බලපෑම් කරන්න ආවනම් යහතින් යවන්නේ නෑ

 ඡායාරූපය:

බලපෑම් කරන්න ආවනම් යහතින් යවන්නේ නෑ

පසුගිය  පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමේ ප්‍රමාදයක් පැවති බවට  ස්වාධීන මැතිවරණ කොමිසම වෙත චෝදනා එල්ල වි තිබිණි. විශේෂයෙන් විද්යුත්  මාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය තුළ මෙම ප්‍රමාදය ගැන දැඩි විවේචන එල්ල වී  තිබිණි. ඉන් බොහොමයක් චෝදනාවල ඉලක්කය වී තිබුණේ ස්වාධීන මැතිවරණ කොමිසම සහ  එහි සභාපතිවරයාය. එම චෝදනා, මැතිවරණ ක්‍රියාවලිය තුළ ඇති වූ ගැටලු සහ  සිදුවීම් පිළිබඳව අපි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන්  විමසුවෙමු.

*සභාපතිතුමනි, මැතිවරණය අවසානයෙදී සමස්ත මැතිවරණ ක්‍රියාවලිය ගැන තියෙන්නේ ෙමාන ව ෙග් හැඟීමක්ද?


අපිට  මේ ගැන සතුටක් සහ දුකක් තියෙනවා. මහජනතාවට ප්‍රජාත්න්ත්‍රවාදය ලැබීම ගැන  සතුටක් තියනවා. ඒ වගේම ඡන්දය ප්‍රකාශ කිරීමට යා නොහැකිව තිබුණු, ඡන්දය ගැන  උනන්දුවක් නොතිබුණු බොහොමයක් ඡන්දපළට ගෙන ඒමට හැකි වීම ගැන සතුටක් ති‍ෙයනවා.  සිදුවීම් කිහිපයක් හැරුණුකොට සමස්තයක් ලෙස ඉතාම විනිවිදව, සාමකාමීව ඡන්දය  පැවැත්වීමට හැකි වීම ගැන සතුටක් ති‍ෙයනවා. 
ඒ  වගේම ආසන මට්ටමෙන් ප්‍රතිඵල ලබා දීමේදී ඇති වුණ ප්‍රමාදය ගැන දුකක්  ති‍ෙයනවා. ඇත්තටම අපිට අන්තිමට ඉතුරු වුණ ලොකුම දුක වුණේ පූර්ව මැතිවරණ  කාලයෙදි අපේ මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානයක වැඩ කරලා ගෙදර යන අතරතුර තරුණ  දරුවෙක් රිය අනතුරක් නිසා ජීවිතයෙන් සමු ගැනීම. මේ සිදුවීම අපි හැමෝම  කම්පාවට පත් කළා.

*ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම 10 වෙනිදා රෑ 10 වෙද්දි පටන් ගන්න පුළුවන් කියලා කිව්වට බොහොම පරක්කු වුණා.....?
ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම 10 වෙනිදා රෑ 10 වෙද්දි පටන් ගන්න පුළුවන් කියලා කිව්වට බොහොම පරක්කු වුණා.
මේ  ඡන්දෙදි ඡන්ද ගණනය කිරීම සිද්ධ වුණේ ඡන්ද මධ්‍යස්ථානයෙදිමයි. අපේ අරමුණ  තිබ්බේ 10 වෙනිදා රෑ කෑමට කලින් තමන්ගේ කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිඵලය ඡන්ද දායකයන්ට දැන ගන්න සලස්වන්න. ඒ විදිහටම නාරහේන්පිට තැනක සහ තවත් තැන්  කීපයක් හැරුණහම බහුතර කොට්ඨාසවල ඡන්ද ප්‍රථිපල ඒ ඒ කොට්ඨාසවල ඡන්ද දායකයෝ  දැනගෙන තිබුණා. කොට්ඨාසයේ නියෝජිතයා කවුද කියන දේ දැන ගැනීමයි වඩාත් වැදගත්  වුනේ.


*මොකද සභාපතිතුමා සමස්ත ප්‍රතිඵලය දෙන්නෙ නෑ කියලා කියන්නේ?


පළාත්  පාලන මැතිවරණයෙදි කොහෙද සමස්ත ප්‍රතිඵලයක් දෙන්නේ? ජනමත විචාරණයකදී නම්  සමස්ත ප්‍රතිඵලය වැදගත්. ඒකෙදි සමස්ත රටම එක කොට්ඨාසයක් විදිහට අරගෙනයි  මැතිවරණය පවත්වන්නේ. ජනාධිපතිවරණයකදී මුළු රටේම ප්‍රතිඵලය මත පදනම්ව තමා  ජයග්‍රාහකයා තීරණය කරන්නේ. මහ මැතිවරණයකදී සමස්ත ප්‍රතිඵලය මත පදනම් වෙලා  ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගණන තීරණය කරනවා. පළාත් සභා මැතිවරණයකදී සමස්ත පළාත තුළ ප්‍රතිඵලය වැදගත් වෙනවා. ඒ අනුව බෝනස් මන්ත්‍රීධූර ගණන තීරණය කරන  නිසා.
නමුත්  පළාත් පාලන මැතිවරණයකදී රටේම ඡන්ද එකතු කරලා පෙන්වීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ  අවශ්‍යතාව පනතේ දක්වලත් නෑ. පළාත් පාලන ආයතන මට්ටමින් තමා මන්ත්‍රීධුර  තීරණය වෙන්නේ. එතනින් එහාට සමස්ත ප්‍රතිඵලයක් ඕන නම් තම තමන් එකතු කරලා  බලාගන්න පුළුවන්.


*නමුත් පළාත් පාලන ආයතන මට්ටමින් ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාද වුණා නේද සභාපතිතුමා?


මහජනතාව  විද්‍යුත් මාධ්‍ය හරහා ඉක්මනින්ම ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. නමුත්  කොට්ඨාස මට්ටමින් ප්‍රතිඵල නිකුත්
නිකුත් කරනවාට සියලුම විද්යුත් මාධ්‍ය  අකමැති වුණා. ඒ නිසා පළාත් පාලන ආයතන මට්ටමින් ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා  සූදානම් වුණා. රටපුරා ඡන්ද ගණනය කිරීමේ මධ්‍යස්ථාන 13,374ක් පිහිටුවා  තිබුණා. මේ සියල්ලෙන්ම ඡන්ද ප්‍රතිඵල දත්ත කොමිසමට ලැබුෙණ් ස්කෑන් කරපු දෘඩ  පිටපත් විදිහට. ඒවා පළාත් පාලන ආයතන විදිහට සකස් කිරීම සඳහා පරිගණක  වැඩසටහනක් යොදාගැනීමයි සැලැස්ම වෙලා තිබුණේ. 
නමුත්  9 වෙනිදා වෙද්දි මේ වැඩසටහන ක්‍රියාත්මක කරල බලනකොට අපිට පෙනී ගියා, එක්  අයෙකුට හෝ යම් දත්තයක් මේ වැඩසටහනට ඇතුල් කිරීමට නොහැකි වුෙණාත් මුළු  පද්දතියටම එතනින් එහාට ප්‍රතිඵල නිකුත් කරන්න බැරි වෙන බව. 
අපිට මුලින්ම ආවේ තුනුක්කායි ප්‍රතිඵලය. අම්බලන්ගොඩ නගර සභාවේ ප්‍රතිඵලය අපිට  රෑ 10 වෙද්දි ලැබුණා. අපිට ෆැක්ස් මඟින් ලැබුණ ප්‍රතිඵලය ගණනය කිරීමේ  මධ්‍යථානයෙන් ඇතුළත් කරපු දත්ත එක්ක සංසන්දනය කළහම අපිට පෙනුණා ඒ දෙකේ  වෙනස්කම් තියන බව. හේතුව වෙලා තිබ්බේ තැපැල් ඡන්ද ඒකට එකතු නොකිරීම. ඒ නිසා  අපිට සිද්ධ වුණා සියලු ප්‍රතිඵල වෙනම ආකෘතියක් හරහා නැවත ආයෙත් සකසා  එවන්න. 
මේ ප්‍රමාදය එකින් එක අනික් ප්‍රතිඵල ප්‍රමාදයට බලපෑවා.


*ඡන්ද  ප්‍රතිඵල සකසන අවස්ථාවේ මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්  බලපෑම් කළා කියලා සමාජ ජාල මාධ්‍ය ඇතුෙළ් විවේචනය කරලා තිබුණා. ඇත්තටම එහෙම  දෙයක් සිද්ධ වුණාද?


ඔය  බොරු ප්‍රචාරය කොතැනින්ද පටන් ගත්තේ කියලා මම දන්නවා. පළාත් පාලන ආයතන  40කට වඩා මැතිවරණය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරපු පක්ෂවලට ඡන්ද ප්‍රතිඵල  සකසන අවස්ථාවේ නිරීක්ෂණය කිරීම සඳහා නියෝජිතයන් දෙදෙනෙකු එවන ලෙස අපි  ආරාධනා කරලා තිබුණා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා විදිහට  පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහවත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි  ලේකම් නීතිඥ සාගර කාරියවසම් සහ රේණුක පෙරේරා යන මහත්වරුන් එක්සත් ජනතා  නිදහස් සංධානය නියෝජනය කරමින් එහි නිත්‍ය නියෝජිත චම්පානි පද්මසේකරත්  නීරීක්ෂකයෝ විදිහට රැඳි සිටියා. රේණුක පෙරේරා සහ සාගර කාරියවසම් මහත්වරු 10  වෙනිදා රාත්‍රි 7 ඉඳලා 11 වෙනිදා සවස 2 දක්වා රැඳී හිටියා. ඒ නිසා එහෙම  බලපෑමක් කවුරු හරි කළා නම් ඒ මහත්වරුගෙන්ම අහලා දැනගන්න පුළුවන්. 
අනිත්  කාරණය තමා එහෙම කවුරු හරි මෙතැනට ඇවිත් බලපෑම් කරන්න හැදුවා නම් යහතින්  යන්න නම් වෙන්නේ නෑ. අන්න ඒ වගේ වෙලාවක් වුණානම් මැතිවරණ කොමිසමේ  සභාපති වෙනුවට මහින්ද දේශප්‍රිය මතුවෙන්න ඉඩ තිබ්බා.
මගේ අම්මයි තාත්තයි බලපිටියෙයි රත්ගමයි. මම අම්බලන්ගොඩ. ඒ මිශ්‍රණය කොහොමද කියලා ඔය කියන බලපෑම් ආව නම් බලාගන්න තිබ්බා. 


*පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% කියල කිව්වට ඒක ඇත්තටම ලැබෙනවද?


මේ  සමබන්ධව ගැටලු ඇති විය හැකි බව පනත සකස් කරන අවස්ථාවේදිම අපි පෙන්වලා  දුන්නා. ඒ වෙලාවේ කිව්වෙ අපි ආන්තිකව හිතනවා කියලා. දැන් කාන්තා නියෝජනය  25% පවත්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු ඇති වෙලා තියනවා. සමහර  තැන්වල පනතට අනුව ක්‍රියාත්මක වීමට හැකි වුනත් ස්වභාවික යුක්තිය ගැන ගැටලු  ඇති වෙලා තියනවා.
කොට්ඨාෂ  ඡන්ද අපේක්ෂක ලැයිස්තුවේ 10%යි කාන්තා නියෝජනය අනිවාර්ය වුණේ. එක පක්ෂයක්  කොට්ඨාස ඔක්කොම දින්න තැන් වල කාන්තා නියෝජනය බොහොම වෙලාවට 25% ට වඩා අඩු  අගයක් තියෙන්නේ. ඒ වගේම ජයග්‍රහණය කරපු පක්ෂයට අතිරේක ලැයිස්තුවෙන්  මන්ත්‍රීධූරයක් ලැබිලත් නෑ. ඒ වගේම මන්ත්‍රීධූර 4ට අඩුවෙන් දිනපු පක්ෂ පනත  ප්‍රකාරව කාන්තා නියෝජනය 25% පත් කිරීම අනිවාර්ය වෙන්නේ නෑ. 
උදාහරණයක්  විදිහට දික්වැල්ල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රීධූර  15ක් දිනනවා. ඒකෙන් කාන්තා නියෝජිතවරියන් ඉන්නේ දෙන්නයි. අතිරේක  ලැයිස්තුවෙන් අවස්ථාවක් ලැබිලා නෑ. දික්වැල්ල ප්‍රාදේශිය සභාවේ සම්පූර්ණ  මන්ත්‍රීධූර ගණන 27ක්. ඒ අනුව සභාවේ මන්ත්‍රීවරියන් 6ක් ඉන්න අවශ්‍යයි. ඒ  අනුව ඉතුරු මන්ත්‍රීධූර 4ම පුරවන්න වෙන්නේ එජාප ලැයිස්තුවෙන්. ඒ අනුව එජාප  මන්ත්‍රී පිරිසගෙන් 57%ක් අනිවාර්යයෙන් කාන්තා නියෝජනයක් දෙන්න බල කරන්න  වෙනවා. පොදු ජන පෙරමුණට කොළඹ මහ නගර සභාවෙදී මේ වගේම  තත්වයකට මුහුණ දෙන්න වෙනවා.


ඒ නිසා පනත වෙනස් කරන්න සිදු වේවි. පනතට අනුව මේ බලකිරීම කළ හැකි වුණත් ඒක ස්වභාවික යුක්තියට පටහැනියි. 


ඒ වගේම පනත අනුව වුණත් කාන්තා නියෝජනය 25%ක් සිද්ධ නොවෙන අවස්ථාවකට උදාහරණයක් තියනවා.


කරෙයිතිව් ප්‍රාදේශීය සභාවේ ඉලංගෙයි තමිල් අරුසු පක්ෂය මන්ත්‍රීධුර 4ක් දිනාගෙන තියනවා. එක් අයෙක් කාන්තාවක්.


අනික් සියලුම පක්ෂ දිනාගෙන තියෙන්නේ මන්ත්‍රීධූර 2 බැගින් හෝ එක  බැගින්. පනතට අනුව ඔවුන් කාන්තාවන් පත් කිරීම අනිවාර්ය නැහැ. සමස්ත සභාවේ  මන්ත්‍රී ධූර 12ක් තියෙනවා. ඒ අනුව 25%සම්පූර්ණ වෙන්නනම් මන්ත්‍රීවරියෝ  3ක් ඉන්න ඕන. නමුත් එසේ කරන්න අවස්ථාවක් නැහැ.හේතුව, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ  හතරදෙනාම කොට්ඨාස ජයගෙන තේරුණ අය.
මේ නිසා පනතේ අවශ්‍ය සංශෝධන කරන්න කියලා  අපි ඉල්ලීමක් කරනවා.                     

මාතෘකා