මහනුවර සිදු වූයේ කුමක්ද? | ඇස පාදන රැස


මහනුවර සිදු වූයේ කුමක්ද?

 ඡායාරූපය:

මහනුවර සිදු වූයේ කුමක්ද?

මහනුවර ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ හුදෙකලා සිදු වීමක්, දැන් ජාතීන් දෙකක් අතර ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. සැබැවින්ම එය මේ මොහොතේදීත්, ගැටුමක් ලෙස හැඳින්වීම වරදකි. මන්ද යත් පළමු සිදුවීම හැරුණු විට මේ දක්වා කිසිදු 'ගැටුමක්' වාර්තා වී නැත. සිදු වී තිබෙන්නේ විශාල වශයෙන් රැස් වූ කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ දේපළ ඉලක්ක කරගෙන  ප්‍රහාර එල්ල කිරීමකි.


පෙරේදා (05) අලුයම තෙල්දෙණිය නගරයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකුට අයත් වෙළෙඳසැලක් ගිනිබත් කිරීමෙන් ආරම්භ වූ මේ ප්‍රහාර මාලාව, එදින දහවල් වන විට නුවර මහියංගනය මාර්ගයේ බලගොල්ල, දිගන කෙන්ගල්ල නගර කරාද පැතිර ගියේය. මේ වන විට හෙළිදරව් වී ඇති තොරතුරුවලට අනුව ගිනි තැබීමෙන් විනාශ කොට ඇති ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාව 27කි. නිවාස සංඛ්‍යාව 8කි. මුස්ලිම් දේවස්ථාන 4ක්ද ප්‍රහාරයට ලක් විය. මීට අමතරව කටුගස්තොට, අලදෙණිය, මඩවල හා අකුරණ ප්‍රදේශවලද මුස්ලිම් ජනයාගේ දේපළ ඉලක්ක කොටගත් පහරදීම් වාර්තා වී තිබේ. එහෙත් ඒ ස්ථානවල බරපතළ විනාශයක් සිදු වී නැත. කෙන්ගල්ලේ ගිනිතැබීමට ලක් වූ වෙළෙඳසැලක සිටි පුද්ගලයකු දරුණු පිළිස්සීම් සහිතව රෝහල්ගත කර සිටින අතර, එම වෙළෙඳසැලේ සිටි අබ්දුල් බාසිත් නැමති 27 හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගිනි ගැනීම සිදු වූ පෙරේදා සවස ඔහු ගැන හෝඩුවාවක් නොතිබුණු අතර ඊයේ (06) අලුයම එම ස්ථානයේ සුන් බුන් පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමු වී තිබේ.


මහපාරේ ආරාවුලක්


මෙම අවාසනාවන්ත සිද්ධි මාලාවට හේතු වූ ආරම්භක සිදුවීම, පෙබරවාරි 22වැනිදා, තෙල්දෙණියේදී  සිදු වූවකි. එදින රාත්‍රී 9.00ට පමණ දිගන සිට තෙල්දෙණිය දෙසට ධාවනය වූ ලොරි රථයකි. එහි පිටුපසින් පැමිණි ත්‍රී රෝද රථයක් කිහිප විටක් එය පසු කර යෑමට උත්සාහ කළත් ඊට ඉඩ ලැබී නැත. තෙල්දෙණිය ඉන්ධන පිරවුම්හලේ ලොරි රථය නතර වූ අතර, පසුපසින් පැමිණි ත්‍රී රෝද රථයෙන් බැසගත් කිහිප දෙනෙක් ලොරි රථයේ රියදුරුට සහ රිය සහායකට දරුණු අන්දමින් පහර දී තිබේ. රිය සහායක පසුව පොලිසියට ප්‍රකාශ කර ඇති අන්දමට, මෙම පිරිස අතින් පයින් මෙන්ම පොලුවලින්ද ඔවුන්ට පහර දී  පලාගොස් තිබේ. පසුව තහවුරු වූ පරිදි ප්‍රහාරකයින් තෙල්දෙණියට ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවන් වූ මුස්ලිම් ජාතිකයන්ය.
පසුව, ප්‍රහාරයට ලක් වූ දෙදෙනා රෝහල් ගත කෙරුණු අතර රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් දැඩි සත්කාර ඒකකයටත්, රිය සහකරු සාමාන්‍ය වාට්ටුවකටත් ඇතුළත් කෙරිණි. දින දෙකක් ප්‍රතිකාර ලැබීමෙන් පසු රිය සහකරු රෝහලෙන් පිටව යන අතර, බරපතළ තත්ත්වයේ සිටි රියදුරු මාර්තු දෙවැනිදා දක්වා මහනුවර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට මියගියේය. එම්.ජී කුමාරසිංහට නමැති ඔහු, තෙල්දෙණිය අම්බාල ග්‍රාමයේ පදිංකරුවකු වූ දෙදරු පියෙකි.


සී.සී.ටී.වී සාක්ෂි
පහදීමේ සිදුවීම, තෙල්දෙණිය ඉන්ධන පිරවුම්හලේ සී.සී.ටී.වී. කැමරා දර්ශනයක පැහැදිලිව සටහන් වී තිබූ අතර, ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ පොලිසිය, 24 වැනිදා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර ගත කර තිබේ. රියදුරුගේ මරණය සිදු වන තුරුම මෙය ‘තවත් එක් සිදුවීමක්‘ ලෙස පමණක් පැවතිණි. ජනමාධ්‍යවලට පවා එය පුවතක් වූයේ නැත. එක් රූපවාහිනී නාලිකාවක පමණක්, 23 වැනිදා රාත්‍රියේ අදාළ සී.සී.ටී.වී. කැමරා දර්ශන විකාශය කරමින් සිදුවීම වාර්තා කර ඇතත්, සිද්ධියේ පාර්ශ්වකරුවන්ගේ ජාතික අනන්‍යතාව සඳහන් කර නැත. සිද්ධියට අදාළව නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වී තිබුණු බැවින් ඒ පිළිබඳ මහජන කැලඹීමක් හෝ අවුල් සහගත තත්ත්වයක් නොවීය.


සිරුර රැගෙන යද්දී උණුසුම් තත්ත්වයක්


මියගිය එම්.ජී කුමාරසිංහගේ සිරුර, දෙවැනිදා රාත්‍රියෙහි ඔහුගේ නිවසට රැගෙන යන අතරතුර, ඒ සමග ගිය පිරිසක් තෙල්දෙණිය නගරයේ ටයර් පුළුස්සා කැලඹීමක් ඇති කර තිබූ නමුත් බරපතළ සිදුවීම් කිසිවක් වාර්තා වූයේ නැත. අවමංගල්‍ය කටයුතු පවුලේ අය හා ගම් වැසියන් විසින් සංවිධානය කෙරෙමින් තිබිණි. මේ අතර ගැටුමේ පාර්ශ්වයට සම්බන්ධයක් නැති, මුස්ලිම් ජාතිකයන් පිරිසක් පවුලේ අයට ශෝකය පළ කිරීමට පැමිණ, අවමංගල්‍ය කටයුතු සඳහාද යම් ආකාරයකින් දායක වී තිබේ.
මෘතදේහය නගරයට ගෙන යෑමට කිසියම් පිරිසක් යෝජනා කර ඇතත් පවුලේ අය හෝ ගම්වැසියන් ඊට එකඟ වී නැති බවද ඔවුන්ට ගෞරවයක් ලෙස සඳහන් කළ යුතුය.


ගින්න ඇරඹෙයි


බිහිසුණු සිදුවීම් මාලාව ආරම්භ වන්නේ, අවමංග්‍යය පැවැත්වීමට නියමිතව තිබූ 5වැනිදා අලුයම තෙල්දෙණිය උඩිස්පත්තුව ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයකුට අයත් වෙළෙඳසැලක් ගිනි තැබීමෙනි. වහා ක්‍රියාත්මක වූ පොලිසිය ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 24දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. මේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් හා ඔවුන් නිදහස් කරන ලෙස බල කරමින් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් තෙල්දෙණිය පොලිසිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර, උද්ඝෝෂකයන් දෙසින් පොලිසියට ගල් ප්‍රහාර එල්ල වන්නට වූ විට පොලිසිය කඳුළුගෑස් ප්‍රහාර එල්ල කොට පිරිස විසුරුවාහැරීමට ක්‍රියා කර ඇත.
ඉන් පසුව විශාල වශයෙන් තෙල්දෙණිය හා ඒ අවට නගරවලට රැස් වූ පිරිස්, මුස්ලිම් දේවස්ථාන, කඩ සාප්පු ආදියට ප්‍රහාර එල්ල කර ඇත. පොලිසියට තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වී නැත. සිද්ධිය ඇසින් දුටු අය පවසන පරිදි මුහුණු ආවරණය කරගත් 20දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මේ ප්‍රහාරවලට නායකත්වය දී තිබේ. දිගන හා තෙල්දෙණිය අතර කි. මී 5ක පමණ ප්‍රදේශයක නොසන්සුන්කාරී තත්ත්වය බලවත් ලෙස පැවති අතර, එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව සතු දේපළ ප්‍රහාරකයන්ගේ ඉලක්ක බවට පත් වී තිබේ


අවමංගල්‍යය සන්සුන්


 නගර ආශ්‍රිතව මෙසේ ගිනි ඇවිළෙමින් තිබියදී මියගිය රියදුරුගේ අවමංගල්‍යය කටයුතු ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් සාමකාමී ලෙස සිදු විය. සිද්ධිය පිළිබඳව එක් වැදගත් කරුණක් එයින් හෙළි වෙයි. එනම්, නගරයේ පහරදීම් කුමාරසිංහගේ මරණය නිසා කුපිත වූ ගම් වැසියන් හෝ ඔහුගේ සමීපතමයින්ගේ ක්‍රියාවක් නොවන බවයි. අඩු තරමින් ඒවා, අවමංගල්‍යයට සහභාගී වී හැඟීම් අවදි වූ පිරිස්, ආපසු එන අතර සිදු කළාද විය නොහැකිය. මේ සිදුවීම පිළිබඳව කතා කරන බොහෝ දෙනා නොදන්නා කාරණයක් වන්නේ, ගිනි ගැනීම් සිදු වූ නාගරික ප්‍රදේශයේ සිට අවමංගල්‍යය පැවති නිවසට කි.මී. 30ක තරම් දුරක් ඇති බවය. අවමංගල්‍යයට සහභාගී වීමට තරම් මිය ගිය අයට සමීප කමක් තිබුණු කිසිවකු ඔහුට අවසන් ගෞරව දැක්වීම පසෙක තබා දේපළ ගිනි තැබීමට යාවි යැයි සිතිය හැකිද?


පළමු ඉලක්කය වෙළෙඳසැල්


ප්‍රහාරය පිළිබඳ තතු සියුම්ව විමසා බැලීමේදී පැහැදිලිවම තහවුරු වන කරුණක් වන්නේ ප්‍රහාරකයන්ගේ පළමු ඉලක්කය වී ඇත්තේ මුස්ලිම් ජාතිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන බවය. නිවෙස්වලටද පහර දී ඇතත් එයින් බොහොමයක්, වෙළෙඳසැල් හා නිවාස එකට පිහිටි ඒවාය. ප්‍රහාරකයන් දේපළවලට මිස පුද්ගලයන්ට පහර දී නැත. වෙනත් අඩන්තේට්ටම් කිරීම් සිදු වී ඇති බවද හෙළි වී නැත. ගින්නට හසු වී තුවාල ලැබූ පුද්ගලයා සහ මියගිය අබ්දුල් බාසිත් නැමති තරුණයා ප්‍රහාරකයන්ගේ සෘජු ඉලක්ක නොවන බව ඒ සම්බන්ධයෙන් හෙළි වී ඇති කරුණු අනුව පෙනී යයි. මියගිය තරුණයාගේ සෙහොයුරා බීබීසී සන්දේශයට මෙසේ පවසා තිබිණි.
"අපි හිතුවා, අපේ ගෙදරට ගිනිතබනකොට එයා පැනලා යන්න ඇති කියල. ඒත් අද උදේ අපි එතනට ආ පසු දැක්කා ඔහුගේ මළසිරුර"
විශාල දේපළ හානියක් හා ජීවිත හානියක් සිදුව තිබියදීත්, ඒ සිදුවීම් සම්බන්ධ සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගත් බවක් ඊයේ (06) සවස් වන තුරුත් වාර්තා නොවීය. මේ සිදුවීම හා ඉන් පසුව ඇති වී තිබෙන වාතාවරණය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූ බව, මේ සටහන ලියමින් සිටියදී වාර්තා විය.

මාතෘකා