනයක් ක්‍රියාත්මක වුණේ. යුද්ධයෙන් පසුව සිවිල් සමාජය වඩාත් පීඩාවට පත් කළා. රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළා. මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට, බුද්ධිමතුන්ට, සුළු ජාතීන්ට විශාල මර්දනයක් දියත් කළා රාජ්‍ය විසින්. දූෂණ වංචා ඉතා ඉහළ මට්ටමකින් සිදුවුණා. අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්තිය පළුදු වුණා. ඒ නිසා විදේශ ආධාර පිළිබඳ ප්‍රශ්නයත් මතුවුණා. මානව හිමිකම් කවුන්සිලයෙන් චෝදනා එල්ල වෙන්න පටන් ගත්තා. ජීඑස්පී සහනය නැති වුණා. යුරෝපා මත්ස්‍ය අපනයනය නතර වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවට ගනුදෙනු කරන්න වුණේ චීනයත් එක්ක. අධිවේගී මාර්ග, ගුවන්තොටුපොළ හදන්න සීයට හයේ වාණිජ ණය ගත්තා. ඒ නිසා රට ණය උගුලක හිර වුණා. ප්‍රජාතන්ත්‍රවාදයට, මිනිස් නිදහසට, අයිතිවාසිකම්වලට විශාල අභියෝගයක් එදා එල්ලවුණා.

2015දී ඔය හැම මැතිවරණයකටම වඩා වෙනස් විදිහට නේද පේන්න තිබුණේ?

2015 ජනාධිපතිවරණය එන්නේ ඉහත කී පසුබිම යටතේ. එහිදී රාජපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සියල්ලම එක පැත්තකට ගියා. ආණ්ඩුවේ හිටපු අය පවා ඒ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව විරුද්ධ බලවේගය වශයෙන් සංවිධානය වුණා. 2015 මැතිවරණයේ ප්‍රධාන සටන් පාඨය වුණේ නිදහස, අයිතිවාසිකම් හා ජාතික සංහිඳියාව. 2015ට පෙර ජාතික සංහිඳියාවක් ඇති වුණේම නෑ. දෙමළ හා මුස්ලිම් ජනකොටස් දැඩි පීඩාවට ලක්වුණු පාලනයක් එදා තිබුණේ. ඒ නිසා ජාතික සංහිඳියාව කියන කාරණය ඉස්මතු වුණා. දූෂණය හා වංචාව කියන කාරණයත් එහිදී ඉස්මතු වුණා. වංචා දූෂණවලට, මිනීමැරුම් චෝදනා එල්ල වුණු අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට වන පොරොන්දු වුණා. ඒ පොරොන්දුවත් එක්ක පැවති ආණ්ඩුවට විරුද්ධව සමාජයේ විශාල ප්‍රබෝධයක් ඇති වුණා. ජනතා විමුක්ති පෙරමුණ වගේ බලවේගත් ආණ්ඩුවට විරුද්ධ පාර්ශ්වය වශයෙන් එකතු වුණා. විශාල බලවේගයක් එකතු වෙලා රාජපක්ෂ රෙජිමය පරාජය කළේ. ඒ නිසා 2015 මැතිවරණය මේ රටේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක්. එහි ප්‍රධාන පොරොන්දුවක් වුණේ ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කිරීම. රැකියා දීම, පඩි වැඩි කිරීම වගේ ආර්ථික පොරොන්දුත් එදා මැතිවරණයේදී දුන්නා. නමුත් ඒවා ප්‍රධාන පොරොන්දු නෙවෙයි.

2019 ජනාධිපතිවරණය 2015 මැතිවරණයේ තවත් දිගුවක්ද?

මෙවර ජනාධිපතිවරණය ඊට වඩා වෙනස්. 2015 වසරින් පටන් ගත් ආණ්ඩුව අසාර්ථක වුණා. එයට හේතුව ඔවුන් දුන් සමහර පොරොන්දු ඉටු කරන්නට නොහැකිවීම. ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම, කොමිෂන් සභා පිහිටුවීම, විගණන පනත, තොරතුරු දැන ගැනීමේ පනත වගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රාශියක් මේ ආණ්ඩුවෙන් ඇති කළා.

ආණ්ඩුව අතරමඟදී බිඳ වැටෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?

මේ ආණ්ඩුව බිහිවුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කණ්ඩායමත් එක්ව සහවාස ආණ්ඩුවක් වශයෙනුයි. ඒ ආණ්ඩුව අසාර්ථක අත්හදා බැලීමක්. ප්‍රධාන පක්ෂ දෙක එකතුවෙලා මේ රටේ ප්‍රශ්න විසඳන්න ඕනෑ කියන අදහස ප්‍රගතිශීලී අදහසක්. නමුත් මේ රටේ දේශපාලන පක්ෂවල සංස්කෘතිය අනුව රටේ ප්‍රධාන පක්ෂ දෙකට එකට වැඩ කරන්න බෑ. මේ රටේ දේශපාලන පක්ෂ ක්‍රමය ගොඩනැඟිලා තියෙන්නේ වෛරී දේශපාලනයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමත් සමඟ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග මන්දගාමී වුණා වගේම සමහර ඒවා සම්පූර්ණ කර ගැනීමට නොහැකි වුණා. ආණ්ඩුව බලයට පත්වුණු මුල් අවස්ථාවේ විශේෂ අධිකරණ පිහිටුවීමට ආණ්ඩුවට හැකිව තිබුණා. නමුත් විශේෂ අධිකරණ පිහිටුවන්නේ ආණ්ඩුව පිහිටුවලා අවුරුදු තුනක් ගතවුණාට පසුවයි. නඩු ගොනු කෙරුවට නඩුවල තීන්දු ගැනීමේ හැකියාවක් නෑ. නඩුවක් විභාග කිරීමට යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය කෙටි කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගන්න ප්‍රමාද වුණා.

අනිත් කාරණය ආණ්ඩුවට කුමන්ත්‍රණකාරී පුද්ගලයන් සම්බන්ධ කරගත්තා. අධිකරණ ඇමති ධුරය දුන් පුද්ගලයා පැවසුව ඔහු ගෝඨාභය රාජපක්ෂට තිබුණු චෝදනාවලින් ගෝඨාභය නිදහස් කළා කියලා. නීතිපති දෙපාර්තමේන්තුව සමහර නඩු පැවරුවේ තාක්ෂණික දෝෂ සහිතව. නඩුවක් හරියාකාරව පවරන්න බැරි නිලධාරීන් මේ ආණ්ඩුවේ හිටියේ. මේ වගේ බරපතල දුර්වලතා මේ ආණ්ඩුවේ තිබුණා.

ඒත් මතක තියාගන්න ඕන දේ කිසිම මිනීමැරුමක් මේ ආණ්ඩුව කළේ නෑ. කිසිම මාධ්‍යවේදියකුට හිරිහැර කළේ නෑ. කිසිම මාධ්‍ය ආයතනයකට පහර දුන්නේ නෑ. පෙළපාළි, විරෝධතාවලට අමානුෂික ලෙස පහර දුන්නේ නෑ. මේ ආණ්ඩුව මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංග තහවුරු කළා.

මෙවර මැතිවරණය 2015 මැතිවරණයේ තවත් දිගුවක් වෙයිද?

2015 මැතිවරණයට වඩා මුහුණුවර වෙනස්. අද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තියෙන්නේ භේදයක්. ජාතික ආණ්ඩුවේ අසාර්ථකභාවය ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන පොදුජන පෙරමුණට වාසියක් වුණා. ඒ නිසා ආණ්ඩුව කෙරෙහි අප්‍රසාදයක් මැතිවරණය ආසන්න වන විට ජනතාවට තිබුණා. නමුත් ඒ තත්ත්වය දැන් වෙනස් වෙලා. ඒකට හේතුව අලුත් මුහුණක් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ඉදිරිපත්වීම. ඔහුගේ තිබෙන්නේ වෙනම වැඩපිළිවෙළක්. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික සංහිඳියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත් කරනවා.

පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ පැරණි වැඩපිළිවෙළමයි. ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන්නේ නෑ. ඔවුන් ඉදිරිපත් කරන්නේ රටේ සංවර්ධනය සහ විනයානුකූල පාලනයක් පිළිබඳවයි. ඒ පාලනය ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. දෙමළ මුස්ලිම් ජන සමාජයට දේශපාලන විසඳුමක් ලබාදෙනවාද කියන කාරණය ඔවුන් ඉදිරිපත් කරන්නේ නෑ.

මෙවර තියෙන හාස්‍යජනකම තත්ත්වය තමයි ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අදහස හෝ පොරොන්දුව කිසිම අපේක්ෂකයකු ඉදිරිපත් නොකිරීම. 1994 සිට පැවති ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් ඒක. අද ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වෙන අනුර කුමාර දිසානායක පවා ඒ අදහස ඉදිරිපත් කරන්නේ නෑ.

එදා මෙදාතුර මැතිවරණවලදී අපේ රටේ සුබසාධනය ප්‍රධාන ඡන්ද පොරොන්දුවක් වෙලා තියෙන්නේ ඇයි?

දේශපාලන සංස්කෘතිය අනුව 1931න් පස්සේ මේ රටේ සුබසාධනවාදය තහවුරු වෙලා තියෙන්නේ.

ඒ නිසා මේ රටේ සිංහල දෙමළ ආදී ග්‍රාමීය ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාව සුබසාධනය. ඒක ඔවුන් ඕනෑම ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙනවා. රටේ සීයට 80ක් ඉන්නේ ග්‍රාමීය ජනතාව. ජනතාවගේ අපේක්ෂාවක් වන සුබසාධනවාදයට අනුබල දීම තමයි දේශපාලන පක්ෂ විසින් කරන්නේ. හැම මැතිවරණයකටම ප්‍රධාන පක්ෂ සුබසාධනවාදය සඳහා අනුබල දීමක් කරලා තියෙන්නේ. මේ පාර මැතිවරණයේ එය වඩාත් තීව්‍ර වෙලා. ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම අද සුබසාධන පොරොන්දු දෙන්නේ.

අද ආර්ථික අර්බුදයක් තියෙනවානේ. ඒ අර්බුදයට පසුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් දෙකම වගකියන්න ඕනෑ. එවැනි ආර්ථික අර්බුදයක් තිබියදී සුබසාධන පොරොන්දු දීම ඉතාම බරපතළ ගැටලුවක්. අනුර කුමාර කියන විදිහට දූෂණ වංචා නතර කළොත් ජනතාවට සුබසාධනය සපයන්න පුළුවන් කියන කතාව විශ්වාස කරන්නේ නෑ. දූෂණ වංචා නැති කිරීමෙන්ම ආර්ථික ප්‍රශ්න නැති කරන්න බෑ. ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රශ්නයක් තියෙන්නේ. ව්‍යුහාත්මක වශයෙන් ආර්ථික වෙනස් නොකර දූෂණ වංචා නැති කළා කියලා ආර්ථිකය ගොඩනඟන්න බෑ.

සංවාදය [රසිකා හේමමාලි]

News Order: 
2
මාතෘකා