ජීවිත රකින්නට ගොස් දිවිදුන් පොලිස් විරුවෝ

 ඡායාරූපය:

ජීවිත රකින්නට ගොස් දිවිදුන් පොලිස් විරුවෝ

ත්‍රස්තයන්ගේ රුදුරු බෝම්බ ප්‍රහාරවලින් දිවි දුන් සෑම අයකු ගැනම ඇත්තේ අතිශය සංවේදී කඳුළු කතාන්දරය. අනපේක්ෂිත ලෙස ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට ලක්වූවෝ බොහෝ දෙනකු මරණය පිළිබඳ අංශු මාත්‍රයකුදු දැනීමක් නොමැතිව මරණය වැලඳ ගන්නට ඇත. පාස්කු ඉරුදින කොළඹ සහ මීගමුවේ සිදුවූ පිපිරීම්වලින් පසුව මහජන ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශවලට භාරදූර කාර්යයක් පැවරුණු අතර පොලිසිය සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වහාම සේවයට කැඳවිණ. රට පුරා සෝදිසි කිරීම් ආරම්භ වූ අතර සැකකරුවන් සොයා දෙමටගොඩ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනකුට තම ජීවිත අහිමි විය. රාජකාරියේදී එලෙස රටත් ජනතාවත් වෙනුවෙන් දිවිදුන් එම විරුවන් වන්නේ පොලිස් කොස්තාපල් ළහිරු උමේෂ් දුලංජන (29), පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක (24) සහ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක රෝහණ සඳුන් බණ්ඩාර යන අයය.

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන උප පොලිස් පරීක්ෂක රෝහණ සඳුන් බණ්ඩාර මොරටුව වේල්ස්කුමර විද්‍යාලයේ ආදි සිසුවකු වන අතර 2002 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවට එක්වී උතුරු නැඟෙනහිර ඇතුළු ප්‍රදේශ ගණනාවක සේවය කර ඇති නිලධාරියෙකි. කලක් කොළඹ අපරාධ කොට්ඨාසයේද සේවය කර ඇති ඔහු බස්නාහිර පළාත තුළ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා වැටලීම් ගණනාවක් සිදුකර ඇති දක්ෂ නිලධාරියෙකි. නිලංකා නෙළුම් කුමාරි මහත්මිය සමඟ විවාහ වී සිටි උප පොලිස් පරීක්ෂක රෝහණ මහතා දෙදරු පියකු වන අතර සත් හැවිරිදි ජයමිණි නර්තනා බණ්ඩාර දියණියගේ සහ දසමසක් වියැති ගගන් කවීෂ පුතුගේ ආදරණීය පියාණන්ය. අභාවයෙන් පසු පොලිස්පති විසින් පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර ඇති ඒ රෝහණ මහතාගේ අවසන් කටයුතු පසුගිය බදාදා බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදුකෙරිණ.

පොලිස් කොස්තාපල් ළහිරු උමේෂ් දුලංජන ගල්කිරියාගම හල්මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහුගේ හදිසි මරණයෙන් අහිංසක කැදැල්ලකට ආදරණීය සැමියකු සහ පියකු අහිමි විය. ඔහුගේ මරණය පිටුපස තිබෙන දුක්බර කඳුළු කතාව ඔහුගේ බිරිඳ ඉෂාරා දිල්රුක්ෂි වදන්වලට පෙරළුවේ මෙසේය.

"අපේ චූටි දුවට තවම මාස 11යි. අපිටම කියලා තවම අපි ගෙයක්වත් හදාගෙන නැහැ. සිද්ධිය වුණු දවසේ උදේ ඉඳන්ම මහත්තයා මට දුරකථනයෙන් කතා කළා. දවල් 1.20ට විතර මම අන්තිමට එයාට කතා කළේ. ඊට පැයකට විතර පස්සේ එයාගේ ෆෝන් එක වැඩකළේ නැහැ. පස්සේ මම එයාගේ මූලස්ථානයට කතාකළා. එතකොට කිව්වා මහත්තයා තුවාල වෙලා කොළඹ ජාතික රෝහලේ ඉන්නවා කියලා. අන්තිමට මූණවත් බලන්න බැරි විදිහට සීල් කරපු පෙට්ටියකින් තමයි මහත්තයාව මට දකින්න ලැබුණේ. මගේ මහත්තයා යුද්ධෙදිත් තුවාල ලැබූ කෙනෙක්. මුළු සමාජයෙන්ම ඉල්ලන්න තියෙන්නේ ආයෙමත් මේ ත්‍රස්තවාදයට ඉඩ දෙන්න එපා කියලා. මේක මට දරාගන්න බැරි වේදනාවක්."

එවැනි සදාතනික වේදනාවක් සිය ආදරණීයන්ගේ සිත්වලට උරුමකර දෙමින් පොලිස් කොස්තාපල් ළහිරු උමේෂ් දුලංජන මහතාගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ඔහුගේ උපන් දිනය යෙදී තිබුණු 24 වැනි දිනයේදීමය.

දෙමටගොඩදී දිවි දුන් පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක(24) මහතා මහනුවර කැටකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ ඔහු තිදෙනකුගෙන් යුතු පවුලේ දෙවැනි දරුවාය. ඩී. බී. විජේතුංග පාසලේ ආදි සිසුවකු වන ඔහු 2015 වසරේදී බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්ව සිය වෘත්තිය ජීවිතය ආරම්භ කර තිබේ.

"මගේ පුතා මියගියේ දෙමටගොඩ ගෙදරකදී හසුවූ බෝම්බ පිපිරීමෙන්. බෝම්බය පිපිරුණේ සෝදිසියට ගිය නිවස තුළමයි. එළියට ගියා නම් තවත් පිරිසක් මියයන්න තිබුණා. මගේ පුතා ඇතුළු පොලිසියේ තව පුතාලා දෙන්නෙක් මිය ගිහින් වැඩි පිරිසක් ඒ බෝම්බයෙන් බේරගත්ත පිනම ඇති මේ පුතාලා තුන්දෙනාට නිවන් දකින්න."

පොලිස් සැරයන් භාතිය බණ්ඩාරගේ මව ඉනෝකා ශිරානි මහත්මිය සිය පුතුගේ ජීවිත පරිත්‍යාග පිළිබඳ පැවසුවේ එලෙසිනි. ඔවුන් තිදෙනාගේ ජීවිත පරිත්‍යාගවලට රටක් ජාතියක් ලෙස ප්‍රණාමය සිදුවිය යුතුය. මන්ද ඔවුන් රාජකාරිය දේවකාරිය කොට සැලකූ උදාර නිලධාරීන් වූ නිසාය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා