2500 මාර යුද්ධය සහ දේශපාලනයේ මුද්දර කතාව

 ඡායාරූපය:

2500 මාර යුද්ධය සහ දේශපාලනයේ මුද්දර කතාව

1956 වර්ෂයේදි නිදහසේ සිට එතෙක් රාජ්‍ය බලය හෙබවු එක්සත් ජාතික පක්ෂය පසෙකට විසි වී බණ්ඩාරනායක මහතාගේ ප්‍රමුඛත්වයෙන් යුතු මහජන එක්සත් පෙරමුණ රටේ පාලනය සියතට ගත්තේය. හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් මෙය හැඳින්වූයේ බමුණු කුලය බිඳවැටීම ලෙසිනි.

දේශපාලනයේදි පෝස්ටරය ඉතාමත් ආකර්ශනීය ප්‍රචාරක මාධ්‍ය බවට පත්වෙයි. ලංකීය දේශපාලන දිශානතිය වෙනස්කල 56 ජයග්‍රහණය සඳහා ප්‍රබලව බලපෑ සුවිශේෂි ප්‍රචාරාත්මක පෝස්ටරය නිර්මාණය කිරීම හා ඊට බලපෑ හේතූන් අප ඔබ වෙත මෙසේ ගෙන එන්නෙමු. ශ්‍රී ලංකීය දේශපාලන ඉතිහාසය තැපැල් මුද්දරය මගින් ආවර්ජනය කිරීමට ඇති හැකියාව සහ එහි ප්‍රබලත්වය පිළිබඳ යම් අදහසක් ඔබට ලබාදෙනවා ඇත. ශ්‍රී ලාංකීය දේශපාලනය කියවීම සඳහා තැපැල් මුද්දරය සාර්ථකව භාවිතා කළ හැකි ආකාරය මේ මගින් පහදාලනු ලබයි.

වර්ෂ 1956 උදාවීමත් සමඟින් ලාංකීය බෞද්ධයින් ඇතුළුව සමස්ත ලෝකවාසී බෞද්ධ ජනාතාවට සම්බුද්ධත්ව ජයන්තියේ උණුසුම දැනෙන්නට විය. බුදු රජානන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 2500 ක් ගතවීම මෙම වසරේ මැයි 15 වැනිදාට යෙදෙන වෙසක් පුර පසළොස්වක දිනයට යෙදි තිබුණි. බෞද්ධයාගේ මතය අනුව බුද්ධ ධර්මය වසර 5000 ක් නොනැසී පවතින අතර එහි මධ්‍යය හෙවත් වසර 2500 ක් ගෙවෙන තැන එහි පුනර්ජීවනයක් සහ ව්‍යාප්තියක් ඇතිකරවන මොහොත වශයෙන් සැලකේ. මෙම ඓතිහාසික අවස්ථාව ආගමික වශයෙන් පමණක් නොව ජාතික වශයෙන් ද ඉතාමත් වැදගත් විය. සම්බුද්ධ පරිනිර්වාණයට සමගාමීව විජය කුමරුන්ගේ ලංකාගමනය ද සිදුවූ බැව් අපගේ ඉතිහාසයේ සඳහන් වන බැවින් අපගේ ජාතික දිනය වශයෙන් ද බුද්ධ ජයන්තිය ඉතා වැදගත් වේ.

මහමාන්‍ය ඩි.එස්.සේනානායකයන්ගේ හදිසි අභාවයෙන් පසු එවකට කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතා අගමැති බවට පත්විය. ඩඩ්ලි රජයේ මුදල් අමාත්‍යවරයා වූ ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් කොරියානු උප්පාතයෙන් පසුව ඇති වූ ආර්ථික පරිහානිය නිසා ජනතාව මත බර පැටවෙන අයවැයක් ඉදිරිපත් කළේය. රජය විසින් සුභසාධක වියදම් තියුණු ලෙස අඩුකිරීමට තීරණය කරණ ලදි. ශත 25ට තිබු හාල් සේරුව ශත 75 දක්වා වැඩි කිරීම මූලික කොටගෙන සහ සහනාධාර කප්පාදුවට එරෙහිව වාමාංශිකයින් හර්තාලය නමින් වර්ජන ක්‍රියාවලියක් සංවිධානය කෙරිනි. මෙම වර්ජනය කෙතරම් බලවත්වීද යත් අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවිය. මෙම වර්ජන ක්‍රියාවලියට නායකත්වය දුන්නේ කොල්වින් ආර්.ද සිල්වා, ආචාර්ය එන්.එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන ඇතුළු නායකයින්ය. රජයක දේශපාලන ඉරණම හැඩගැස්වීමෙහිලා පොදු ජනතාවගේ සහනාධාරයේ වැදගත්කම මෙම සිදුවීමෙන් පැහැදිලි විය.

ඩඩ්ලි සේනානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැති පදවියට පත්විය. දෙමල භාෂාවට සමතැන ලබාදෙන්නට අගමැතිවරයා උතුරේ කරන ලද ප්‍රකාශයක් නිසා සිංහල ජනතාව අතරේ භාෂාව මුල්කරගෙන උද්ෙගා්ෂණ ව්‍යාපාරයක් මතු විය. 1957 ජූලි මස වනතෙක් මැතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථානුකූල අවශ්‍යතාවයක් නොමැති වුවද ආණ්ඩුව අවශ්‍යතාවයට වඩා අවුරුද්දකට පෙර මැතිවරණයකට මුහුණ දීමට තීරණය කෙළ්ය. බුද්ධ ජයන්ති සමරුවෙන් ලැබෙනා ප්‍රශංසාව 1952 පැවති කොළඹ ක්‍රමය ප්‍රදර්ශනයෙන් ලද කීර්තිය, සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම එජාපය ඒකමතිකව පිළිගැනීම හමුවේ ඡන්දදායකයින්ගේ සිත් දිනාගෙන සිටියේ යැයි එ.ජා.ප නායකයින් බොහෝ දෙනා විශ්වාස ක ෙළ්ය. 1956 පෙවරවාරි 18 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අතර අප්‍රේල් 5, 7 සහ 10 යන දිනයන්හි මැතිවරණය නියම විය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර සිටම විරුද්ධ පක්ෂවල නායකයින් එකමුතු වීමට අවස්ථා කිහිපයකදි උත්සහ දරන ලදි. අස්ථිර සම්බන්ධතා කිහිපයකට පසුව සමගි ගිවිසුමකට එළඹීමට මෙම විරුද්ධවාදී පාර්ශ්වයනට හැකි විය. දේශපාලන පක්ෂ 4ක් ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පොදු වැඩ පිළිවෙළක් යටතේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන පොරොන්දුව පිට සන්ධානයකට තරඟ කිරීමට එකඟ වූහ.

මෙම පෙරමුණ මහජන එක්සත් පෙරමුණ නම් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය දැරුවේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකයි. පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුතු විප්ලවකාරි සම සමාජ පක්ෂය, විජයානන්ද දහනායක ගේ භාෂා පෙරමුණ සහ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතාගේ නිදහස් අපේක්ෂකයින් අතුළුව ඡන්ද අපේක්ෂකයින් 60 දෙනෙක් මහජන එක්සත් පෙරමුණ යටතේ මැතිවරණය සඳහා ඉදිරිපත් වූහ.

මෙම මැතිවරණය සඳහා භික්ෂූන් වහන්සේලාගේ දායකත්වය ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණි. කැලණිය රජමහ විහාරයේ එවකට විහාරාධිපතිව වැඩවිසු බුද්ධරක්ඛිත හිමි සහ තවත් නායක භික්ෂූන් වහන්සේලා එක්ව ලංකා භික්ෂු සම්මේලනය පිහිටුවා ගනු ලැබූහ. 1956 පෙබරවාරි 4 වැනිදා බෞද්ධ කොමිසමේ වාර්ථාව එළිදැක්වූ අතර ඊට ටික කලකට පසුව ලංකා භික්ෂු සම්මේලනය ඇතුළු සංවිධාන මැදිහත් වීමෙන් එක්සත් භික්ෂූ පෙරමුණ පිහිටුවා ගනු ලැබිණි. විදේශ ආධිපත්‍ය හමුවේ බුදු සසුනට සිදුවූයේ යැයි කියනා බලපෑම, බෞද්ධයන් වත්මනෙහි මුහුණ දෙන දුෂ්කරතා, කතෝලික අධ්‍යාපනය යනාදි මාතෘකා නිරන්තරයෙන් විහාරස්ථානවල සාකච්ඡාවට බඳුන් විය. එමෙන්ම රෝදය නමින් පුවත්පතක් ද පළකරමින් එජාප විරෝධි හඬ තවදුරටත් තීව්‍ර කළේය.

"අපගේ පාලක පක්ෂයේ වැඩි දෙනා බෞද්ධාගම ගැන මූලික කරුණු පවා නොදන්නේය. ඔවුහු ඔවුන්ගේ ඉතිහාසය නොදනිති. ඔවුන් දන්නා එකම දෙයනම් බටහිර පන්නයට ජීවත් වීමයි."

මූලාශ්‍රය - රෝදය 1955 අප්‍රේල් 1

මැතිවරණය ලංවෙනවාත් සමඟින් රෝදය පුවත්පත මාර්ගයෙන් භික්ෂූන් වහන්සේලාව සංවිධානය කිරීමට මහත් උත්සහයක් දරා තිබේ. "සෑම ඡන්ද පොලකම භික්ෂූන් සිටිය යුතුය. ඔවුන් ඡන්දය නිසිලෙස යොදන අයුරු ජනතාවට කියාදිය යුතුය. රට, සමය හා සංස්කෘතිය වෙනුවෙන් කටයුතු කරනා ආණ්ඩුවක් තෝරා පත්කර ගත යුතුය. අපි නිශ්ශබ්දව සිටිමු නම් ශාසනයේ විනාශය දුර නැත. බෞද්ධ ලංකාවක් නැවත නගාලීමට දිවි පිදීමට හෝ සූදානම් වෙමු."

 

රෝදය 1956 පෙබරවාරි 25

භික්ෂු පෙරමුණ විසින් ඡන්ද අපේක්ෂකයින්ගේ ගුණදොස් සොයා බලා ශ්‍රද්ධාවන්ත බෞද්ධයින්ට පමණක් ඡන්දය ලබාදෙනු පිණිස කරුණු 10කින් යුත් ප්‍රකාශනයක් එළිදක්වන ලදි. මේවා කොටස් 3කට සම්පිණ්ඩනය කර තිබේ.

1. පෞද්ගලික ජීවිතයේද බෞද්ධ නියමයන්ට එකඟ වීම.

2. සිංහල පමණක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීමේ විශ්වාසදායක පොරොන්දුව.

3. බෞද්ධ කොමිසමේ වාර්තාව පිළිගැනීම.

දේශපාලන අපේක්ෂකයින් තෝරාගැනීම සඳහා ඉදිරිපත් කරන ලද මෙම යෝජනා කලින් කල්පනා නොකොට යෙදු උපක්‍රමයක් යැයි කිසිසේත්ම නොකිවහැකිව තිබුණි. මක්නිසාද යත් මෙම කරුණු සියල්ල යෝග්‍ය වූයේ බණ්ඩාරනායක මහතාටයි.

බ්‍රිතාන්‍ය සිරිතට අනුව ලංකාවේ ඡන්ද ව්‍යාපාරය ගෙනගියේ සති 6ක් පමණි. ගෙයින් ගෙට ගොස් ඡන්දය ඉල්ලීම කවුරුත් කළ පොදු දෙයකි. මහජන රැසවීම්, කුඩා කණ්ඩායම් රැස්වීම්, ඡන්ද අපේක්ෂකයාගේ සිනාමුසු මුහුණ සහිතව ඡන්ද පත්‍රිකාවේ නියම තැන (X) ලකුණ යොදන ලෙසට උපදෙස් ලබාදුන් පෝස්ටර් සහ ඒවායේ අත්පත්‍රිකා ප්‍රචාරක ක්‍රියාවලියේ ප්‍රධාන කටයුතු වූහ. එක්සත් භික්ෂු පෙරමුණේ සාමාජික භික්ෂූන් විසින් අදින ලැදැයි කියනා එක් විනාශදායක පෝසටර්යක් මැතිවරණ ව්‍යාපාරය උඩු යටිකුරු කරන ලදි. එම පෝස්ටරයේ විස්තරය මෙසේය.

"පොස්ටරයේ එක් පසෙක බෝධියක් මුල වැඩසිටි බුද්ධ ප්‍රතිමාවකි. විකට චිත්‍රයේ ඉතිරි කොටස යු.එන්.පී. සලකුණ වූ ඇතා පිට නැඟගත් සර් ජෝන් ප්‍රමුඛව ගමන් ගත් දිග පෙරහැරකි. බුදු පිළිමයෙහි හදවතට ඉලක්ක කල කුන්තයක් සර් ජෝන්ගේ අතෙහි විය. අලියා පිට ඔහු පිටු පසින්, ඔහුට සිටියේ යැයි ප්‍රසිද්ධ බොහෝ යෙහෙළියන්ගෙන් එකියෙකි. ඔහු පිටුපසින් වූ පෙරහැරෙහි බාල් නැටූහ. ෂැම්පේන් බිව්වාහ, තවත් සමහරු පක්ෂයේ මුදලින් සිය පැත්ත ගනු ලැබූවේයයි කියවෙන රටේ ප්‍රසිද්ධ පුවත්පත් වනවනා සිටියහ. බෞද්ධ රටක මස් සඳහා සතුන් මැරීම පිළිකුල්කොට සලකනු ලැබේ. එසේ මරා මස් කෑම චිරානුගත සිරිතක් ලෙස සැකකරන ලදි. වරක් අගමැති ප්‍රසිද්ධියේ බොහොදෙනා ඉදිරිපිට පිළිස්සු වහු පැටවෙකු ඔහු අතින්ම මස් කිරීමෙන් කළ සිත් කම්පා කරවන නිගරුව සැදැහැවතුන්ට මතක් කරනු සඳහා පෝස්ටරයේ ඉදිරිපසින් මළ වහු පැටවෙකු සහිත කරත්තයක් විය. පසුබිමෙහි ඇමෙරිකානු මුදල් හිමියෝ කිහිපදෙනෙක් (අන්කල් සෑම්) විශාල ඩොලර් සලකුණු ඔසවාගෙන සිටියහ."

මෙම පෝස්ටරය ඉතා ප්‍රබල දේශපාලන පණිවිඩයක් ජනතාවට ලබාදුන්නේය. මෙය පරාම්පරාගත අපේක්ෂක සංස්කෘතික සංකල්ප දේශපාලනය සඳහා ඉතාමත් දක්ෂ අයුරුන් සම්මිශ්‍රණය කරන ලද අවස්ථාවක් බව දේශපාලන විචාරකයෝ පවසති.

ඡන්ද ලැයිස්තුවට අනුව ලාංකිකයින් 3,464,000 කට නොහොත් රටේ වැඩිහිටියන්ගෙන් 45% ක් ඡන්දය දැමීම සඳහා සුදුසුකම් ලැබි තිබුණි. මොවුන් අතරින් 70% ක් දෙනෙක් මැතිවරණයේ දී ඡන්දය භාවිතා කළෝය. එහිදි පහත සඳහන් අයුරින් ප්‍රතිඵලය හිමි විය.

නිදහස් ශ්‍රී ලංකාවේ 4 වැනි අගමැතිවරයා වශයෙන් එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා කෙරෙහි මහජනතාවගේ විශ්වාසය ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලි වූයේය.

බණ්ඩාරනායක රජය විසින් බුද්ධ ජයන්තිය වෙනුවෙන් එතෙක් සංවිධානය කර තිබු කිසිඳු කටයුත්තක් වෙනසකින් තොරව කරගෙන යාමට උත්සුක විය. නව රජය යටතේ ප්‍රථම වරට මුද්දර නිකුතුවක් සිදුවූයේද බුද්ධ ජයන්තිය සැමරීම වෙනුවෙනි. එය ලංකීය ඉතිහාසයේ තවත් සුවිශේෂි සංධිස්ථානයක් විය. එතෙක් මෙතෙක් ලංකාවේ නිකුත් කරන ලද එකම ආධාර මුද්දරය (Charity Stamp) නිකුත්කරන ලද්දේ සම්බුද්ධ ජයන්ති උළෙලේ වැඩකටයුතු සඳහා මහජන ආධාර එක්රැස් කිරීමටය. 1956 මැයි 10 වන දින මෙම නිකුතුව සිදු කර තිබේ. මකර තොරණ සහ සාමයේ මුද්‍රාව සිතුවම් වූ (ශත 10/5) වටිනාකම් සහිත මුද්දරය ද මේ නිකුතුවට අයත් විය. මෙම ආධාරය අවලංගු කිරීම සිදුවූයේ 1958 ජනවාරි 15 වැනිදාය.

(මෙම ලිපිය සඳහා මහචාර්ය ඩබ්ලිව්. හාවර්ඩ් රිගින්ස් මහතාගේ 1956 යේ ලංකා මැතිවරණය, දේශපාලන නායකයින්ගේ වෙනස්වීම ලිපිය පදනම් කරගනු ලැබීය.)

[සමන්ත නිරෝෂණ පීරිස්]

මාතෘකා